අඩ සියවසක දිවි බේරා ගැනීමේ මෙහෙයුම -ප්‍රභාෂා චරිතාංගී

නුවර වැවේ බෝට්ටු සවාරිය කිව්වොත් කවුද ඉතින් නොදන්නෙ? ඉංග්‍රීසි භාෂාවේ එන ENJOY පදයෙන් JOY කොටස වෙන් කරගෙන තමයි මෙය JOY MOTOR BOAT SERVICE කියන නමින් 1968 ජනවාරි 08 වනදා මෙය ආරම්භ කරලා තියෙන්නේ.
“අපේ ජීවිත මෙච්චර කාලයක් තිස්සේ බැඳිලා තියෙන්නේ වතුරත් එක්කම තමයි. මගේ ගෙවල් තියෙන්නෙත් නුවර වැව රවුමේ රජ පිහිල්ල මාවතේ”
එරල් කෙම්ප්ස් මහතා කතාවට මුල පිරුවේ ඒ විදියට. පිය පරම්පරාවෙන් පසුව වර්තමානයේ ජෝයි බෝට්ටු සේවය පවත්වගෙන යන්නේ ඔහු විසින්.
“ඇත්තටම මම ගොඩක් සතුටු වෙන්නේ අද දවසේ කාටහරි උදව්වක් කරන්න පුළුවන් කියන බලාපොරොත්තුව ඇතුව. මට ඒ තරම් සතුටක් තවත් නෑ. ඒ නිසාම හැම වෙලේම විමසිල්ලෙන් තමයි ඉන්නේ”
බෝට්ටු සවාරියකට එහා ගිය සැඟවුණු කතාවක් එලියට එන්නේ තත්පර කිහිපයක මේ පුංචි කතාබහෙන් පසුව.
“මිනිස්සු වැව පැත්තට එන්නේ ගොඩක් ප්‍රශ්න හිතේ තියාගෙන. ගොඩක් මිනිස්සු ඒ ප්‍රශ්න විසඳන්න හදන්නේ ජීවිතය නැති කරගෙන. ඉතින් මිනිස්සු ඇවිත් වැවට පනිනවා. ”
ඔහු පවසන අන්දමට බොහෝ පිරිස් වැවට පැන දිවි නසා ගැනීමට යොමුවී තිබෙන්නේ බොහෝ ඈත කාලයක පටන් ය. මීට ටික කලකට ප්‍රථම වැවට පැන ජිවිත හානි කරගැනීමට පෙළඹුනු පිරිසේ අඩුවක් සිදු වුවත්, අවාසනාවන්ත ලෙස යළිත් එම තත්වය වැඩි වන බවක් පෙනෙන්න්ට ඇති බවයි ඔහු පවසන්නේ.
“මට මේ වෙද්දී ජීවිත හැටකට වඩා බේරගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් පොලිස් ලයිෆ් සේවින් ඉන්න නිසා අපිට ගොඩක් ලේසියි”
එරල් කෙම්ස් මහතාට ඔහු කෙරෙහි පවතින ආත්ම තෘප්තිය සුළු පටු වූවක් නොවේ. වැව් බැම්මේ රැඳී සිටින සෑම කෙනෙක් පිළිබඳව ඔහු බොහොම විමසිලිමත්. මේ සඳහා ඔහු ඔහුගේ සේවකයින් පිරිසද සම්බන්ධ කරගන්නට අමතක කරන්නේ නැහැ.
සැකයක් ඇතිවූ විගස ගොස් කතාබහ කර ගැටලුවක් තිබේදැයි විමසීම ඔහුගේ පුරුද්දක්. ඒ පුරුද්දට හැකියාව ලැබී තිබෙනවා, ජීවිත ගණනාවක්ම බේරාගන්නට.
“හුඟක් අය වැව දිහා බලන් කල්පනා කරනවා නම්, වැඩිපුර වතුර දිහා බලන් ඉන්නවනම් අනිවාර්යෙන්ම වැවට පනිනවා කියලා අපි දන්නවා. අපි හැමවෙලේම සැකෙන්ම ඉන්නවා”
මනුෂ්‍ය ජීවිතයක වටිනාකම පිළිබඳව ඔහු නිරන්තරයෙන්ම අනෙක් අයට අවබෝධ කරවන්නට උත්සාහ කරනවා.
ජීවිතයක් වෙනුවෙන් කැපවෙන්න ඔහුට රැයක් දවාලක් නෑ.ඔහු පවසන අන්දමට ඔහු නිසා දිවි බේරගත් උදවිය අදටත් ඔහුගෙ සැප දුක හොයලා බලන්න, ස්තුති කරන්නත් අමතක කරලා නැහැ.
එරල් මහතා උපදේශනයට බොහොම දක්ෂයෙක්. ගැටලුවක සිටින බවට සැක කර, අනතුරුව ඒ පුද්ගලයාගෙන් ගැටලුව සූක්ෂමව හඳුනාගෙන එතකින් නොනැවතී, උපායමාර්ගිකව ඔවුන්ගේ සිත් සනසන්නට ගත් උත්සාහය පිළිබඳව ඔහු ප්‍රකාශ කරන්නේ බොහොම ආඩම්බරයෙන්. එක් අතකට ඔහු මනස සනසන වෙදැදුරෙක්.
“මම බෞද්ධාගමිකයෙක් නෙමෙයි. නමුත් මට දළදා වහන්සේගේ ආශිර්වාදය තියෙන බව මම දන්නවා. මනුස්සකමට ජාතියක් ආගමක් කියල දෙයක් නැහැ”
ඔහු බොහොම සරල ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්. බොරු ආටෝප, අතිශයෝක්ති නැති ඔහුගේ කතාව ඒ සරල ජීවිතයට ගෙනාවෙ තවත් එළියක්.
තමාගේ ජීවිතය තරමටම තවත් ජීවිතයකට වටිනාකමක් ලබා දෙන මෙවන් පුද්ගලයින් අද සමාජයේ බොහොම විරලයි. ඔහුගේ මේ පරාර්ථකාමී සිතුම් පැතුම් එතකින් නිම කරන්නට ඔහු සූදානම් නැහැ. ඔහු යටතේ සේවය කරන පුද්ගලයින් හරහාද ඔහු බලාපොරොත්තු වන්නේ තමා හා සමානම පරාර්ථකාමීත්වයක්.
“මම රෑට නිදාගන්නේ කොයි වෙලාවක හරි මගේ උදව් කාට හෝ ඕනෑ වේවි යන සිතිවිල්ලත් එක්ක”
රාජකාරියකට එහා ගිය දේවකාරිය කරන්නට ඔහුට කාලසීමාවක් නොමැත. උදෑසන අවදිවන්නේත් රාත්‍රියේ නින්දට යන්නේත් හුස්මක් රැක ගන්නා බලාපොරොත්තුවකිනි.
“හොඳ දෙයක් කලොත් ලැබෙන්නේ හොඳ ප්‍රතිඵලයක්”
ඔහුගේ සිනා මුසු මුහුණින් නිරන්තරයෙන් පිටවන ඒ වදන ඔහු පිළිබඳව සාරාංශයක්.
එරල් කෙම්ප්ස් කියන්නේ පරාර්ථකාමී නිරහංකාර චරිතයක්. ඒ සතුට හොයන වෙනස්ම ආකාරයක්. එවන් මිනිසුන් රටට, ලෝකයට ආශිර්වාදයක්. නුවර වැවේ බෝට්ටු සවාරියකට මුවාවී මිනිසුන්ගේ දිවි බේරන ඔහු මනුෂ්‍යත්වයේ ප්‍රතිමූර්තියක්.