උඩවත්ත කැලයේ සිට ගලා එන ජලයෙන් ආණ්ඩුකාර නිල නිවසට අවදානම් තත්ත්වයක් – නදීක දයා බණ්ඩාර
උඩවත්ත කැලයේ සිට වැසි දිනවල ගලා එන ජල ධාරාව හේතුවෙන් ආණ්ඩුකාර කාර්යාලය ඇතුලු රජයේ ආයතන රැසකට සිදුවිය හැකි හානි වළක්වා ගැනීම පිළිබඳව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අවධානය යොමු වී තිබේ.
වැසි දිනවලදී ගලා එන ජලය නිසා ආණ්ඩුකාර කාර්යාලය හා එහි නිල නිවස, මහනුවර ජනපති මැදුර, විෂ්ණු දේවාලය සහ ශ්‍රී දළඳා මාලිගාව ඇතුලු ආයතන රැසකට හානි වීමේ අවදානමක් ඇතැයි ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී දැනුම් දුන්නේය.
මේ පිළිබදව මහනුවර දිසා වන නිලධාරී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බවත් උඩවත්ත කැලයේ සිට ජලය ගලා බසින පැරණි කාණු පද්ධිති නඩත්තු නොකිරීම මීට එක් හේතුවක් වන බව ද ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය.
උඩවත්ත කැලයේ ඉදිකොට ඇති කාණු පද්ධති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නඩත්තු කළ යුතු වුවත් ජලය ගලා බසින සෙසු පද්ධති නඩත්තු කිරීම සඳහා මහනුවර මහ නගර සභාව ඇතුලු අදාල ආයතනවල දායකත්වය ලබා ගත යුතු බව සම්බන්ධීකරණ කමිටුවේදී අවධානය යොමු විය.
උඩවත්ත කැලයේ සිට මහනුවර නගරය දක්වා ගලා බසින කාණු පද්ධිති පිළිසකර කරන ලෙස වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බව කී ආණ්ඩුකාරවරයා, ශ්‍රී දළදා මාලිගාවේ අලි ඇතුන් සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නොවන නිසා එම කැලයෙන් ඉඩක් වෙන් කර ගැනීම පිළිබදව ඉල්ලීමක් ඉදිරිපත් වී ඇතැයි ද එහිදී පෙන්වා දුන්නේය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වූහ.