මධ්‍යම පළාතේ මාධ්‍යෙව්දීන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක් මහනුවර දී. – නදීක දයා බණ්ඩාර

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් ප්‍රදානයක් වශයෙන්  මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ දැනුවත් කිරීම  (19) මහනුවර දී ආරම්භ විය.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වුණේ මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදීය.

මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවල වෘත්තීය මාධ්‍යවේදීන් පනස් දෙනෙකු දැනුවත් කිරීම සිදුවූ අතර එහිදී සියදිවි නසා ගැනීම්, ඝාතන ඇතුලු අපරාධ වාර්තාකරණය, පෞද්ගලික තොරතුරු වාර්තාකරණය, වෛරී හා දුස් තොරතුරු වාර්තාකරණය සම්බන්ධ වැඩසටහන් පැවැත්විණි.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන සැලසුම් හා තොරතුරු) එන්.ඒ.කේ.එල්. විජේනායක මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාධ්‍ය විශ්ලේෂක චතුරංග හපුආරච්චි මහතා ද මෙහිදී අදහස් දැක්වූ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය, මාධ්‍යවේදී මන්දනා ඉස්මයිල්, නීතීඥ ජගත් ලියනාරච්චි යන මහත්ම මහත්මීන් විසින් වැඩමුළුව මෙහෙයවන ලදි.

මාධ්‍ය ආචාර ධර්ම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට එක්වූ ආචාර්ය රංග කලන්සූරිය මහතා රටක සංවර්ධනයට නීතිය මෙන්ම පුරවැසියන්ගේ ස්වචේඡා සහයෝගය අවශ්‍ය වන බව පෙන්වා දුන්නේය.

ලොව පස්වන ප්‍රබල ආර්ථිකයට හිමිකම්කියන ඉන්දුනීසියාව වර්ෂ 2001 වන විට සංවර්ධනය සඳහා අඩිතාලම් යොදන්නේ මාධ්‍ය සඳහා විධිමත් ආචාර ධර්ම පද්ධතියක් සකස් කර ගැනීමෙන් යැයි කලන්සූරිය මහතා කීවේය. ඒ සඳහා රජයේ මැදිහත්වීමක් නොවූ බවත්  ස්වාධීන විකාශන අධිකාරිය මගින් මාධ්‍ය වෘත්තිකයන් සඳහා රටට සුදුසු නීතිය සහ ආචාර ධර්මපද්ධතියක් සකස් කර ගත් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

නීති අණ පනත් මගින් පමණක් රටක් සංවර්ධනය කරා යොමු කළ නොහැකි බවත් ඒ සඳහා මහජනයා ස්වෙච්ඡාවෙන් එක්රැස් විය යුතු යැයි ආචාර්ය රංග කලන්සූරිය මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed