අලුත් බස් ළමයිට නියෝගයක් – නදීක දයා බණ්ඩාර

ධාවනයට එක් කිරීමට නියමිත මහනුවර දිස්ත්‍රික්කයේ අලුත් වැඩියා කරන ලද බස් රථ 21ක් පාසල් දරු දැරියන්ගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් යොදවන ලෙස මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ මහතා ලංගම බලධාරීන්ට දැනුම් දුන්නේය.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි, ලංකා ගමනාගමන මණ්ඩලය මගින් අබලන් තත්ත්වයේ පැවැති බස් රථ 400ක් අලුත් වැඩියා කොට ඇති අතර ඉන් 21ක් මහනුවර දිස්ත්‍රික්කයට අයත් යැයි කමිටු සභාපතිවරයා කීවේය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (14) පැවැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඒ මහතා මේ බව දැනුම් දුන්නේය. ලංගම බස් රථ විධිමත් කාලසටහනක් අනුව මහනුවර සිට කඩුගන්නාව දක්වා යොදවන ලෙසට ඉදිරිපත් වූ ඉල්ලීමක් සලකා බලමින් සභාපතිවරයා මේ බව කීවේය.

කිසිදු අමතර වියදමකින් තොරව ධාවනයට සුදුසු පරිදි මෙම බස් රථ අලුත් වැඩියා කළ බවත් ඒ සඳහා රියදුරු හා කොන්දොස්තර මහත්වරුන් මෙම මස 17 වන දින පත් කොට එවන බව ද ගුණතිලක මහතා කීවේය.

අලුත්වැඩියා කොට ධාවනට එක් කරන ලද නව බස්රථ කිහිපය පාසල් දරු දැරියන්ගේ ප්‍රවාහන අවශ්‍යතා ඉලක්ක කොට ධාවනයට යොමු කරන ලෙසත් ග්‍රාමීය ප්‍රදේශ ආවරණය කිරීම පිළිබදව අවධානය යොමු කරන ලෙස ද කමිටු සභාපතිවරයා එහිදී පැවසීය.

එහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා, වේඩරුව දක්වා ධාවනය වන බස් රථයේ කාලසටහන පාසල් දරුවන්ගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් යොදවන ලෙස එහිදී දැනුම් දුන්නේය. වේඩරුව මෙන්ම දුෂ්කර මාර්ගවල ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් පොදු ප්‍රවාහන සේවාවන් යොදවන ලෙස ආණ්ඩුකාරවරයා එහිදී දැනුම් දුන්නේය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මහනුවර දිස්ත්‍රික් සැලසුම් හා ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ රම්‍යා විජේසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed