පවුල් කිපයක් මහවැලි ගගේ ගිල්වන්න ගඟ හරහා වේල්ලක්,   -හැටන් – චන්දන ජයවීර

 

විශාල පරිසර විනාශයක් සිදු කරමින් මහවැලි ගංගාව හාරමින් විදිමත් ගොඩනැගිලි හා පරිසර බලපත්‍ර ද ලබා නොගෙන පරම්පරා ගණනාවක් ජීවත් වු තම ඉඩම් හා නිවාස ගං වතුරට යට වන ලෙසින් වේල්ලක් ඉදි කරන බවත් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත් ගිනිගත්හේන ප්‍රදේශයේ අගතියට පත්  පිරිසක් චෝදනා කරති.

ගිනිගත්හේන නගරය සමීපයේ නැගෙනහිර බෑවුමේ මහවැලි ගඟ අසබඩ   පිහිටි නිවාස කීපයක් හා එහි ජීවත් වන ජනතාවගේ ජීවිත වලට මෙමගින්  තර්ජනයක් වන අයුරින් මහවැලි ගඟ කැණීම් කර ඒ හරහා වේල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් නිසා තම ජීවිත අවදානම් ඇතිවෙමින් පවතින බව  ඔවුන් පෙන්වා දෙති .

ගිනිගත්හේන නගරය සමීපයෙන්  මහවැලි ගඟ හරස්  කරමින් මෙසේ වේල්ලක් ඉදි කරමින් පුද්ගලික සමාගමක් විසින් කුඩා ජල විදුලිය  බලාගාරයක් වෙත ජලය ලබා ගැනීමට සැලසුම් කර ඇත.එම කුඩා ජල විදුලිය බලාගාරයේ ධාරිතාව මෙගා වොට් එකක් බවද සදහන් වේ.

එම වේල්ල ඉදිකිරීම නිසා ගංගාවේ එම ප්‍රදේශයේ ජල මට්ටම ඉහල යන බවත් ඒ හේතුවෙන්  ඊට පහතින් පිහිටි ඉඩම් හා  නිවාස හතරක් ජලයෙන් යට වන බවත් තම දරුවන්ගේ හා ඔවුන්ගේ  ජීවිත අවදානමකට පවත්වන බවත් ඔවුහු පවසති.ඒ සම්බන්ධයෙන් කිසිදු විකල්පයක් හෝ දැනුවත් කිරීමක් නොකරම කටයුතු කරන බවද ඔවුහු පවසති.

විශේෂයෙන් වසරේ මාස අටකටත් වැඩි කාලයක් වර්ෂාව ලැබෙන හැටන් හා වටවල ප්‍රදේශවලට පහලින් පිහිටිම නිසා විශාල ජල කදක් ගලා බසින මහවැලි ගගේ  එම ප්‍රදේශය දෙපස වැඩි අවදානමක් පවති.

එමෙන්ම ගිනිගත්හේන නගරයේ සිට වැසි ජලය ගලා බසින විශාල කාණු පද්ධති දෙකක් ද එම නිවාස පිහිටි ඉඩම් දෙපසින් පිහිටා තිබේ.

එලෙස අවදානම් තත්ත්වයක් තිබිය දී ද ඒ පිළිබදව කිසිදු තැකිමක් නොකර මෙම පුද්ගලික සමාගම විසින් ගංගාව හරහා වේල්ල ඉදි කරන බවත් ඒ සම්බන්ධයෙන් අඹගමුව ප්‍රාදේශීය සභාව,ගිනිගත්හේන පොලිසිය ඇතුළු වග කිව යුතු ආයතන දැනුවත්  කල ද කිසිදු ආයතනයකින් පියවරක් නො ගන්නා බවට ද ජනතාව චෝදනා කරති .

අවසන් වශයෙන් ඔවුන් පවසන්නේ එම ව්‍යාපෘතිය මුළුමනින් ම නවතා දැමීම නොව තම ඉඩම් හා නිවාස ජලයෙන් යට නොවන ලෙස එම භූමියට පහතින් පිහිටන ලෙස වේල්ල ඉදිකිරීම හෝ එසේ නොමැති නම් තම ඉඩම් පිහිටි ප්‍රදේශයෙන් ආරක්ෂිත පැති බැම්මක් ඉදි කර තම දරු පවුල්වල ආරක්ෂාව තහවුරු කරන ලෙසය.

ඒ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් වග වගකීම දැරිය යුතු පරිපාලන ආයතනය වන අඹගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම් ශාමලී රූපසිංහ ගෙන් කල විමසීමේ දී පැවසුවේ ජනතාවගේ චෝදනා සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුමක් ලබා ගැනීම සදහා අඹගමුව ප්‍රාදේශීය සභාව වෙත පසුගිය අඟහරුවාදා (27) මධ්‍යම  පරිසර අධිකාරිය,වාරිමාර්ග,මහවැලි අධිකාරිය,අඩවිවන හා තවත් ආයතන මෙන්ම අදාල ඉදිකිරීම් කරන ආයතනය ද කැදවීම් කල ද එම ආයතනයේ වග කිවයුතු පුද්ගලයෙකු  සහභාගි  නොවු නිසා  එම අවස්ථාව ද අසාර්ථක වු බවය.

එමෙන්ම ඇය එම ස්ථානය තවත් නිලධාරින් සමග පරික්ෂා කල බවත්. ඉන් පසුව අනුමැතිය ලත් ගොඩනැගිලි බල පත්‍රය,පරිසර වාර්තාව ලබා ගන්නා තුරු වේල්ල ඉදිකිරීම තාවකාලිකව නතර කිරිමට දැනුම් දුන් දැනුවත් කල බව ය.

ප්‍රාදේශීය විසින් මේ අකාරයෙන් ලිපි දෙකක් යොමු කර තිබුන ද අදාල කැණිම් කටයුතු තව දුරටත් සිදු කරන බව ප්‍රදෙශවාසින් චෝදනා කරති.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *