මහනුවර ආර්ථික කේන්ද්‍රස්ථානය බවට අම්බුළුවාව පත් කිරීමට සැලසුම් – නදීක දයා බණ්ඩාර

අම්බුළුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානය, මහනුවර දිස්ත්‍රික්කයේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට සැලසුම් කරන බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පවසයි.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට පහළොවක් අම්බුළුවාට ජෛව විවිධත්ව මධ්‍යස්ථානය කරා ගෙන්වා ගැනීමට සැලසුම් කරන බව ඒ මහතා තව දුරටත් පැවසුවේය.

ත්‍රාස්ත්‍රජනක ක්‍රීඩා ඇතුලු විනෝද අවස්ථාවන් සහිත සංචාරක කලාපයක් බවට අම්බුළුවාව පත් කිරීම නිමිත්තෙන් එම මධ්‍යස්ථානයේදී පැවැති උත්සව අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.

අක්කර 450කින් සමන්විත එම ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ අක්කර  අක්කර 08 ක් පුරා පැතුරුණු භූමියක විනෝදාංශ හා ක්‍රියාකාරකම් ආරම්භ කොට පුළුල් කිරීම නිමිත්තෙන් මෙම උත්සවය පැවැත්විණි

වර්ෂ 1999දී හිටපු අග්‍රාමාත්‍ය දී.මූ.ජයරත්න මහතා විසින් අම්බුළුවාව සර්ව ආගමික හා ජෛව විවිධත්ව මධ්‍යස්ථාන ගොඩ නංවා ඇති අතර එය මේ වන විට සංචාරක කලාපයක් බවට පත් කරන බව අනුරාධ ජයරත්න මහතා කීවේය. ඒ සඳහා පිළිගත් විවිධ ආයතන අටක දායකත්වය හිමිවී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

ඊට සමගාමීව ඉදිරියේ දී මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය ඇතුළු නව අත්හදාබැලීම් රාශියක් හදුන්වා දීමට සැලසුම් කරන බවත්, ඒ තුළින් ගම්පොල නගරය නව ආර්ථික  කලාපයක් ලෙස සංවර්ධනය කිරීම,  ඇල්ල ඔඩිසි දුම්රිය ගම්පොල දුම්රිය ස්ථානයේ විනාඩි කිහිපයක් හෝ රදවා ගනිමින් අම්බුළුවාව සංචාරක අත්දැකීම් එම කණ්ඩායමට ලබා දීමටත් සැලසුම් කරන බවත් හෙතෙම සඳහන් කළේය.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් 8%ක් අම්බුළුවාව නැරඹීමට එන බවත් ඔවුන්ගෙන් වැඩි පිරිසක් මෙහි පැමිණෙන්නේ මානසික සුවය හා විනෝදාස්වාදය පිණිස යැයි ද අමාත්‍යවරයා කීහ. මහනුවරින් පිටත් වන සංචාරකයන් මෙම මධ්‍යස්ථානය කරා ගෙන්වා ගැනීමට සැලසුම් කරන බවත් ඒ සඳහා කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා තව දුරටත් පැවසුවේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා ද මෙහිදී අදහස් දැක්වූ අතර මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්,  පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, ප්‍රධාන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරචිචි,  සංචාරක අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර  යන මහත්ම මහත්මීන්  ඇතුලු පිරිසක් මෙම  අවස්ථාවට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *