වෙළෙඳ කලාපයට නොමිලේ සායනයක්

 


වෙළෙඳ කලාප සේවිකාවන් විශාල සංඛ්‍යාවකට වෛද්‍ය පරීක්‍ෂණ පහසුකම්, වෛද්‍ය උපදෙස් සහ නොමිලේ ප්‍රථිකාර ,  ඖෂධ ලබාදීමේ “එක් දින වෛද්‍ය සායනයක්” ඊයේ, මාර්තු 17 වෙනි දා, වෙළෙඳ කලාපයේ දී පැවැත්විණි. “අපට මේ සායනය විශාල උදව්වක් වගේම විශාල සහනයක්. වෛද්‍ය මධ්‍යස්ථානයකට යාමට නොහැකි සේවිකාවන් සඳහා මෙය මහගු අවස්ථාවක්.” ය, යන්න සායනයට පැමිණී සේවිකාවන්ගේ අදහසයි.
“ඩා-බිඳු  සාමූහිකයේ” මූලිකත්වයෙන්, සීදූව, මහජන සෞඛ්‍ය කාර්යාලය හා එක්ව “සේවකයින් 100 දෙනෙකු සඳහා එක්දින ජංගම වෛද්‍ය සායනයක් “යන මැයෙන් සංවිධානය කරන ලද වෛද්‍ය සායනය, මාර්තු 17වෙනිදා – ඉරිදා පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා , කටුණායක පිහිටි ඩා-බිඳු කාර්යාල පරිශ්‍රයේ දී සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන්නට යෙදුණී.
වර්තමානයේ පවතින ආර්ථීක දරිද්‍රතාවය නිසා දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දී සිටින නිදහස් වෙළෙඳ කලාපයේ රැකියා කරන කාන්තාවන් වෙත, විශේෂයෙන් තරුණ කාන්තාවන් වෙත විශේෂ අවධානයක් යොමුකරමින් මේ වසරේ ජංගම සායනය පැවැත්වූ බව “ඩා-බිඳු සාමූහිකයේ” විධායක අධ්‍යක්‍ෂිකා චමිලා තුෂාරි මෝජෝ පුවත් සේවයට ප්‍රකාශ කළේය.
 
“අද පවතින දැඩි ආර්ථීක පීඩනය හමුවේ ලංකාවේ  සාමාන්‍ය මනුෂ්‍යයෙකුට තමන්ගේ අසනීපයකට වෛද්‍ය ප්‍රථිකාර ගැනීම ඉතාම දුෂ්කර කාර්යයක් බවට පත්වී තිබෙනවා. ඒ අතර සේවයට සරිලන සේ සාධාරණ වැටුපක් නොලබන වෙළෙඳ කලාප සේවක සේවිකාවන්ට තමන්ගේ සෞඛ්‍ය සම්පන්න බව පරීක්‍ෂාකර බලන්න තරම් වැයකරන්න ආර්ථීක ශක්තියක් නැහැ. ඒ නිසා කම්කරු සේවක සේවිකාවන් වෙනුවෙන් ක්‍රියාකරන සංවිධානයක් විධියට අපි මේ වසරේ දී ඔවුන්ගේ සුව – සෞඛ්‍යය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකරලා මෙම සම්පූර්ණ වෛද්‍ය සායනය සංවිධානය කළා” යැයි චමිලා තුෂාරි පැවසීය.
 
ඒ අනුව, සීදූව, මහජන සෞඛ්‍ය කාර්යාලයේ ප්‍රධානී වෛද්‍ය රවී සිල්වා ඇතුලු වෛද්‍ය සුපිපි ද සිල්වා , වෛද්‍ය චමින්ද සෙනරත් , මහජන සෞඛ්‍ය හෙද සොහොයුරිය, උපස්ථායිකාවන් සය දෙනෙක්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක් ගෙන් සැදුම්ලත් සෞඛ්‍ය නිළධාරී කණ්ඩායම විසින් “100 දෙනෙකු සඳහා එක් දින ජංගම වෛද්‍ය සායනය” සඳහා දායකත්වය ලබා දී තිබුණි.  
 

වෛද්‍ය සායනය කාන්තා සේවිකාවන්ට විවිධ ආකාරයේ පරීක්ෂණ සඳහා පහසුකම් සලසා තිබුණි. ශාරීරික පරීක්‍ෂණ සහ රුධිර පීඩනය මැනීම, දියවැඩියාව සඳහා රුධිර සීනි පරීක්‍ෂාව, ශරීර සෝදිසිය බැලීම, රුධිර කොලෙස්ටරෝල් පරීක්‍ෂාව, සායනික පියයුරු පරීක්‍ෂණ සහ ස්වයං පියයුරු පරීක්‍ෂණ, අනාගත පිළිකා අවධානම සඳහා ගර්භාෂ පරීක්‍ෂා කිරීම, පැප් පරීක්‍ෂණය, තයිරොයිඩ් ග්‍රන්ථි පරීක්‍ෂාව, පවුල් සැලසුම් උපදේශන සේවා සැපයීම, ප්‍රජනක චක්‍රයේ ගැටළු සඳහා උපදේශන සැපයීම සහ සෞඛ්‍ය අධ්‍යාපනය/උපදේශනය ඒ අතර විය.

 
වෛද්‍ය පරීක්‍ෂණවලට සහභාගිවීමට අමතරව, පවුල් සැලසුම්, ගබ්සාව සහ ප්‍රජනක පදධතිය ආශ්‍රිත රෝග, පිළිකා තත්ත්වයන්, ඒ ආශ්‍රිත ගැටලු සහ එම තත්ත්වයන්ට පිළිපැදිය යුතු කරුණු කාරණා පිළිබඳව සහ විසඳූම් පිළිබඳව ද, කාන්තා සේවිකාවන් හට ඉතා හරවත් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද වෛද්‍ය රවී සිල්වා  විසින් පවත්වන ලදී.
වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් සතිය පුරා සේවයෙහි නිරත වීමේ හේතුවෙන් සෞඛ්‍ය කාර්යාලවල නිත්‍ය වශයෙන් පැවැත්වෙන සායනවලට හෝ පෞද්ගලීකව වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමුවීමක් නොමැති බව සඳහන් කළ චමිලා තුෂාරි,  “එක් පැත්තකින් සතිය පුරාම තම සේවා ස්ථානවලට වාර්තා කිරීමට සිදුවන නිසාත් රැකියාවට නොගියහොත් වැටුප් නොලැබෙන නිසාත් සේවකයන් තම අසනීප තත්ත්වය සඳහා වෛද්‍යවරයකු හමුවීමට හෝ රෝහලට යාමට දැඩි මැලිකමක් දක්වනවා. අනෙක් අතට, එක් එක් වෛද්‍ය පරීක්ෂණ සඳහා අද පවතින ඉහළ මිල ගණන් අනුව ඔවුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් මූල්‍ය ශක්තියක් ඔවුන්ට නැහැ” චමිලා තුෂාරි  මෝජෝ පුවත්  වෙත පැහැදිළි කළේය.
 
සිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට නොපැමිණෙන කාන්තා සේවිකාවන් අද දින මෙම සායනයට පැමිණ අවශ්‍ය සියලු පරීක්‍ෂණ සිදුකර ගැනීම ඉතා වටිනා කාර්යයක් ලෙස ප්‍රකාශ කළ වෛද්‍ය රවී සිල්වා, මෙදින කාන්තාවන් 20 දෙනෙකු ම පැප් පරීක්‍ෂණය සඳහා ඉදිරිපත්වීම ඉතා ම අගයකොට සළකන බව කීවේය.

ඒ අතරින් කාන්තාවන් තුන් හතර දෙනෙකුම පියයුරුවල යම්කිසි ආසාදනයකින් පෙළෙන්නවුන් බවත්,  කොලොස්ටරෝල් සහිත 
රෝගීන් 16 දෙනෙකු ද අධි රුධීර පීඩනයෙන් පෙලුණු රෝගීන් කිහිප දෙනෙකු ද හඳූනාගත් අතර ඒ රෝගී තත්ත්වයන්ට අනුකූලව අවශ්‍ය හදිසි ප්‍රථිකර්ම සහ වැඩිදුර උපදෙස් සඳහා යොමු කළ බව ද චමිලා තුෂාරි පැවසීය.
 
කෙසේවෙතත්, ඖෂධ මෙන් ම , සෞඛ්‍ය පරීක්‍ෂණ සඳහා භාවිතාකරන පුංචිම උපකරණය සහ පුලුන් කැබැල්ලේ සිට මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, සෞඛ්‍ය සායනයට අවශ්‍ය කළ එකී සියලු ම උපකරණ ඇතුලු ඖෂධ මිල දී ගැනීමට සිදුවුයෙන් , මෙවර වෛද්‍ය සායනය වෙනුවෙන් අධික පිරිවැයක් දරන්නට සිදූවූ බව චමිලා තුෂාරි කීවේය.
 

“රටට විදේශ විනිමය සොයා දෙන සැළකිය යුතු සේවක පිරිසක් වෙනුවෙන් ඔවුන්ට අහිමීව තිබෙන අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් වෙනුවෙන් ඩාබිඳු අපගේ යුතුකම ඉටුකළා කියන සතුට අපට තිබෙනවා.” යැයි චමිලා තුෂාරි වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

 
“ඇත්තට ම මේ වෛද්‍ය සායනය අපි වගේ රැකියා කරන අයට ඉතාමත් ප්‍රයෝජනවත්. ඒ වගේ ම ලොකු පිහිටක්. මොකද අපි කරන රැකියාවට අනුව, අපිට ලොකු මුදල් නැහැ අපේ අසනීපවලට ප්‍රතිකාර ගන්න. ඒ වගේ ම රෝග පරීක්‍ෂා කරගන්න. ඉතිං ඩා-බිඳු සාමූහීකය හැමදාමත් වගේ අපිට කරන මේ සේවාව  ඉතාම  විශාලයි. මමත් හොඳ ශරීර පරික්‍ෂාවක් කරගන්න තමයි අද ආවේ” යැයි වසර දහයක් තුළ කටුණායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවය කරමින් සිටින වර්තමානයේ දි ස්ථීර නොවන රැකියාවක (manpower) නිරත කේ.ඩී. කලණි කීවේය.

“වෛද්‍යතුමා සිදුකළ දැනුවත් කිරීම ඉතාම ප්‍රයෝජනවත්. නොදැන හිටිය දේවල් ගොඩක් දැනගත්තා” යැයි ඇය කීවේය.

– මෙලනි මානෙල් පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *