ශ්‍රී ලංකාවේ විශාලතම ලෝහයමය ශ්‍රී සුමන සමන් දේවා ප්‍රතිමාව සඳහා මහනුවරදී හරසර නදීක දයා බණ්ඩාර
ශ්‍රී පාදස්ථානයේ ස්ථාපිත කිරීම සඳහා වැඩම කරවන ශ්‍රී ලංකාවේ විශාලතම ලෝහමය ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව මහනුවර නගරයෙන් වරකාව පුරාණ විහාරය කරා පිටත්වීම අද දහවල් සිදුවිය.
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිට පේරාදෙණිය, මහනුවර, ගම්පොළ හරහා එම දේව ප්‍රතිමාව ශ්‍රී පාදස්ථානය කරා වැඩම කරවීමට නියමිතය.
ගංගාරාම විහාරය, යක්කල රජමහ විහාරය, බිසෝවෙල රජමහ විහාරය, තෝලංගමුව රජමහ විහාරය, රංවල රජමහ විහාරය, කඩුගන්නාව, ඉළුක්පිටිය, පිළිමතලාව ඔස්සේ මහජන ගෞරව සඳහා තැම්පත් කරමින් වැඩම කළ ප්‍රතිමාව අද පැය තුනක කාලයක් මහනුවර සහස් උයන පරිශ්‍රයේ තැම්පත් කොට තිබිණී.
අනතුරුව මහනුවර විලියම් ගොපල්ලව මාවත ඔස්සේ වැඩම කළ ප්‍රතිමාව පැණිදෙණිය භාරතී පිරිවෙන, ගෙලිඔය කරමඩ විහාරය හා ගෙලිඔය නගරය, වැලිගල්ල, ගම්පොල, නියංගම්පාය රජමහා විහාරය, උඩගම හා පල්ලේගම යන රජමහා විහාර ඔස්සේ ගමන් කොට අද රාත්‍රී වරකාව රජමහා විහාරයේ තැම්පත් කිරීමට නියමිතය.
ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන්ගේ ආශිර්වාද මත නල්ලතන්නිය කල්පවෘක්ෂ විහාරාධිපති පූජ්‍ය දෙහිපේ නන්ද හිමියන්ගේ උපදෙස් මත ගම්පොල ව්‍යාපාරික කේ.එල්.ඝනසිංහ මහතා සහ එම පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම ප්‍රතිමාව නිර්මාණය කොට තිබේ.
ගැටුම් දුරුවී සියලු ලක් වැසියන්ට දයාව කරුණාව මෛත්‍රිය පහළවේවා යන තේමාව යටතේ පූජා කෙරන මෙම ප්‍රතිමාව බක් පුර පසළොස්වක පෝය දින ශ්‍රි පාදස්ථානයේ තැම්පත් කිරීම නියමිතය.