ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාව 76 වන ජාතික නිදහස් දිනය සමරයි! — මෙලනි මානෙල් පෙරේරා


පෙබරවාරි 04 වැනි දින ශ්‍රී ලංකාව සිය 76 වැනි ජාතික නිදහස් දිනය සැමරූ අතර එහි ප්‍රධාන උත්සවය කොළඹ ගාලු මුවදොරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රේත්තා තාවිසින් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහෙත් ඊට සමාන්තරව ‘නිදහස කොහිද?’ යන පාඨය මුල් කර ගනිමින් දිවයින පුරා විරෝධතා පැවැත්විණි. උතුරු පළාතේ දී එය “කළු දින සැමරුම” ක් වු අතර, විරෝධතාවයට පොලිසියෙන් ප්‍රහාරයක් එල්ල විය.  සන්නද්ධ පසුබිමක් තුළ සූදානම් කළ අයුරින් ම කොළඹ සත්‍යග්‍රහය නොපැවැත්විය.


රජයේ සැමරුම, ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය හොරණෑ හඬින් ප්‍රකාශ කිරීමත් සමඟ ආරම්භ විය. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩබලන පොලිස්පතිවරයා විසින් ප්‍රධාන කොඩි කණුව වෙත කැඳවාගෙන ගිය ජනාධිපති වික්‍රමසිංහ මහතා නැකැත් බෙර වාදන සහ ශංඛ නාදය මධ්‍යයේ ජාතික ධජය ඔසවන ලදී. ධජය එසවීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපතිතුමා විශේෂ වේදිකාවකට එක් වූ අතර එහිදී සිසුන් 100 දෙනෙකු සිංහල භාෂාවෙන් ජාතික ගීය සිංහල භාෂාවෙන් ගායනා කළහ. ඊට අමතරව පාසල් සිසුවියන් 25 දෙනෙකු විසින් ජය මංගල ගාථා සහ “දේවෝ වස්සතු කාලෙන” නැකැත් ගායනා කළ අතර, රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළ ශ්‍රී ලාංකිකයින් සිහිකරමින් ගෞරව දැක්වීය.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බළකාය සහ ජාතික ශිෂ්‍යභට බළකාය ඇතුළත් විචිත්‍රවත් නිදහස් දින පෙළපාලියකින් අනතුරුව, ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් ලෙස ප්‍රදර්ශනය කරමින්, 
ජාතියේ ශක්තිය සහ උදාරත්වය ඉස්මතු කරන තුවක්කු 21කින් ආචාර සමාචාරයකින් උත්සවය පැවැත්විණි. යුධ, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික ශිෂ්‍යභට බළකායේ නිලධාරීන් මෙම පෙළපාලියට සහභාගී වූහ.

මහජනතාවට විවෘත කර නොතිබුණු  76 වැනි නිදහස් දින සැමරුම සඳහා, ගාලුමුවදොර පිටිය වටා මහා මාර්ග සම්පූර්ණයෙන්ම වාහන සඳහා වසා දමා තිබූ අතර, පොදු ප්‍රවාහනය සහ පෞද්ගලික වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය විය.
 
විශාල පිරිසක් සේවයෙහි යොදවමින් , විශාල පිරිවැයක් දරමින් වත්මන් ශ්‍රී ලංකාව තුළ මෙවැනි නිදහස් දින සැමරුමක් පැවැත්වීම කොතෙක් දුරට සාධාරණද යන්න රටේ ජනතාව ප්‍රශ්න කළහ.
මන්දයත්, ශ්‍රී ලංකාව 2022 අප්‍රේල් මාසයේදී ආර්ථීක බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කළේ ඩොලර් බිලියන 83 කට වඩා වැඩි ණයක් සහිතවය. එම ණයෙන් අඩකට වඩා විදේශීය ණය හිමියන්ගේය. 
 
රට තුළ උද්ගත වූ ආර්ථික පෙරළිය දේශපාලන අර්බුදයකට තුඩු දුන් අතර එය 2022 දී එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වීමට සිදු විය. ජන අරගලය විසින් අත්පත් කරගත් ජයග්‍රහණය හෑල්ලු කරමින් , අරගලයෙන් පැන නැගුණු විරෝධය නොතකා, පාර්ලිමේන්තුව, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස තෝරා ගත්තේය.
“අපේ රජය මේ 76 වැනි නිදහස් දිනය ගාලු මුවදොරදී සැමරූ ආකාරය අපි නිරීක්ෂණය කළා. එය මහජනතාවට වසා දමා තිබුණා. නමුත් මේ ආණ්ඩුව එය සැමරීමට විශාල වශයෙන් ජනතා අරමුදල් වැය කළා. මාධ්‍ය, වාර්තා කළ පරිදි, එය මිලියන 37ක්. රට තුළ දරාගත නොහැකි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක, විසඳූම් නැති ප්‍රශ්නවල ගිලී සිටින රට ක්  ලෙස, ශ්‍රී ලංකාව මෙතරම් විශාල මුදලක් වැය කිරීම රටට ඉතා  යෝග්‍යය යැයි සිතනවාද?” යනුවෙන් “ක්‍රිස්තියානි කාන්තා හඬ” ව්‍යාපාරය (MCWV)  මෝජෝ පුවත් වෙත පැවසීය.
“පාලකයින්ට  තිබුණා මේ නිදහස් දිනය අඩු අයවැයක් යටතේ, අඩු පරිමාණයෙන් නිසි ගෞරවයෙන් සමරන්න. එහෙම කළා නම් මේ ආණ්ඩුව පුරවැසියා ගැන දක්වන සැලකිල්ල ගැන ලෝකයට හොඳ ආදර්ශයක් දෙන්න තිබුණා.”යැයි  (MCWV)  ව්‍යාපාරය සඳහන් කළේය.
ඒ නිසා, කුමන ආකාරයකින් වත් රටේ මිනිස්සුන්ගේ ජීවිත නිදහස් නැති අවධියක, විශාල උත්සවයක් සඳහා විශාල මුදලක් නාස්ති කිරීම සහ සිය වේදනාව , පීඩනය පෙන්වීමට උත්සාහ කළ උතුරේ මිනිසුන්ට පහර දීම පිළිබඳව අපි අපගේ අප්‍රසාදය පළකර සිටිනවා.”  යැයි  “ක්‍රිස්තියානි කාන්තා හඬ” ව්‍යාපාරය වැඩිදුරටත් සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුව විසින් අහිමිකර ඇති “මහජනතාවගේ නිදහස” මූලික කරගනිමින් ,මහජන කවුන්සිලය ව්‍යාපාරය විසින් ” මුන් පන්නමු! නිදහස් වෙමු! ”  සටන් පාඨය  යටතේ 04 වෙනි දා, දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වූ අතර එදින පස්වරුවේදී කොළඹ දී පැවතී උද්ඝෝෂණය අවස්ථාවේදී අදහස් දක්වමින් එහි සම්බන්ධීකාරකවරයෙකු වන ජීවන්ත පීරිස් පියතුමා කියා සිටියේ, ” නිදහස ලැබෙන දෙයක් නෙවෙයි. සටන් කර අයිතිකර ගතයුතු දෙයක්. ඒ නිසා මේ විඳිමින් සිටින පීඩා මතින් මහජතාව නැගී සිටිමින් , ජනතා බලයක් තුළින් වත්මන් නායකයින් නෙරපා දමා පුරවැසියන්ගේ නිදහස ලබාගන්නට කටයුතු කළ යුතුයි”, යනුවෙනි.
 
මහජනතාවට විවෘත නොවුණ රජයේ නිදහස් දින සැමරුම ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන අතරම කොහේ තියෙන නිදහසක් ද යන සටන් පාඨය යටතේ සිවිල් සමාජ සංවිධාන ක්‍රියාධරයින් සහ තරුණ මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් විසින් නිදහස් දින උදැසන කොළඹදී පවත්වන්නට සංවිධානය කළ සත්‍යග්‍රහය සංවිධානය කළ ආකාරයෙන් ම පැවැත්වීමට ඔවුන් නොහැකි විය. පොලීසිය, හමුදාව සහ කැරළි මර්ධන ඒකකය වතුර සහ කඳාුලු ගෑස් ප්‍රහාරක රථ කිහිපයක් ම සත්‍යග්‍රහය පැවැත්වීමට නියමිතව තිබූ ලිප්ටන් වටරවුම ආශ්‍රීතව නවතා තිබීමත් නාදුනන කණ්ඩායම් තැන තැන සිටීම වැනි කලහකාරී පසුබිමි ඊට හේතුවූ බව සංවිධායකයින් පැවසීය.
“ආණ්ඩුවේ නායකයින් අද නිදහස් උත්සවයක් පැවැත්වූවාට අපිට නිදහසක් නැහැ, කොහේ තියෙන නිදහසක් ද කියලා අපි බොහෝම සාමකාමී විධියට සත්‍යග්‍රහයක් තුළින් ප්‍රකාශ කරන්නට සුදානම් වුණා. නමුත් ඉතා විශාල ආරක්‍ෂක බලඇණි , වතුර සහ කඳුලුගෑස් ප්‍රහාරක රථ අද වගේ නිදහස් යැයි කියන දවසකත් අපිව වටලලා තිබුණ නිසාත්, තැන තැන අපි නාඳුනන පුද්ගල කණ්ඩායම් අපිව ඉලක්ක කරමින් සිටින නිසාත් අපි හිතපු ආකාරයෙන් ම සත්‍යග්‍රහය පවත්වන්නේ නැතිව, “අපි නිදහසක් භුක්ති විඳින්නේ නැතිබව” මාධ්‍යයට කියන්නට හිතුවා” යැයි තරුණ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙක් වන තරිඳු උඩුවරගෙදර මෝජෝ පුවත් වෙත ප්‍රකාශ කළේය.
“අපිට ප්‍රහාර එල්ල කරන්න බලාගෙන ඉන්න , අපි දේශදේ‍රා්හීන් කියලා ලේබල් කරන්න බලාගෙන ඉන්න මේ පිරිසෙන් අපි අහනව අපි දෙගොල්ලම නිදහසේ ජීවත්වෙනවාද කියලා?”  ඔහු කීවේය.   

“ඔවුන්ගේ ණය ගෙවීම සඳහා අපිට සාගින්නේඉන්න කියලා
 ආණ්ඩුව අපිට බලකරනවා. අපේ රටේ දේපොල සියල්ල එවුන්ගේ ණය ගෙවා දැමීම සඳහා ඔවුන්ට කැමැති කැමති විධියට පිටරටට විකුණා දමනවා. මිලියනයකට වඩා මිනිස්සුන්ට විදුලිය නැහැ. මිනිස්සුන්ට කන්න නැහැ. මේවා නිදහස් රාජ්‍යයක ලස්සණද? යැයි තරිඳු උඩුවරගෙදර  ප්‍රකාශ කළේය.
“වටේට ම බැරියර් දාලා , ආරක්‍ෂාව තරකරගෙන , ජනතාවගෙන් ප්‍රතික්‍ෂ්ප වෙච්ච ආණ්ඩුවක සහභාගීත්වයෙන් ජන මතයක් නැති ජනාධිපති කෙනෙක් මහජනතාවගෙන් තොරව නිදහස් දිනයක් සමරන අවස්ථාවෙි දී ලංකාවේ ජනගහනයෙන් සියයට 31ක් පමණ ජනතාව වේල් තුන සාගින්නෙන් පෙළෙනවා, දරුවන්ගේ පාසැල් පොත් මිල දී ගන්නට දෙමාපියන්ට නොහැකී වී තිබෙනවා. සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීම අහිමිවෙලා තිබෙනවා,” යැයි තවත් තරුණ ක්‍රියාකාරිණියක වන මෙලනි ගුණතිලක සත්‍යග්‍රහා භූමියේ සිට මාධ්‍යයට පැවසීය.
 
රටේ ජනතාව නිදහස් නැති අවස්ථාවක ජනතාවගේ ම බදු මුදල් විශාල වශයෙන් නාස්ති කරමින් , විනාශ කරමින් බලහත්කාරයෙන් ව්‍යාජ සංදර්ශනයක් පවත්වන ජනමතයක් නැති ඒ ජනාධිපතිගේ ව්‍යාජ සංදර්ශනයට විරෝධය පෑමක් වශයෙන් මෙම සත්‍යග්‍රහය සංවිධානය කළ බව පැවසූ මෙලනි ගුණතිලක, ජනමතයක් නැති ව්‍යාජ ජනාධිපති විසින් කරුනු ලබන ජනතාවගේ ශ්‍රමය හූරාකෑම, තක්කඩි අණපනත්වලට කීකරු වීම තවදුරටත් සිදුවන්නට ඉඩ නොදිය යුතු බවත්, මහන්සිවෙලා ඉතිරිකර ගත්ත   මංකොල්ල කන ආණ්ඩුවකට යටත් නොවන බවත් සමස්ත ජනතාව ඒකරාශීව ජනතාව පෙළන ආණ්ඩුව පරාජය කළ යූතු බවත් පැවසීය. 
 
රට පුරාම විරෝධතා දියත් වු අතර, උතුරේ කිළිනොච්චියේ දී අතුරුදහන්වූ පවුල් එකුතුවල මව්වරු, තරුණ කොටස් සහ සිවිල් සංවිධාන සාමාජිකයින් මෙන්ම දෙමළ දේශපාලන නායකයින් විසින් ඒකරාශිව පවත්වන්නට යෙදුණු  “කළු දින සැමරුම”    විරෝධතාවයට දැඩි පොලිස් ප්‍රහාරයක් එල්ල වූ බව උතුරින් වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *