කතෝලික බැතිමතුන්ගේ ශ්‍රමදායකත්වය බොදුණු හිමිනමගේ පැසසුමට — මෙලනි මානලේ පෙර‍ේරා

 


“කතෝලික බැතිමතුන් විසින් බෞද්ධ සාශනයේ කටයුත්තකට ශ්‍රමදායකත්වයෙන් ලබාදුන් සහයෝගය ඉතා විශාල පුන්‍ය කර්මයක් ලෙසින් කල්පිටියේ බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන භික්‍ෂුන්වහන්සේ අගය කර සිටියහ. “අපේ පළාතේ පවතින ආගමීක සහජීවනයේ ප්‍රථිපලයක් වශයෙන් මා මේ සද්ක්‍රියාව අගය කරනවා. සතුටුවෙනවා.” යැයි කල්පිටිය බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය බැඳිවැව දියසේන හිමි ම‍ෝජ‍ෝ  පුවත් සේවයට පැවසීය.

“ඇත්තටම මට ඉතාමත් ම ප්‍රීතියක් දැණුනු දවසක් එදා. අපේ කල්පිටිය බෞද්ධ මධ්‍යස්ථානයේ අලුතින් සාදමින් සිටින චෛත්‍ය රාජයාණන්වහන්සේගේ කටයුතුවලට කල්පිටියේ මීසමේ පියතුමන්ලා සහ බැතිමතුන් කණ්ඩායමක් පැමිණ ශ්‍රමදායකත්වයක් මගින් ඔවුන්ගේ කාලයත් , ශ්‍රමයත් පිරිනැමීම ගැන මම අතීශය සතුටු වෙනවා. ඒවගේම බෞද්ධ ආගමේ කටයුතුත්තකට කතෝලික පියතුමන්ලා සහ බැතිමතුන් දායකවෙලා තමන්ගේ සහයෝගීතාව බෞද්ධ සාශනය වෙනුවෙන් දැක්වීම කියන්නේ අපේ පලාත තුළ තිබෙන සහජීවනය පෙන්නුම් කිරීමක්.   

 
තමන්වහන්සේ පහුගිය කාලය තුළ ඉන්දියාවට ගිය අවස්ථාවේදි දැනගන්නට ලැබුණු සහයෝගිතාවක් සම්බන්ධයෙන් පැහැදිළි කරමින් , අනගාරික ධර්මපාලතුමා බුද්ධගයා පුදබිමේ විහාරස්ථානයක් හදන්න යන විට හින්දු අන්තගාමීන් විසින් ඊට විරෝධතාවක් දැක්වූ  අවස්ථාවේදී  ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණු කතෝලික සභාව පන්සලක් මෙන් නොව පල්ලියක් මෙන් ගොඩනැගිල්ල සාදා පසුව වෙනස්කර ගන්න යැයි කතෝලික සභාව විසින් එදා අනගාරික ධර්මපාල තුමාට මෙන් ම බෞද්ධ සාශනයට සහයෝගය ලබා දී ඇති බව දියසේන හිමි පෙන්වා දුණි.
 
පාස්කු ප්‍රහාරය හමුවේ සිදුවන්නට ගිය සිංහල- මුස්ලිම් දරුණූ ප්‍රචණ්ඩත්වය වළකාලීමට කාදිනල් හිමිපාණන් විසින් ගනුලැබූ උත්සාහය පිළිබඳව ද ප්‍රසංශා මුඛයෙන් කථාකළ බැඳිවැව දියසේන හිමි, පාස්කු ප්‍රහාරයෙන් පසුව, බෞද්ධ භික්‍ෂූන්වහන්සේලා ද හැකි උපරිමයෙන් වින්දිතයින් වෙතට සහනයේ දෑත් දිගුකළ බව ද පැවසීය.  
 
“මේ රටේ සිටින සියලුම ආගමීක නායකයින්ගේ එකමුතුකම තුළ තමයි , මේ රටේ සිටින හැම පුරවැසියෙක් තුළ ම සාමයක් ඇතිකරන්නට පුලුවන්කම ලැබෙන්නේ” යැයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.  
 
නායක හාමුදුරුවන්ට දක්වන ආදරයේ සළකුණක් හැටියට  උන්වහන්සේගේ චෛත්‍ය හදන්න ශ්‍රම දායකත්වයෙන් සහයෝගය දැක්වූයේ යැයි කල්පිටිය මීසම් සේවක සම්පත් ප්‍රසංග පෙරේරා පියතුමා මෝජෝ පුවත් සේවයට ප්‍රකාශ කළේය. 
 
“ඇත්තටම මමත්, මගේ සහයක පියතුමන්ලා දෙදෙනාත් මීසමේ ජනතාවත් කල්පිටිය බෞද්ධ මධ්‍යශ්ථානයට ගියේ ඉතාම සතුටින්. බැඳිවැව දියසේන නායක හාමුදුරුවෝ ඉතා හොඳ සුහදතාවයකින් කටයුතු කරන හාමුදුරුනමක්. බොහෝ වෙලාවට ආගමීක සහජීවනය වෙනුවෙන් කටයුතු කරන හාමුදුරුනමක්. ඒ නිසා උන්වහන්සේගේ මේ කටයුත්තට ශ්‍රම දායකත්වයෙන් සහයෝගය පලකරන්න ඕනේ කියලා මගේ දායක සභාවේ අය තීරණය කළා” යැයි සම්පත් ප්‍රසංග පියතුමා කීවේය.  
 
“කල්පිටිය කියන්නේ බෞද්ධ, හින්දු , කතෝලික සහ මුස්ලිම් යන ආගම් 4 ටම අයිති සැදැහැවතුන්ගෙන් පිරුණු ප්‍රදේශයක්. අපි හැමදෙනාම සහයෝගයෙන් , සුහදව ජීවත්වෙනවා. ආගම , ජාතිය වෙනස් වුනත් අපි හැමෝම මනුෂ්‍ය ජාතිය වශයෙන් හිතලා තමා කටයුතු කරන්නේ. ඒ නිසා අපි නිතරම මේ සහජීවනය, ආදාරය අත්දකිනවා” යැයි සම්පත් පියතුමා  වැඩිදුරටත් පැවසීය.
 

“මම හිතනවා අපි ආගමීක නායකයෝ හැටියට අපි පවත්වාගෙන යන මේ සහයෝගීතාව, සම්බන්ධතාවන් අපි සමග සිටින, අපිව අනුගමනය කරන ජනතාව දකින්න ඕනේ. පිළිගන්න ඕනේ. එකිනෙකා අතර තියෙන පුංචි පුංචි තරහා අතහැරදාලා සමගියෙන් , සමාදානයෙන් ජීවත්වෙන්න උත්සාහා ගන්නවානම් ඒක තමයි මනුෂ්‍යයෝ හැටියට තියෙන ලොකුම වාසනාව.”

“ඒ සඳහා පුංචි ආදර්ශයක් දෙන්න තමයි අපි චෛත්‍ය හදන්න ශ්‍රම පරිත්‍යාගය සිදුකළේ” යැයි සම්පත් පියතුමා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed