බාහිර බලවේග වෙනුවට අභ්‍යන්තර බලවේග මගින් බුදු දහමට තර්ජන ඇතැයි අස්ගිරි මහ නා හිමි පවසයි – නදීක දයා බණ්ඩාර

බාහිර බලවේගයන්ට වඩා අභ්‍යන්තර බලවේග මගින් බුදු දහමට තර්ජන එල්ල වී ඇතැයි අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් පවසති.
බුදු දහම විනාශ කිරීම සඳහා මෑතක් වන තුරුම විවිධ බාහිර බලවේග යොදා ගැණනු ද මේ වන විට භික්ෂූන් වහන්සේ හා බෞද්ධයන් යොදා ගනිමින් බුද්ධාගමට හානි කිරීමට විවිධ පාර්ශව කටයුතු යොදා ඇතැයි ද මහා නායක හිමියන් පැවසූහ.
පොල්ගොල්ල සාරවන විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහනකට එක් වෙමින් මහා නායක හිමියන් මේ බව පැවසූහ.
බාහිර බලවේග යොදා බුද්ධාගමට සිදුකරන හානියට වඩා වැඩි හානියක් අභ්‍යන්තරය මගින් සිදුකිරීමට ඔවුන් පෙළඹී ඇතැයි මහා නායක හිමියන් පැවසූහ. බෝධි සත්වයන් බවට පත්වීම, රහත් වූ බව පැවසීම ආදි විවිධ කරුණු හුවා දක්වමින් ගිහියන් හා භික්ෂුන් වහන්සේ විසින්ම බුද්ධාගමට හානි සිදුකරන බව මහා නායක හිමියන් පෙන්වා දුන්නේය.
එවැනි අකටයුතුකම් සිදුවන බව මහා නායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිවරයා හෝ විෂයභාර අමාත්‍යවරුන්ට දැන්වූ පසු වඩාත් සාධනීය පිළිතරු හිමිවූ බව කී මහා නායක හිමියන්, ඒ නිසා බුද්ධාගම බොහෝ දුරට සුරැකී ඇතැයි කීවේය.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කෘතවේදී වන බව ද මහා නායක හිමියන් පැවසූහ.
මේ දක්වා බියකින් පසුවූ බව කී උන්වහන්සේ දැනට යම් සැනසිල්ලක් ලැබුණත් බුදු දහම තුළින් මතුවන පිරිස් කරන ක්‍රියාමාර්ග හේතුවෙන් බුදු දහම විනාශය කරා යොමු වීම සම්බන්ධයෙන් සැනසීම අහිමි වන බව ද කීවේය.
බොහෝ විහාරස්ථානවලින් දූ දරුන්ට ආධාර උපකාර සිදු කොට බෞද්ධයන් රැක ගැනීමට ක්‍රියා කළත් පවිටු පිරිස් සිදුකරන ක්‍රියාවලින් ඔවුන්ට කර්මය අනුව දඩුවම් විදීමට සිදුවන බව ද මහා නායක හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.
මාහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.