ගුරු මාරු ප්‍රතිපත්තිය මගින් දුෂ්කර සේවයේ නිරත ගුරුවරුන්ට යම් සහනයක්

මධ්‍යම පළාතේ  ගුරු මාරු ප්‍රතිපත්තිය මගින්  දුෂ්කර සේවයේ නිරත ගරුවරුන් සඳහා යම් සහනයක් හිමිවන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා පවසයි.

වසර දහයක පමණ අඛණ්ඩ කාලයක් දුෂ්කර සේවය කරන ගුරුවරුන් වෙනුවෙන් සහනයක් ලබාදීම නව ගුරුමාරු ප්‍රතිපත්තියේ එක් අරමුණක් වන බව ද ආණ්ඩුකාරවරයා තව දුරටත් පැවසුවේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ අධ්‍යාපනවේදී ගුරුවරුන් 56 දෙනෙකු සඳහා පත්වීම් ලබාදීමේ දෙවන අදියර යටතේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී  පත්වීම් 16ක් ලබාදීම නිමිත්තෙන්  ඊයේ (11) පැවැති උත්සවයට සහභාගීවෙමිනි. අධ්‍යාපනවේදී උපාධිය හැදෑරූ මෙම ගුරුවර ගුරුවරියන් මධ්‍යම පළාතේ දුෂ්කර පාසල් සඳහා පත්කිරීම මෙහිදී සිදුවිය.

පත්වීම් ලිපි ප්‍රදානය කිරිම නිමිත්තෙන් පැවැති මෙම උත්සවයේදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා, වසර 10ක පමණ කාලයක් තිබුණු දුෂ්කර සේවය වසර 05ක් දක්වා සීමා කළ බවත් එම සේවයෙන් පසු තමන් ඉල්ලා සිටින ප්‍රදේශයකට පත්වීම් ලබාදීම ගුරුමාරු ප්‍රතිපත්තිය යටතේ සිදුවන බව ද කීවේය.

නවක වෘත්තියට පත්වන ගුරුවරුන් ගුරු වෘත්තිය සංගම් වෙනුවෙන් අරගල කරන අයුරින්ම දූ දුරුවන් වෙනුවෙන් සිය වගකීම හා යුතුකම ඉටු කළ යුතු යැයි පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා අද බොහෝ වෘත්තිය සමිති අයිතීන් වෙනුවෙන් හඩනගනු මිස සිය වගකීම වෙනුවෙන් පෙනී නොසිටින බව ද පැවසුවේය.

පාසලේදී ඉගැන්වීමේ ක්‍රියාවලිය නිවරැදි අයුරින් සිදු කරන්නේ නම් දරුවන්ට පෞද්ගලික උපකාරක පංති කරා යොමුවීමට අවශ්‍ය නොවන බවත් මේ නිසාම සිය පංතියේ දූදරුවන් සඳහා උපකාරක පංති පැවැත්විම මධ්‍යම පළාතේ තහනම් කොට ඇති බවත් ආණ්ඩුකාරවරයා තව දුරටත් ප්‍රකාශ කළේය.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *