ගෙවා ගත නොහැකි වූ ණය ගෙවීමට සහනදායි කාලයක් ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කරන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි. – නදීක දයා බණ්ඩාර

විදෙස් ණය ගෙවීම සඳහා සහනදායී කාලයක් ඉල්ලා සිටීම පිළිබඳව ජාත්‍යන්තරය සමඟ ඉදිරියේදී ගිවිසුම්ගත වන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

වසර 20ක කාලයක් ඒ සඳහා හිමිවන බවත් දීර්ඝ කාලීන වාරික වශයෙන් ණය ගෙවීමේ හැකියාව නව ගිවිසුම අනුව හිමිවනු ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.

ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා ද ඒ සම්බන්ධයෙන් රටවල් රැසක් සමඟා සාකච්ඡා කොට ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මේ වන විට චීනය සමඟ සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා තව දුරටත් පැවසුවේය.

පොල්ගොල්ල සාලවන විහාරීය ශ්‍රී නන්දසාර දහම් පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පැවැති අතර එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව කීවේය.

එම විහාරීය සීමාමාලකයට ප්‍රවේශවන යෝජිත මාර්ගයේ නීරීක්ෂණ කටයුතු සඳහා ද එහිදී අමාත්‍යවරයා එක්විය.

උත්සව සභාවේදී අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව මේ වන විට ලබා ගෙන ඇති  ණය සඳහා ණය වාරික ගෙවීම මේ වන විට සිදු නොවන බවත් ක්‍රමානුකූලව ණය ගෙවීම සඳහා  ආර්ථික අර්බුදවලදී රටවල් මුදා ගත් විශේෂඥයන්ගේ සහයෝගය ලබා ගන්නා බවත් කීහ. ප්‍රංශයේ ලසාඩ් සමාගම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකා මහ බැංකුවේ විද්වතුන්, මුදල් අමාත්‍යංශය ආදී සියලු පාර්ශව රට මුදා ගැනීම සඳහා උත්සහයක නිරතවන බව ද ගුණවර්ධන මහතා කීවේය.

එම ගිවිසුම සඳහා එකඟ වූ පසු ණය ගෙවිම අදියට කිහිපයක් යටතේ සිදුවන බව කී ඒ මහතා ගිවිසුමට අනුව රට අඛණ්ඩව ආණ්ඩුකරණය සිදු කළ යුතු යැයි ද කීවේය. ඒ අනුව ගෙවා ගත නොහැකි වූ ණය ප්‍රමාණයෙන් 37%ක් පළමු වසර 5 – 6 අතර ගෙවිය යුතුය. අවුරුදු 06-20 අතර ණය වලින් 51%ක් ඒ අනුව ගෙවිය යුතු යැයි අමාත්‍යවරයා පැවසුවේය. අනතුරුව අවුරුදු 20කට පසු හිඟවී ඇති සෙසු 12% මුදල් කොටස ගෙවිය යුතුව ඇතැයි ඒ මහතා කීවේය.

එම ගිවිසුමට එළැඹි පසු මේ වන විට අතරමඟ නැවතී ඇති සියලු සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට හැකි වන අමාත්‍යවරයා කීවේය. මහනුවර ගැටඹේ ප්‍රධාන මාර්ගයේ නැවතී ඇති ගුවන් පාලම සඳහා හංගේරියාව ආධාර කරන නමුත් මෙම ගිවිසුමට එළැඹෙන තෙක් එම රට ඉතිරි මුදල් ලබා නොදෙන බව කී අමාත්‍යවරයා රටේ එවැනි සියලු සංවර්ධන ව්‍යාපෘති අඩපණ වී ඇතැයි කීවේය.

නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටවල් ගණනාවක් සමඟා කළ සාකච්ඡා අනුව ඉදිරියේදී සහනදායී අයුරින් ණය ගෙවීම සඳහා ගිවිසුම් ගත විය හැකි යැයි ද ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සාලවන විහාරාධිපති පූජ්‍ය වත්තේගම සීලානන්ද හිමි ඇතුලු මහා සංඝරත්නය ද වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා, පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් තක්ෂිලා වීරකෝන් මහත්මිය, මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ මහේන්ද්‍ර විජේපාල යන මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *