හරිත පාරිසරික සංකල්ප අනුගමනය කරන රටවල් ආර්ථික අභියෝග ජය ගන්නා බව මහාචාර්ය එම්.එස්.එම්.අස්ලම් කියයි. – නදීක දයා බණ්ඩාර

හරිත පාරිසරික සංකල්ප අනුගමනය කරන රටවල් සංචාරක හා ආර්ථික අභියෝග ජය ගන්නා බව සබරගමුව විශ්ව විද්‍යාලයේ සංචාරක ක්ෂේත්‍ර පිළිබඳ මහාචාර්ය එම්.එස්.එම්.අස්ලම් මහතා පවසයි.
ආදායම් ඉපැයීම සඳහා පරිසරය හා ස්වාභාවික සම්පත් විනාශ කළ යුගය වෙනුවට එම සම්පත් සුරක්ෂිත කර ගැනීම ප්‍රධාන කොට ගත් හරිත පාරිසරික නිෂ්පාදන යුගයක් අද වන විට බිහි වෙමින් පවතින බව ද මහාචාර්යවරයා තව දුරටත් පැවසුවේය.
ජගත් පරිසර දිනය නිමිත්තෙන් මධ්‍යම පළාත් පරිසර අමාත්‍යංශය මහනුවර කැන්ඩ් සිටි සෙන්ටර් ආයතනයේදී අද (05) සංවිධාන කොට තිබුණු දැනුවත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් ඒ මහතා මේ බව කීවේය.
ස්වාභාවික සම්පත්වලින් නිපැයූ නිෂ්පාදනවලින් යුක්ත අලෙවි ප්‍රදර්ශනය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා විසින් විවෘත කිරීමෙන් අනතුරුව එම පරිශ්‍රයේදී දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්විණි.
භෞතික සම්පත් විනාශ කරමින් ආදායම් උත්පාදනය කිරීම දැනට දශකයකට පමණ ඉහතදී බොහෝ රටවල ප්‍රධාන ආදායම් මාර්ගයක් වුවත් අද බොහෝ රටවල් ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම ප්‍රධාන තේමාවක් බවට පත් කොට ගෙන ඇතැයි මහාචාර්යවරයා කීවේය.
දියුණු රටවල් මේ වන විට හරිත කෘෂිකර්මය හා හරිත පාරිසරික ක්ෂේත්‍රය වෙත යොමු වී ඇතැයි පෙන්වා දුන් ඒ මහතා පරිසර විනාශය වෙනුවට පරිසරය රැක ගැනිම තුළින් ආදායම් ඉපැයීම මේ වන විට සිදුවන බව ද කීවේය.
ලෝකයේ දියුණු රටවල් විවිධ ජනප්‍රිය සන්නාමයන් ඔස්සේ නිෂ්පාදනය කරන දැවැන්ත නිපැයුම්වල ප්‍රධාන අමුද්‍රව්‍ය බොහෝ විට ශ්‍රී ලංකාව වැනි රටවලින් ලබා ගන්නා ස්වාභාවික සම්පත් වන බවත් එම සම්පත් මනා ලෙස කළමණාකරණය කර ගැනීම මගින් මෙරටට ද ඉහළ ආදායම් ඉපැයිය හැකි යැයි ඒ මහතා කීවේය.
හරිත නිෂ්පාදන සඳහා ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින බැවින් ශ්‍රී ලංකායේ ස්වාභාවික සම්පත් කළමණාකරණය කර ගනිමින් නිෂ්පාදන කෙරෙහි යොමු වීම වඩා වැදගත් යැයි ද මහාචාර්ය එම්.එස්.එම්.අස්ලම් මහතා තව දුරටත් පැවසුවේය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් පරිසර හා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතා ඇතුලු නිලධාරීන් ද නව නිපැයුම්කරුවන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.