අම්බුළුවාව මඟ පෙන්වීම සඳහා සංචාරක මඟ පෙන්වන්නන් දහසක් – නදීක දයා බණ්ඩාර – මහනුවර

අම්බුළුවාව සර්ව ආගමික හා ජෛ විවිධත්ව මධ්‍යස්ථානයේ මඟ පෙන්වීම සඳහා සංචාරක මඟ පෙන්වන්නන් දහසකට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතැයි එම මධ්‍යස්ථාන භාරයේ සභාපති, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ලංකා ජයරත්න මහතා පවසයි.

මසකට විදේශීය සංචාරයකයන් පනස් දහසකට අධික ප්‍රමාණයක් පැමිණෙන බැවින් මෙම මඟ පෙන්වන්නන් ලියාපදිංචි කොට දත්ත පද්ධතියක් සකස් කොට ඇති බවත් ලියාපදිංචි නොවූ මඟ මාර්ගෝපදේශකයන් පුහුණූ කිරීමේ වැඩසටහනක් ආරම්භ කොට ඇතැයි ද ඒ මහතා තව දුරටත් පැවසුවේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ අම්බුළුවාව සර්ව ආගමික හා ජෛ විවිධත්ව මධ්‍යස්ථානයේ වර්තමාන තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමේ අපේක්ෂාවෙන් එම මධ්‍යස්ථානයේදී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මෙම මධ්‍යස්ථානයේ සියලුම ආදායම් වියදම් විගණකාධිපතිවරයාට යොමු විය හැකි මාර්ගත පද්ධතියකින් සමන්විත යැයි කී අමාත්‍යවරයා, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම පවා මාර්ගත ක්‍රමයට සිදුවන බව කීවේය. ආදායම් හා වියදම් විගණනය වන බවත් අම්බුළුවාවෙන් ලබා ගත හැකි පහසුකම් අන්තර්ජාලයට යොමු කර ඇතැයි ද කීවේය.

විදේශීය සංචාරකයන් සමඟ පැමිණෙන සාමාන්‍ය මග පෙන්වන්නන් විධිමත් පුහුණුවකට ලක් කරන බව කී අමාත්‍යවරයා පළාත් සංචාරක අමාත්‍යාංශ මගින් ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබා දෙන බව කීවේය. එම පුහුණුවෙන් අනතුරුව සංචාරක මාර්ගෝපදේශකයන් වශයෙන් ඔවුන්ට පත්වීම් ලබා දීමේ වැඩපිළිවෙළක් අම්බලුවාවභාරයේ මැදිහත්වීම මත ක්‍රියාත්මක කරන බවද ඒ මහතා  ප්‍රකාශ කළේය

මෙරට පළමු වරට කේබල් කාර් ව්‍යාපෘතියක් අම්බුළුවාව කේන්ද්‍ර කොට දියත් වන බව කී හෙතෙම ලබන වර්ෂයේ මාර්තු මස දී එහි පළමු අදියර ක්‍රියාත්මක කරන බව පැවසුවේය.   දෙවන අදිරය ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ගම්පල දුම්රිය ස්ථානයේ සිට මිනිත්තු හයක් වැනි කාලයක් තුළදී අම්බලුවාවට පැමිණීමට හැකි ක්‍රමවේදයක් සකස් වනු ඇතැයිද කීවේය.

අම්බුලුවාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට නවාතැන් ගත හැකි පරිදි  ගම්පල දක්වා නිවාස ආශ්‍රිතව කුඩා ප්‍රමාණයේ සංචාරක නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කොට ඇතැයිද ඔහු කීවේය.  ඒ අනුව මෙම වර්ෂයේ නොවැම්බර් මස වන විට සංචාරකයන් හතළිස් හය දෙනකුට ලැගුම් ගත හැකි නිවාස විසිතුනක් ආරම්භ කොට විවෘත කරන බවද අමාත්‍ය අනුරාධ ලංකා ජයරත්න මහතා තවදුරටත් පැවසුවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *