නැගැනහිර කාන්තාවන්ට කරිටාස් ආයතනයෙන් ජීවන අත්වැලක් –  මෙලනි මානෙල් පෙරේරා  

 

කාබනීක වගාවක ඇති වටිනාකම හඳුන්වා දෙමින් ,  එය   ඔවුන්ටත් දරුවන්ටත් , අනාගතයට ත්  කෙතරම් සෞඛ්‍ය සම්පන්නද යන්න පෙන්වාදීමට සහ ඔවුන්ගේ ආර්ථීකයට ශක්තියක් වීම සඳහාත් කරිටාස් – නැගෙනහිර පළාත් මානව ආර්ථීක සංවර්ධන ආයතනය විසින් තැබූ පියවරක ආරම්භයක් පසුගියදා විවෘත කළේය. වගා භාණ්ඩ බෙදාදීමක් ද සිදුවුණි. “සෞඛ්‍ය සම්පන්න එළවලු සහ හොඳ ආර්ථිකයක්” තමන්ට ලැබුණු ප්‍රතිලාභ බව  කාන්තාවෝ ප්‍රකාශ කළහ.


කරිටාස් ශ්‍රී ලංකා ජාතික ආයතනය නියෝජනය කරමින්, ආයතනයේ තිරසර සාමය හා සාධාරණත්වය පිළිබඳ අංශයේ ප්‍රධානි, ගරු දීපා ප්‍රනාන්දු පැවිදි සොයුරිය සහ ආසියානූ පුවත් සේවයෙහි ශ්‍රී ලංකාවේ වාර්තාකාරිණිය, මෙලනි මානෙල් පෙරේරා යන අය විසින් පසුගිය සෙනසුරාදා – ජුනි 29 වෙනි දා, මඩකළපුව – අය්යන්කර්නි ප්‍රදේශයේ දී නව ප්‍රජා වෙළෙඳපොළ විවෘත කරනු ලැබිණි.
 
“වස විස අනුභව නොකරන, සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහිකිරීම සහ සමාජීය වශයෙන් සියලුම දෙනා එකමුතුව සාමකාමීව ජීවත්වීම සඳහා ශක්තියක් වීම තමයි අපගේ මෙම CAFFOD ව්‍යාපෘතියේ අභිලාෂය” යැයි ප්‍රජා වෙළෙඳපොළ විවෘත කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් කරිටාස් – නැගෙනහිර මානව සහ ආර්ථික සංවර්ධනය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක ගරු එස්. එල්. ජෙයනික්සන් පියතුමා ප්‍රකාශ කළේය.
තමන් ලද නවතම ජීවන අත්වැල සම්බන්ධයෙන් බොහෝ උද්ධාමයට පත්වූ අය්යන්කර්නි ග්‍රාමයේ මුස්ලිම් කාන්තාවෝ කිහිප දෙනෙකුම අදහස් දක්වමින් සිය ප්‍රීතිය ප්‍රකාශ කළේ  මෙසේය , “අද අපට ඉතාම ප්‍රීතිමත් දවසක්. මෙපමණ කාලයක් අපි වගාකරපු ඵලදාව අලෙවිකරන්න අලෙවිපල අද අපි ආරම්භ කළා. මේ අවස්ථාවෙි සිංහල, දෙමළ, මුස්ලිම්, පුජකවරු අපි සමග ඉන්නවා. මුස්ලිම්, දෙමළ අපේ එකමුතුකම වර්ධනය කරපු, අපිට ජීවන ශක්තිය ලබා දුන්න මඩකළපුව කරිටාස් ආයතනයේ ගරු අධ්‍යක්‍ෂක පියතුමාත් , කරිටාස් ජාතික ආයාතනයේ ගරු දීපා ප්‍රනාන්දු පැවිදි සොයුරියත් ඉන්නවා. ඒක හරිම ලස්සන දර්ශනයක්. අද හරිම ලස්සණ දවසක්”.

“පෙනුමෙන් ලස්සණ වුනත් වස විස සහිත ආහාර තමයි අපි දීර්ඝකාලයක් අනුභව කළේ. ඒවා අනුභව කරලා අපි අසනීප වුණා. නමුත් අපිට හඳුන්වා දුන්න මෙි කාබනීක වගාව නිසා අද අපි , අපේ දරුවෝ, වස විස නැති නැවුම් එළවළු අනුභව කරනවා. අපේ ගෙවතු වගාවන්වලින් අලෙවි කරන්න ගෙනත් තියෙන මේ විස නැති සෞඛ්‍ය සම්පන්න එළවළු ටික දැක්කම හරිම සතුටුක් දැනෙනවා” යැයි එරාවුර්පත්තු ප්‍රදේශයේ ජීවත්වන මුස්ලිම් කාන්තාවක් වන සුල්ෆිකා මෝජෝ  පුවත් වෙත පැවසීය.

 
“අපි මේ ගෙවතු වගාව දිගටම කරගෙන යනවා. ඒ වගේ ම හැමෝටම කියනවා වස විස සහිත එළවළු අනුභව නොකර තමන්ගේ ගෙවත්තේ හැකි ආකාරයෙන් කාබනීක වගාව පටන් අරන් ඒවා අනුභව කරල රෝගී නොවී ජීවත් වෙන්න කියලා” යනුවෙන් සුල්ෆිකා ආරාධනාවක් ද කළේය.  
 
කරිටාස්  නැගෙනහිර පළාත් මානව ආර්ථීක සංවර්ධන ආයතනය විසින් හඳූන්වා දුන් මෙම කාබනීක ගෙවතු වගා ව්‍යාපෘතිය තුළින්, ඔවුන් එකිනෙකා අතර සම්බන්ධය ද වර්ධනය වූ බව ප්‍රශංසාත්මක ව පැවසූ තවත් මුස්ලිම් කාන්තාවක් වූ හම්සියා, ඔවුන්ගේ ආර්ථීකය ද යම්කිසි මට්ටමකට වර්ධනය වී ඇති බව සඳහන් කළේය.
“මෙතැන් පටන් අපේ දරුවෝ කාබනීක  එළවළු  අනුභව කරන්න වාසනාවන්ත වුණා. ඒ වගේම ආර්ථීක අර්බුදයක් තිබෙන කාලයකදී අපේ ආර්ථීකය ශක්තිමත් කරගන්න වාසනාව ලැබුණා. ඒ නිසා අද අපිට යම්කිසි ඉතිරියක් කරගන්නත් වාසනාව ලැබුණා. ඒ නිසා, අපිට ලබාදුන්න මේ ප්‍රතිලාභ වලට  කැෆර්ඩ් ව්‍යාපෘතියටත් , කරිටාස්  නැගෙනහිර පළාත් මානව ආර්ථීක සංවර්ධන ආයතනයටත්, ගරු අධ්‍යක්‍ෂක ජෙයනික්සන් පියතුමාටත් කරිටාස් ජාතික ආයතනයටත් ස්තූතිවන්ත වෙනවා” යැයි හම්සියා කීවේය.
මඩකළපුව, අය්යන්කර්නි ගම්මානයේ මුස්ලිම් කාන්තාවන් 31 දෙනෙකු මෙම කැෆර්ඩ්  ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබන අතර, මේ වසරේ ජනවාරි මාසයේදි, මෙම කාබනීක ගෙවතු වගා ව්‍යාපෘතිය ආරම්භ කර කළ බව අධ්‍යෂක, ජෙයනික්සන් පියතුමා සඳහන් කළේය.
 
ජනවාරි මාසයේ සිට වගාකර නෙලාගත් ගෙවතු වගා අස්වැන්න නැව්මු බෝංචි , වම්බටු , මෑ කරල් , වැටකොලු , බණ්ඩක්කා , මුරුංගා , පලා වර්ග සහ රටකජු යනාදියෙන් සමන්විත වූ අතර, වස විස නැති ඒ සියලු එළවලු සැණින් අලෙවි වනු දක්නට ලැබුණි.
 
තවදුරටත් ඔවුන්ගේ වගා කටයුතු සාර්ථකව දියත්කරගෙන යාම සඳහා පොහොර, බීජ සහ වගාකටයුතු සඳහා භාවිතා කරන ගොවි උපකරණ යනාදිය ද ‍මෙදින දී ඔවුන් අතර බෙදා දුණි.
මෙකී නව ප්‍රජා වෙළෙඳපොල විවෘත කිරීමේ අවස්ථාවට කරිටාස් ජාතික ආයතනයෙන් මෙන්ම  ප්‍රාදේශීය වශයෙන් බෞද්ධ , මුස්ලිම් සහ කතෝලික පූජක උතුමන් ද සහභාගී වූහ. එරාවුර් හී පුන්‍යාරාමාධිපති පූජ්‍ය  දඹගල්ලේ වනරතන හිමි ද, එරාවුර් අල් මද්ද්‍රසාවුල් මුහමධියා හී අධ්‍යක්‍ෂක කේ. එම්. එම්. කබීර් මවුලවීතුමා ද, චෙන්කලාඩි මීසම්සේවක ගරු නිහාස්ටන් පීටර්ස් පියතුමා ද සභාව ඇමතූහ.  
 
කේ. එම්. එම්. කබීර් මවුලවීතුමා, සිය ප්‍රජාව වෙනුවෙන් කරිටාස් ආයතනය මගින් සිදුකරන මෙම මහගු ශක්තිය පිළිබඳව ප්‍රශංසා කරමින් කියා සිටියේ , වස විස නැති කාබනීක ආහාර භාවිතය පිළිබඳව අතීතයේ සිට ශුද්ධවූ කුරානයේ පවා සඳහන් කර තිබෙන බවත්, මුස්ලිම්  ජාතිකයින් පමණක් නොව, රෝගී නොවි හොඳ සෞඛ්‍ය පවත්වාගෙන යාම සඳහා සියලුම මිනිසුන් වස විස නැති කාබනීක ආහාර අනුභව කළ යුතු යැයි,  නබී නායක මොහම්මද් තුමා ද පෙන්වා දී  ඇති බවත්ය.
“ඔබගේ වගා කිරීම් වලදි ද අලෙවි පොලේදී ද සහ වෙනත් ඕනෑම කටයුත්තක දී එකමුතුකම ඉදිරියට ගෙන කටයුතු කරන්න කියා ඉල්ලා සිටිනවා. කරිටාස් ආයතන වලට කරන්න හැකි එකම දේ ඔබට අවශ්‍ය මූල්‍ය ශක්තිය සපයා දී මගපෙන්වීමයි. ඒවා සාමකාමීව ප්‍රයෝජනයට ගනිමින් ඔබේ ආර්ථීකය ශක්තිමත් කරගැනීම සහ ඔබලා අතර එකමුතුකම වර්ධනය කරගැනීම ඔබ විසින් ම කරගත යුතු කාර්යයක්” යැයි කරිටාස් ජාතික ආයතනයේ තිරසර සාමය හා සාධාරණත්වය සඳහා වන අංශයේ ප්‍රධානි, ගරු දීපා ප්‍රනාන්දු පැවිදි සොයුරිය මුස්ලිම් කාන්තාවන් ආමන්ත්‍රණය කරමින් ප්‍රකාශ කළේය. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *