දිළිඳු ආර්ථීකය තුළ අවුරුදු ප්‍රිීතිය අහිමි ඔව්හු — මෙලනි මානෙල් පෙරේරා
“සූර්යා මීන රාශීයෙන් මේඝ රාශීයට පැමිණීමේ මංගල්‍යය, සිංහල-දෙමළ අලුත් අවුරුද්ද ප්‍රීතියෙන් සමරන්න අපිට හැකියාවක් නැහැ. පසුගිය වසරවලට වඩා මේ වසර හරිම අමාරුයි. දිනපතා නිසි ආදායමක් නැහැ. ඒ නිසා කිසිම අලුත් ඇඳුමක් , ආහාරයක් මිල දි ගන්න අපහසුයි. ඒ නිසා මේ අලුත් අවුරුදු උදාව දුප්පත් අපට නෙවෙයි කියල තමා කියන්න වෙන්නේ” යැයි දෛනික ආදායම් උපයන ඇතැම් සිංහල – දෙමළ පුද්ගලයින් ගේ අදහස විය.
එහෙත් අද, පළතුරු පෙට්ටි එකහාමාරක් අලෙවිකර ගැනීමට උගුර ලේ රස වන තුරු කෑගසන්නට සිදුවී ඇති බවත් , දවස අවසානයේ රුපියල් 1000.00ක් රැගෙන ගෙදර යන්නට සිදුව ඇති බවත් ප්‍රකාශ කළේය.
“අපි පස් දෙනෙක් දිනක ජීවත් වෙලා, තුන්දෙනෙක් පාසැල් යවලා, තව අවුරුදු කන්න කෝ සල්ලි ? බඩු මිළ අහස උසට ගිහිං තියෙද්දී අපිට මොන අවුරුදුද” යැයි සරණපාල ඉතාම වේදනාවෙන් යුතුව කීවේය.
“දෙමවිපියෝ එක්ක එන චූටි ළමයි කැවිළි දිහා බලලා අඩ අඩ යනවා කැවිළි වල මිල අහලා අම්මලා තාත්තලා හැරිලා යනකොට. ඉස්සර, ඒ කියන්නේ දැනට අවුරුදු 3,4 කට එහා අද දවස වෙනකොට සැලකිය යුතු ආදායමක් හිමිවෙලා තියෙනවා. නමුත්, අද දවසට තාම මාගේ ආදායම වෙලා තියෙන්නේ රුපියල් 1000ක් විතරයි. ඊයේ කැවුම් ගෙනාවා ඊයේත් ලැබුණේ රුපියල් 1000යි” යැයි ජාඇල පොදු වෙළෙඳ සැලේ රසකැවිලි අලෙවි කරන වසය අවු 60ක් වන මේබල් ෆිලීෂියා කීවෙිය.
නඩරාසා රාසමනි වයස අවුරුදු 45ක ත්‍රී රෝදරථ රියදුරෙකු වන අතර, ඔහුට කුඩා දරුවන් දෙදෙනෙක් සිටිති. සිය වයෝවෘද්ද මවත් , පියාත් බිරිඳත් දරු දෙදෙනාත් සමග වත්තල ප්‍රදේශයේ කුලී නිවෙසක ජිවත් වෙති. වෙනදා මෙන් ත්‍රී රෝද රථ රැකියාව සාර්ථක නොමැති බව පැවසූ ඔහු දිනපතා උදැසන 6.00 වන විට වත්තල පිහිටි හේමාස් නැමති පුද්ගලීක රෝහල ආසන්නයේ සිය ත්‍රී රෝද රථය නවත්වා ගෙන පෙරවරු 8.30 තෙක් රැකියා සඳහා යන අය වෙත උදැසන ආහාරය අලෙවි කරයි.
සිය බිරිඳ සමග එකතුව එවැනි සුලු ව්‍යාපාරයක් සිදුකළ ද, මාසය ගතකරන්නේ ඉතාම දුක් කම්කටොලු සමගින් යැයි පැවසූ නඩරාසා , අවුරුදු උදාව ගැන එච්චර ගෙදර කථාකරන්නේ නැහැ යැයි කීවෙිය.” පොඩි ළමයිට අවුරුදුවලට රසකැවිලි, අලුත් ඇදූම් තෑගී අරන් දෙන්න අපිට හැකියාවක් නැහැ. අම්මලාට තාත්තලාට තෑගි අරන් දෙන්න හැකියාවක් නැහැ. ණය අරගෙන ඒවා කරන්න අපි දෙන්නම කැමති නැහැ. ඒ නිසා මම යි බිරිඳයි දුකෙන් යුතුව අවුරුද්ද අමතක කරලා ඉන්නවා” යැයි නඩරාසා පහත් හඩින් කීවේය.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ හැම දෙනාම ප්‍රීතියෙන් යුතුව ගතකරන ජාතික උත්සවයක් වුනත් අපි වැනි දරීද්‍රතාවයෙන් යුතු මිනිස්සුන්ට ඒ අවුරුදු ප්‍රීතිය නැතිව ගොස් තිබීම කණගාටුවට කාරණයක්. උපරිම ප්‍රීතිය භුක්ති විඳින මිනිස්සුත් ඉන්නවා. ඒ ප්‍රීතිය අපිටත් භුක්තිවිඳින්න පුලුවන් ආකාරයක් ඇතිකිරීම රටේ වගකියන පුද්ගලයින් දැනගත යුතු යැයි යන ආකල්පයෙන් ඔවුන් පසුවෙති.