ගොවියන්ට සුහුරු තාක්ෂණය – නදීක දයා බණ්ඩාර

 

 

වසර කිහිපයකින් ප්‍රතිඵල හිමිවන ව්‍යාපෘති වෙනුවට මෙම වර්ෂය තුළදී ගොවියන් නඟා සිටුවීමට හැකි ආයෝජන සඳහා යොමු වන බව වනජීවී, වන සම්පත් සංරක්ෂණ, වාරිමාර්ග අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ලෝක බැංකු හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර මෙම මස මැදභාගයේදි පැවැත්වෙන සාකච්ඡාවේදී ආර්ථීක පීඩාවට පත්වී සිටින ගොවියන් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු වනු ඇතැයි ද අමාත්‍යවරිය සඳහන් කළාය.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කරන ලද්දේ, ඉදිරි යල කන්නය සඳහා ජලය ලබාදීම නිමිත්තෙන් ගන්නෝරුවේ ජාතික කෘෂිකර්ම සන්නිවේදන හා තොරතුරු මධ්‍යස්ථානයේදී පැවැති සාකච්ඡාවේදී ය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය, කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් සාම්ප්‍රදායිකව ක්‍රියාත්මක වූ වසර කිහිපයකින් ප්‍රතිඵල හිමිවන දීර්ඝ කාලීන ව්‍යාපෘති වෙනුවට මෙම වර්ෂයේදීම ගොවියා දියුණු කළ හැකි ව්‍යාපෘති කෙරෙහි අවදානය යොමු කරන බව කීවාය. ඒ අනුව බිංදු ජල තාක්ෂණය, පොලිටනල් භෝග වගාව වැනි සුහුරු තාක්ෂණික කෘෂිකාර්මික අංශ කෙරෙහි යොමු වන බව ද සඳහන් කළාය.

කෘෂිකර්මයට සුහුරු තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද තමන්ට උපදෙස් ලබා දුන් බව කී අමාත්‍යවරිය, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් දැනුවත් කොට ඇතැයි ද කීවාය.

ගොවියන්ගේම ඉල්ලීම මත ජලය සම්බන්ධයෙන් යම් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට සැලසුම් කොට ඇති නමුත් කිසිදු අවස්ථාවක ගොවිතැනට ලබා දෙන ජලය සඳහා මුදල් අය කිරීමක් සිදු නොවන බව ද අමාත්‍යවරිය තව දුරටත් සඳහන් කළාය.

මහවැලි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්  සමන් දර්ශන පාඬිකෝරාළ මහතා ඇතුලු නිලධාරීන් ද ගොවි සංවිධාන නියෝජිතයන් රැසක් ද මෙම අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *