ධීවරයින් නිදහස් කරන්න – ධීවර පවුල් පාරට — මෙලනි මානෙල් පෙරේරා

සෝමාලි මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මුදවාගත් ශ්‍රී ලාංකීක ධීවරයින් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය දක්වන මන්දගාමි ක්‍රියාපිළිවෙල සම්බන්ධයෙන් විරෝධතාවය දක්වමින්, “ලොරෙන්සෝ පුතා 4”  යාත්‍රාව සමග ධීවරයින් කඩිනමින් මෙරටට ගෙන්වා දෙන ලෙසට ඉල්ලා සිටිමින් එම ධීවර පවුල් උද්ඝෝෂණයක නිරත විය. “ක්‍රිස්තියානි කාන්ත හඩ ව්‍යාපාරය” ද මෙම ප්‍රශ්නයට සංවෙිදී වෙමින් ධීවරයින් ගෙන්වා ගැනීමෙි කාර්ය වෙත අවධානය යොමුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. 

 
“ජනාධිපතිතුමෙනි අපේ තාත්තලාව ඉක්මනින් ගෙනත් දෙන්න”, “අපේ තාත්තලාව ඉක්මනට ගෙනත් දෙන්න” , “අපේ ධීවරයින් සහ යාත්‍රාව කඩිනමින් ලංකාවට ගෙනත් දෙන්න”, “මුහුදු මංකොල්ලකරුවන්ගෙන් බේරාගත් අපේ දරුවන් ගෙනත් දෙන්න” , “බලධාරින් අවදිවන්න – අපේ දුකට සවන් දෙන්න” යනාදි වශයෙන් සටහන් කළ පුවර ඔසවාගෙන, සටන් පාඨ කියමින් ධීවරයින්  සය දෙනාගේ පවුල්වල සාමාජිකයින්, 10 වෙනිදා – ඉරිදා හවස 4.30 ට තොඩුවාව කුඩාමඩුවැල්ල ප්‍රදේශයේදී පැය දෙකක පමණ විරෝධතාවක් දියත් කළේය.
 
කුඩාමඩුවැල්ල ගම්මානයේ ධීවර නායකයෙකු වන ලෝයෙල්  ප්‍රනාන්දු මෙම විරෝධතාවයට සහභාගී වූ අතර 
මෝජෝ  නිවුස් වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මෙම සිදුවීමට  ඉතා කණගාටුදායක බවත් මේ වන විට මාසයක වඩා කල් ගතවී ඇති නමුත්, මෙම ධීවරයින් ලංකාවට ගෙන්වා ගැනීමට අපේ බලධාරීන් නිසි අවධානයක් යොමුකර නොමැතිවීම ඉතාම කණගාටුදායක බවයි.
“මේ කාරණයේ විශාල ප්‍රශ්නය හෝ අනතුරු අවසන්, සීෂෙල්ස් වෙරළාරක්ෂක භටයින් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් ඔවුන්ගේ ජීවිත බේරාගත් නිසා ධීවරයින් දැනටමත් ආරක්ෂිතයි. නමුත් අපේ බලධාරීන්ට මේ කාරණයට නිවැරදිව මැදිහත් වීමට නොහැකිවීම හරිම අපරාධයක්, මොකද ඔවුන්ගේ ජීවිකාව නැවතිලා තියෙන්නේ.” යැයි ලෝයෙල් ප්‍රනාන්දු පැවසීය.

නමුත් අපි අපේ රටේ නායකයින්ගෙන් කඩිනමින් ඉල්ලා සිටින්නේ “කරුණාකර මෙම අවශ්‍යතාවය ඉටු කරන ලෙසයි” ඔහු වැඩිදුරටත් පැවසීය.
පසුගිය පෙබරවාරි 27 වැනිදා අරාබි මුහුදේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු සහ ඔවුන්ගේ “ලොරෙන්සෝ පුතා 4” යාත්‍රාව සීෂෙල්ස් වෙරළාරක්ෂක භටයින් විසින් නිරුපද්‍රිතව බේරා ගන්නා ලදී.
 
“එවිට සීෂෙල්ස් රාජ්‍යයට අවශ්‍ය වූයේ ධීවරයින් සහ යාත්‍රා ශ්‍රී ලංකාවට ආපසු යැවීමේ අරමුණින් අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා රජය වහාම පියවර ගන්නා ලෙසයි,” යාත්‍රාවේ හිමිකරු ෆ්‍රැන්සිස් මිල්රෝයි මෝජෝ නිව්ස් වෙත පැවසීය.

“මම සීෂෙල්ස් හි තානාපතිවරයා සමඟ දුරකථනයෙන් කතා කළා. මට පැවසුවේ, ආරම්භයේදීම ඔවුන් ශ්‍රී ලංකාවට දන්වා අධිකරණයේ නඩුව ගැන විමසූ බවයි. නඩුව ඇසීමට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේද සීෂෙල්ස් හිද යන්න ඔවුන් 
ශ්‍රී ලංකාවෙන්  විමසා ඇත. නමුත් පසුගිය සිකුරාදා වනතුරුත් පිළිතුරක් ලැබී තිබුණේ නැහැ.” මිල්රෝයි පැවසීය.
 
“දැන් ඔවුන් සීෂෙල්ස් වෙත අවශ්‍ය පත්‍රිකා යවා ඇතත්, මෙම ප්‍රශ්නය කොපමණ දුරකට අවසානයක් දැකීමට යයිදැයි අපි නොදනිමු,” ඔහු වැඩිදුරටත් පැවසීය.
 
“මට පොඩි ළමයි තුන්දෙනෙක් ඉන්නවා. එයාලව පාසැල් යවන්න පොත් පත් ගත්තෙත් මම ණයවෙලා. තව බබෙක් ලැබෙන්න ඉන්නවා. දැන් මාස 07ක් වෙනවා. නමුත් තවම බබාට කිසිම දෙයක් අරගත්තෙ නැහැ. බබාට අලුත් ඇදුම් ගන්න තියා, අපට ජීවත් වෙන්නත් විදියක් නැහැ. රජයෙන් කියලා කිසිම උදව්වක් අපිට කළේ නැහැ. ඒ නිසා අපේ මහත්වරුන්ව ඉක්මනින් ගෙනත් දෙන්න කියලා ඉල්ලා සිටිනවා.” යැයි හර්ෂා ප්‍රියංගිකා  ධීවර කාන්තාව විරෝධතාව අවස්ථාවේදී ඉතා සංවේගයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය.
 
තම ස්වාමිපුරුෂයා නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවයට පැමිණි තවත් ධීවර කාන්තාවක් දෙමසක් වයසැති බිළිඳෙකු ද රැගෙන හඬා වැලපෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ “මගේ සැමියා දරුවා දැක්කේ නැහැ. ඇයට තවම මාස දෙකයි. මම ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ අපේ සැමියන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න ඉක්මනින් කටයුතු කරන්න කියලයි. අපිට අපේ මහත්තයාලා නැතිව ජීවත්වෙන්න බෑ.” ඇය කිව්වා.
 
වෙරළබඩ කුඩාමඩුවැල්ල ගම්මානයේ පිහිටි ශුද්ධ වූ ජපමාල දේවස්ථානයේ පියතුමාගේ ඉල්ලීම පරිදි කතෝලික බැතිමතුන් කිහිප දෙනෙකු වික්ටෝරියා වරායේ අතරමංව සිටින ධීවරයින්ගේ සහය පතා විරෝධතාවයට එක්ව සිටියහ.
 
“මේ ධීවර පවුල් හය තුළ කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඒවගේම මේ දරුවන් සහ දෙමාපියන් හරිම අසරණයි. ඔවුන්ට තිරසාර විසඳුමක් ලැබෙන තුරු ඔවුන්ගේ ජීවිතයට මුහුණ දීමට අදාළ පුද්ගලයින් ඔවුන්ට උපකාර කළ යුතුයි” යැයි ක්‍රිස්තියානි කාන්තා හඩ ව්‍යාපාරයේ  සම කැඳවුම්කරුවන් ද අදහස් දක්වමින් ආසියානූ පුවත් සේවයට පැවසීය.
 
ලොරෙන්සෝ පුතා 04 යාත්‍රාවේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පසුගිය සතියේ – මාර්තු 06 වෙනිදා ක්‍රිස්තියානි කාන්තා හඩ ව්‍යාපාරය විසින් ද ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින්, අසරණභාවයට පත්ව, නිරපරාදේ කාලය කාදමමින් වික්ටෝරියා වරාය තුළ රුඳී සිටින තරුණ ධීවරයින් සය දෙනා සමග යාත්‍රාව නිදහස්කර ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

ජීවිතය බේරාගත් මෙම ධීවර තරුණ  මාසයකට වැඩි කාලයක් මෙලෙස රඳවා තබා ගැනීමට ඉඩ සැලසීම “පැති කිහිපයකින් අපරාධයක්” බව ක්‍රිස්තියානි කාන්තා හඬ ව්‍යාපාරය (MCWV) ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ප්‍රකාශකර ඇත. 
 
“මේ විදියට තරුණ ශ්‍රමය එක පැත්තකින් එක තැනක හිරවෙලා.අනික් පැත්තෙන් රටට විදේශ විනිමය දෙන එක ක්‍රමයක් විදියට ඒක නවත්තලා තියෙනවා.ඒ වගේම ඔවුන් තම ජීවනෝපාය කරගෙන නැති නිසා. , ඔවුන්ට මුදල් ලැබෙන්නේ නැහැ.ඒ නිසා මේ ධීවර පවුල්වල සාමාජිකයන් දැඩි සමාජ හා ආර්ථික ගැටලුවලට මුහුණ දී සිටිනවා. ඒ නිසා ඔවුන්ව ඉතාම කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍යකරන පියවර ගන්න” යනුවෙන් ක්‍රිස්තියානි කාන්තා හඬ ව්‍යාපාරය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යැවූ ලිපියේ සඳහන්කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *