ආබාධිත ප්‍රජාව සමබන්ධයෙන් නීති තිබුණත් ක්‍රියාත්මක වන්නේ අල්ප වශයෙන් යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. – නදීක දයා බණ්ඩාර

ආබාධිත ප්‍රජාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් නීති, අණපනත්  හා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ආදිය පැවතුණත් ඒවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඔවුන් බරපතල ලෙස අගතියට පත්ව ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

එබැවින් සිය සීමාව තුළ අදාල නීති ක්‍රියාත්මක කොට ආබාධිත ප්‍රජාවට සහනයක් සැලසීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද සභාපතිවරයා කීවේය.

ආබාධ සහිතවූවන්ට ගොඩනැගිලි සඳහා  ප්‍රවේශ පහසුකම් සම්පාදනය කිරීම සම්බන්ධයෙන්  අදාල පාර්ශව දැනුවත් කිරීම නිමිත්තෙන්  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මැදිහත්වීම මත මහනුවර දී  (01) පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් සභාපතිවරයා මේ බව කීවේය.

ආන්තික කොටසක් වශයෙන් හදුන්වන වතු ප්‍රජාව මෙන්ම ආබාධිත ප්‍රජාව සම්බන්ධයෙන් වර්ෂ 1996 සිට මේ දක්වා පනත් සම්මත කොට ඇති බවත් එමෙන්ම 2007 ගැසට් පත්‍ර මගින් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කොට ඇති බවත් ඒ මහතා පැවසුවේය.

ගොඩනැගිලි, දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොල ආදි පොදු ස්ථානවල ප්‍රවේශ පහසුකම් ස්ථාපිත කිරීම, ආබාධිත ප්‍රජාවට රජයේ ආයතනවලදී සැලකිය යුතු ආකාරය ආදිය සම්බන්ධයෙන් එම නීතිරිති වල පැහැදැලිව සඳහන් කොට ඇතැයි පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය.

නමුත් බොහෝ ස්ථානවල එය ක්‍රියාත්මක නොවන නිසා ඉදිරියේදී හෝ සිය සීමාව තුළ අදාල නීති ක්‍රියාත්මක කොට ආබාධිත ප්‍රජාවට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් දැනුවත් කරන බව කී සභාපතිවරයා තව දුරටත් මෙසේ ද සඳහන් කළේය.

පරිපාලනමය, රාජ්‍ය නිලධාරීන්ගෙන් සිදුවන අකටයුතුකම්, පොලිසියේ පහරදීම් ආදී පොදු පැමිණීලි දිනපතා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යාල දහයකට ලැබෙනවා. මානම හිමිකම් කොමිෂමට ඉදිරිපත් කරන පැමිණිලි ක්‍රියාත්මක වන ප්‍රතිශතය ඉහළයි. කොමිෂම ලබා දෙන තීන්දු ක්‍රියාත්මක නොවන්නේ නම් එය ජනාධිපතිවරයාටද අනතුරුව පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කිරීමට හැකියාව තියෙනවා.

කොමිෂමේ තීන්දු ක්‍රියාත්මක නොවන්නේ නම් අමාත්‍යංශ ලේකම්වරයා කැඳවා ප්‍රශ්න කිරීමේ හා ඒ සඳහා අදාල රජයේ ආයතනය පෙළඹවීමේ හැකියාව පවතිනන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *