මැතිවරණ වියදම් කළමණාකරණ පනත පිළිබදව මධ්‍යම පළාතේ නිලධාරීන් දැනුවත් කිරීම මහනුවර දී… – නදීක දයා බණ්ඩාර

තොරතුරු තාක්ෂණය අනුව මැතිවරණ ප්‍රචාරක කටයුතු පුළුල් වී ඇති තත්ත්වයක් මත මැතිවරණ වියදම් ඉදිරියේදී විධීමත් අයුරින් නියාමනය කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
සමාජ මාධ්‍ය ජාලා තුළින් වඩාත් සීඝ්‍රගාමීව මැතිවරණ ප්‍රචාරක කටයුතු ක්‍රියාත්මක වන තත්ත්වයක් යටතේ සියලු වියදම් නිරීක්ෂණය වන බව ඒ මහතා තව දුරටත් පැවසුවේය.
මැතිවරණ වියදම් කළමණාකරණ පනත පිළිබදව මධ්‍යම පළාතේ නිලධාරීන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මැතිවරණ කොමිෂන් සභාවේ මෙහෙයවීම මත මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (14) පැවැති අතර එහිදී කොමසාරිස් ජනරාල්වරයා මේ බව කීවේය.
ඡන්ද අපේක්ෂකයන් සිය මැතිවරණ වියදම් දේශීය මූලාශ මත සිදු කළත් සමාජ මාධ්‍ය මගින් එම කටයුතු මෙහෙයවීම ජාත්‍යන්තරය මගින් සිදුවන අවස්ථා පවතින බව කී ඒ මහතා නව පනත මගින් සෑම ක්ෂේත්‍රයකම වියදම් නියාමනය සිදුවන බව පැවසුවේය.
මැතිවරණයකදී සිය ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මුදල් වියදම් කළ හැකි වුවත් අපේක්ෂකයාට මුදල් ලැබෙන මූලාශ්‍රය හා වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් නව පනත අනුව විධිමත්ව හෙළි කළ යුතුව ඇතැයි ඒ මහතා කීවේය.
නමුත් මුදල් ලැබුණු පාර්ශවය හා වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් විනිවිද භාවයක් නොමැති නිසා ඉදිරි මැතිවරණයේදි මෙම පනත නීතියානුකූලට ක්‍රියාත්මක කරන බව ඔහු කීහ. ප්‍රජාත්නත්‍රවාදි රටවලින් 67%ක් සිය අපේක්ෂකයන්ගේ මැතිවරණය සඳහා මුදල් ලැබුණු මාර්ගය හෙළි කළ යුතු බවත් එම පාර්ශව නිර්නාමික නොවිය යුතු යැයි කීවේය.
නව පනත සම්බන්ධයෙන් අදාල නිලධාරීන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් දැනුවත් කරන බවත් පනතේ ක්‍රියාත්මකභාවය සඳහා දායකවන ආයතනවල යෝජනා කැඳවන බව ද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මැතිවරණ කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය කොමසාරිස් ආචාර්ය සම්පත් ප්‍රනාන්දු, එම කොමිෂන් සභාවේ පර්යේෂණ හා සැලසුම් අධ්‍යක්ෂ චන්න පී. ද සිල්වා, එහි නීති විමර්ශන හා සැලසුම් අංශයේ අතිරේක මැතිවරණ කොමසාරිස් චින්තක කුලරත්න යන මහත්වරුන්ද මහනුවර හා මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුලු රජයේ නිලධාරීන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට එක්විය.