‘උපවාසයේ නිරත ධීවරයින්’ වෙත කඩිනමි අවධානය යොමුකරන්න – ක්‍රිස්තියානි කාන්තාවෝ  ජනපතිගෙන් ඉල්ලා සිටිති

සෝමාලි මුහුදු මංකොල්ලකරුවන්ගෙන් මුදාගත්, සීෂෙල්ස් හී වික්ටෝරියා වරායේ සිට අඛණ්ඩ උපවාසක් ආරම්භ කර ඇති ශ්‍රී ලාංකීක තරුණ ධීවරයින් සය දෙනාගේ ජීවිත පිළිබඳව අවධානමක් පවතින බව නිරීක්‍ෂණය කරන ශ්‍රී ලංකා ක්‍රිස්තියානි කාන්තා හඩ සාමාජීකාවන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවමින් ධීවරයින් මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් ඔවුන් මුදා ගන්නට කඩිනම් පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිති.

 
දරුණුතම අවස්ථාවකට මුහුණ දී ජයග්‍රහනය කර, බේරාගත් මෙම තරුණ ජීවිත මාසයකට වඩා වැඩි කාලයක් තුළ මෙසේ රඳවාගෙන තබාගැනීමට ඉඩහැරීම අංශ කිහිපයකින් ම අපරාධයක්  ලෙස ක්‍රිස්තියානි කාන්තා හඩ ව්‍යාපාරය පෙන්වා දෙයි.
“මෙි ආකාරයෙන් එක තැන සිරවී තිබෙන්නේ එක් අතෙකින් තරුණ ශ්‍රමය , අනෙක් අතින් රටට විදේශ විනිමය සපයා දෙන මාර්ගයක්. ඒ වගේම තමයි මොවුන් රැකියාවේ නිරත වෙන්නේ නැති නිසා මුදල් ඉපයීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා මේ ධීවර පවුල්වල සාමාජීකයින් දරුණු සමාජ,  ආර්ථීක ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටිනවා යැයි ක්‍රි.කා.හඩ ව්‍යාපාරයේ සම කැඳවුම්කාරිණි මෙලනි මානෙල් මෝජෝ පුවත් වෙත කීවේය.
ඒ ආර්ථීක ප්‍රශ්නය විසඳා ගන්නට මෙතෙක් මේ ධීවර පවුල්වලට ලංකාවේ ආණ්ඩුවෙන් කිසිම උපකාරයක් සවියක් ලැබුණේ නැති බව යාත්‍රාවේ හිමිකරු ෆ්‍රැන්සිස් මිල්රෝයි තමන් සමග ප්‍රකාශ කළ බව ක්‍රි.ක.හ සම කැඳවුම්කාරිණි මෙලනි මානෙල් පැවසීය.
“අවශ්‍යකරන නීතිමය පියවර නොගෙන මෙසේ කල්මැරීම සහ රඳවා තබාගැනීම එම ධීවරයින්ටත් ඔවුන්ගේ පවුල්වල අයටත්, අපේ රටටත් සිදුවන්නේ අසාධාරණයක් ” යනුවෙන් ක්‍රි.කා.හඩ ව්‍යාපාරයේ සම කැඳවුමිකාරිණියක් වන දීපා ප්‍රනාන්දු පැවිදි සොයුරිය පැවසීය.
ධීවරයින්ගේ මට්ටමින් විසඳාගත නොහැකි එහෙත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විසඳා ගතයුතු කාරණයක් සඳහා මෙසේ දීර්ඝ කාලයක් වැයකිරීම විශාල අණුවන ක්‍රියාවක් බව පෙන්වා දෙන පැවිදි සොයුරිය, ධීවරයින් ලංකාවට ගෙන්වා ගන්නා තුරු අවම වශයෙන් ඔවුන්ගේ පවුල්වල නඩත්ත-ුව සඳහා යමිකිසි වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් ඉදිරිපත්කළ යුතු යැයි පැවසීය.

මාර්තු මස 05 වෙනිදා දාතමින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවන ක්‍රිස්තියානි කාන්තා හඩ ව්‍යාපාරය, මාර්තු මස 04 වෙනිදා ප්‍රකාශයට පත්කර තිබූ බීබීසී සිංහල පුවතක සහ මෝජෝ නිවුස් ලංකා යූ ටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රචාරය වූ ධීවර තරුණයින් ප්‍රකාශ කළ කරුණු උපුටා දක්වමින්, ඔවුන් ශ්‍රී ලංකාවේ විදේශ සේවා අමාත්‍යංශය, ධීවර අමාත්‍යංශය ඇතුලු ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ඉදිරිපත් කරන ඉල්ලීම, ඉතාම මානූෂීය මෙන් ම සාධාරණ ඉල්ලීමක් බව සඳහන් කරයි.

ජනවාරි මස 27වන දින සෝමාලී මුහුදු මංකොල්ලකරුවන් පැහැරගත්  “ලොරෙන්සෝ පුතා 4” ධීවර යාත්‍රාව බෙිරාගැනීමට ශ්‍රී ලංකා රජය ගනු ලැබූ උත්සාහය මැනවින් අගයකරන බව  ක්‍රි.කා.හඩ ව්‍යාපාරය විසින් ජනාධිපතිවරයා වෙත යැවූ එම ලිපියේ සඳහන් කරන අතර , එම කීර්තිය පලුදු වී යා නොදී ධීවරයින් සය දෙනා සහ යාත්‍රාව මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍යකරන නීතිමය කටයුතු කඩිනමින් ගෙන උපවාසය අත්හැරීමට පිළිගතහැකි සහතිකයක් ඔවුනට ලබාදෙන ලෙස  ගිහි පැවිදි සාමාජිකාවන් 33 දෙනෙකුගෙන් සමන්විත ක්‍රිස්තියානි කාන්තා හඩ ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඉල්ලා සිටියි.
මෙම දින දෙක තුන ඇතුලත ශ්‍රී ලංකාවේ බලධාරීන් තමන්ව ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු නොකළහොත් , දැඩි තීරණයක් ගන්නා බවත් එහිදී සිය ජීවතවලට වගකියන්නට සුදානමින් සිටින්නැයි ඔවුන් ලංකාවට අනතුරු ඇගවීමක් සිදුකර ඇති බවත් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන් කරන ක්‍රි.කා.හ ව්‍යාපාරය, ධීවරයින් , යාත්‍රාවේ හිමිකරු සහ ධීවර පවුල්වල සාමාජීකයින් ඉල්ලා සිටින මානූෂිය, සාධාරණ එකම ඉල්ලීම නොපමාව ඉටුකිරිමට අදාළ උපදෙස් ලබාදෙන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
“ලොරෙන්සෝ පුතා 4” බහු දින යාත්‍රවේ හිමිකරු මෝජෝ පුවත් වෙත ප්‍රකාශ කළ පරිදී,  ජනවාරි 12වෙනිදා, දික්ඕවිට ධීවර වරායෙන් මංගල ගමන ගිය “ලොරෙන්සෝ පුතා 4” සිය නව බහුදින යාත්‍රාව, ජනවාරි 27වෙනිදා සෝමාලි මුහුදු මංකොල්ලකරුවන් විසින් අරාබි මුහුදේදී පැහැරගනු ලැබූ අතර, ශ්‍රී ලංකා රජයේ සහ සීෂෙල්ස් රාජ්‍යයේ මැදිහත්වීම තුළ සීෂෙල්ස් වෙරළ ආරක්‍ෂක බලකාය විසින් ජනවාරි 29වෙනිදා ධීවරයින් සයදෙනාත් , යාත්‍රාවත් නිරුපද්‍රිතව බෙිරාගෙන වික්ටෝරියා වරාය වෙත රැගෙනවිත් තිබුණි.
ශ්‍රී ලංකා රජය ධීවරයින් බේරාගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම් නොපමාව ලබාදුන්නත්, ධීවරයින් සහ යාත්‍රාව නිදහස්කරගෙන ශ්‍රී ලංකා මුහුදු සීමාවට රැගෙන ඒමට දක්වන මන්දගාමි ස්වභාවය ප්‍රෙහේලිකාවක් බව යාත්‍රාවේ හිමිකරු ෆ්‍රැන්සිස් මිල්රෝයි පැවසීය.

“මේ ප්‍රශ්නයට තවත් මැදිහත්වෙන්න කියලා කියන්න ඕනේ වෙන කාටද කියලා මට නම් තේරෙන්නේ නැහැ. නිල වශයෙන් වගකිව යුතු සියලුම දෙනාට නිතර නිතර ගිහිං කියලා තියෙන්නේ. කල් අවශ්‍යයැයි කියලා උත්තර දෙන එක විතරයි මම කථාකළාම දැනගන්නේ. ඇත්තටම එපා වෙලා තියෙන්නේ. මට මගේ යාත්‍රාව නැතිවුනත්, කොල්ලෝ හයදෙනාව හරි නිදහස්කර ගත්තනම් ඇති. නැතිනම් , ඒ දරුපවුල්  හයට  කන්න දෙන්නේ කවුද?” යැයි යාත්‍රාවේ හිමිකරු පැවසූ බව ක්‍රි.කා.හඩ ව්‍යාපාරය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *