රජරට සරසවියෙන් පෙරුම්කායම් සබන් කැටයක් – ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පාලක සභා සමාජික සරත් මනුල වික්‍රම

 

ගතවූ වසර කිහිපය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය පර්යේෂණ ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රැසක් උරුමකරගත් අවධියකි. සමස්ත ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතිය විසින් සිදුකරන පර්යේෂණ වර්තා පොත්ගුල්වලට හා දත්ත ගබඩාවලට වලට පමණක් සීමාවන බව පොදු පිළිගැනීම ය.

එලෙසම රටේ සාම්ප්‍රදායික දැනුම, කෘෂිකර්මාන්තය, ආයුර්වේදය, වාරික්‍රම සහ බහුතර ඉඩම් ප්‍රමාණය සමඟ ශ්‍රම සම්පත පිරි උතුරුමැද පළාත රටේ දළ දේශීය නිෂ්පාදිතයට එක්කරන්නේ ඉතා පහළ අගයක් බව තවත් චෝදනාවකි. රටක ප්‍රගමනයට අවශ්‍ය මෙම දැනුම හා භාවිතය යන දෙක එකට එක්කරන යාන්ත්‍රණය ගැන අප අදත් නිමක් නැතිව කතා නරනෙමු.

මෙම හිඩැස පිරිවීමට රජරට විශ්වවිද්‍යාලයේ 2018 වසරේ සථාපිත  ව්‍යාපාර සම්බන්ධීකරණ කාර්යාලය (University Business Linkage Cell / UBLC) වැඩසටහන් රැසක් රාශියක් ආරම්භ කළේ ය. මෙම ඒකකයේ ආරම්භක අධ්‍යක්ෂවරිය වූ මහාචාර්ය සංජීවනී ගිනිගද්දර මහත්මිය ඊට තෙවසරකට පසු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරිය බවට පත්වීමෙන් පසු උතුරුමැද පළාත් වාණිජ , කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය සමඟ අවබෝධතා ගිවිසුමකට පැමිණියේ ය. එමගින් ගිවිස ගනු ලැබුවේ විශ්වවිද්‍යාලයේ නව යොයාගැනීම් සමාජතකිරීමේ දී ප්‍රදේශයේ ව්‍යාපාර හා සහයෝගයෙන් දෙපිරිසටම ප්‍රතිලාභගෙන එන ලෙස ඒවා කර්මාන්ත හා ව්‍යාපාරවල ආයෝජනය කිරීමටයි.

ව්‍යාපාර සම්බන්ධීකරණ කාර්යාලයේ අධ්‍යක්ෂ ධුරයට පත් මහාචාර්ය මනෝජ් සමරතුංග මහතා කොවිඩ් සමයේ පෙරුම්කායම්වල වටිනාකම ගැන යම් අධ්‍යයනයක සිටියේ ය. එමෙන්ම උපකුලපතිනිය ඇතුළු පර්යේෂකයෝ ද ඒ ගැන පූර්ව අද්දැකීම් භාවිතකරමින් හා අවධානයෙන් සිටි අතර ඒ සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ ඉදරියට ගෙනයමින් තාක්ෂණය හුවමාරුකරගැනීම නම් ක්‍රියාවලියේ දී පුද්ගලික අංශයට මෙම තාක්ෂණය ලබාදීමේ අවස්ථාවට පැමිණියේ ය.

ඒ අනුව වාණිජ මණ්ඩලය සමඟ පැමිණ තිබූ එකඟතා පරිදි අනුරාධපුරයේ ස්ථාපිත එල්.බී.කාංගර ඖෂධාලය සමාගමට ඉකුත් වසරේ සැප්තැම්පර් පැවැති සාකච්ඡාවකින් අනතුරුව  මෙම පෙරුම්කායම් සබන් නිෂ්පාදනයට අවස්ථාව සැලැස්විණි.

වෙළඳ පොලේ ඇති මෙවැනි අනෙකුත් සබන් වර්ගවලට වඩා ඉහළ ගුණාත්මක භාවයක් සහිතව සැබෑම පෙරුලා ශාක සාරයෙන් යුතුව ටී එෆ් එම් අගය සියයට 76- 80 අගයේ පවතින ආකාරයෙන් මෙම නිෂ්පාදනය සිදුකරනු ලැබේ. රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ජෛව ක්‍රියාවලි පිළිබඳ දෙපාර්තමේන්තුව මෙම පර්යේෂණ හා තාක්ෂණය වැඩි දියුණුකර ලබාදීම තවදුරටත් සිදුකරගෙන යයි. එම පිඨයේ පර්යේෂණ කණ්ඩායමේ ආචාර්ය ආශා විජේගුණවර්ධන මහත්මිය මෙම සබන් කැටය හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ සමේ වියළිභාවය අවශ්‍ය පමණට රැකෙන පරිදිත් පාරිභෝගිකයාට තෝරාගත හැකි ආකාරයටත් නිෂ්පාදනයක් කිරීමට මඟ පෙන්වා ඇති බවයි.

මෙය හඳුන්වාදීමේ කෙටි වැඩසටහනක් ඉකුත් බ්‍රහස්පතින්දා (11) රජරට විශ්විවිද්‍යාල සනාථන සභා ශ්‍රවණාගාරයේ දී සංවිධානය කර තිබුණේ උපකුලපති වරියගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාවට එක් වූ උතුරුමැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. දිසානායක මහතා වාණිජ මණ්ඩලයේ පරමාර්ථයත් විශ්වවිද්‍යාලයේ අරමුණත් සාක්ෂාත් වූ බවත් ආයුර්වේද නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් ඇති ජාත්‍යයන්තර වෙළඳ පොල ජයගැනීමට උතුරුමැද ව්‍යාපාරිකයින්ට මෙය කදිම අවස්ථාවක් වූ බවත් පෙන්වාදුන්නේ ය. සාම්ප්‍රදායික ඖෂධ වෙළඳාමෙන් ඔබ්බට නව ආයුර්වේද නිෂ්පාදනයෙන් සමාජයට උසස්  ප්‍රතිලාභයක් ලබාදිය හැකි පරිදි තම ව්‍යාපාර ජාලය නව මඟකට හරවාගැනීමට රජරට විශ්වවිද්‍යාලය මහා මෙහෙයක් ඉටුකළ බව එල්.බී. කාංගර ඖෂධාලය සමාගමේ කලමනාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් බණ්ඩාර කාංගර මහතා එහිදී කියාසිටියේ ය.

රජරට සරසවිය මෙයට පෙර මෙවැනි නිෂ්පාදන ගණනාවක් වෙළඳ පොලට නිකුත්කළ හැකි පරිදි දැනුම සමාජගතකර ඇති බවත් තවත් නිෂ්පාදන කිහිපයක් ළගදීම නිකුත්වන බවත් උපකුලපති වරිය එහිදී සඳහන් කළා ය. ‘‘ අගනුවරින් බොහෝ දුරක පිහිටියත් විවිධ අභියෝග මැද අපේ විශ්වවිද්‍යාලය වර්තමානයේ ජයග්‍රහණ රාශියක් ලබාගෙන තිබෙනවා. සෑම ශ්‍රේණිගත කිරීමක්  තුළම අපේ විශ්වවිද්‍යලය අද පසුවන්නේ ඉතා ඉහළින්. මේ සඳහා මට මගේ පිඨාධිපතිවරුන් සියලු දෙනා ඇතුළු කාර්ය මණ්ඩලවලත් පර්යේෂණකයින්ගේත් සහාය ලැබෙනවා. සියලුදෙනා නොබෙදී සමාජයටත් විශ්වවිද්‍යාලයටත් ප්‍රතිලාභගෙනදෙන ආකාරයට ඉදිරියට යමු කියා මා සැමදා ඔබේ  සහාය ඉල්ලනවා.‘‘ යැයි ඇය එම උත්සව සභාවේ දී කියාසිටියා ය.

විශ්වවිද්‍යාලයේ කීර්තිනාමය සහ සමාජ ප්‍රතිලාභය හැරුණුවිට විශ්වවිද්‍යාලයේ සංවර්ධන අරමුදලටත් පර්යේෂණ කටයුතු සඳහාත් මෙම නව නිපැයුම අලෙවියෙන් පසු ලබෙන අදායමෙන්  ප්‍රතිලාභ ගෙනෙනු ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *