ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පුන් පෝය දිනයෙන් ආරම්භ වේ – චන්දන ජයවීර -හැටන් 

 

 

මෙවර ශ්‍රීපාද වන්දනා සමය සිරිත් පරිදි  (2023/2024) හෙට (26) දා  උඳුවප් පුන් පෝය දිනයෙන් ආරම්භ වී 2024 වසරේ වෙසක් පුන් පෝය දිනයෙන් නිමාවට පත් වේ.

අවාර සමයේ මාස 06 ක කාලයක්  පැල්මඬුල්ල, ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ ශ්‍රී සුමන සමන් දේවාලයේ තුන්පත් කර තිබූ සදාතුක කරඬුව, සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය හා  දේවාභරණ ශ්‍රීපාදස්ථානාධිපති, සබරගමුව පලාතේ ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ අනුශාසන හා උපදෙස් පරිදි   (24) දා රාත්‍රී සුභ නැකත් අනුව දොරට වැඩමකිරීම සිදු කරනු ලැබීය. අනතුරුව රත්නපුර මහ සමන් දේවාලයේදී මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සෙත් පිරිත් සඥ්ඥායනාව හා  චාරිත්‍රානුකූල පුද පූජා පැවැත්වීම සිදු කරනු ලබයි.

(25) දා අළුයම යෙදෙන සුභ නැකත් අනුව සදාතුක කරඬුව, සමන් දේව ප්‍රථිමාව හා පූජා භාණ්ඩ රැගත් විශේෂ රිය පෙරහැර පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ  පැල්මුඬුල්ල, ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ සිට ශ්‍රීපාදස්ථානය වෙත වැඩම කිරීම  මාර්ග 04 කින් ආරම්භ කෙරේ.

එක් පෙරහැරක් පැල්මඬුල්ල- පලාබද්දල මාර්ගයෙන්ද, අනෙක් පෙරහැර පැල්මඬුල්ල, අවිස්සාවේල්ල, කිතුල්ගල හැටන් මාර්ගයෙන් නල්ලතන්නිය වෙතද, තවත් පෙරහැරක්ද, කුරුවිට- එරත්න මාර්ගයෙන් ශ්‍රීපාදස්ථානයට හා  පැල්මඬුල්ල -බලංගොඩ පින්නවල, බගවන්තලාව, මස්කෙළිය හරහා නල්ලතන්නියට අනෙක් පෙරහැරත් වැඩම කිරීම සිදු කරනු ලබයි.

හැටන් මාර්ගයෙන්, මස්කෙළිය හරහා නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානය වෙත වැඩම කරන සදාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව,  හා දේවාභරණ පෙර වසරවලදී මෙන්ම මෙවරද ශ්‍රීපාද නායක හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා මැද නල්ලතන්නියේ සිට ශ්‍රීපාද උඩ මළුව වෙත   වැඩම කරනු ලබන්නේ පංච තූර්ය නාදය මැද්දේ ලක්ෂපාන යුද හමුදා කඳුවුරේ නිලධාරීන් හා සෙබළ පිරිසගේ සහභාගීත්වයෙනි.

උදුවප් පුන් පෝය (26) දා අළුයම් කාලයේ යෙදෙන සුභ නැකත් අනුව ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සිරිත් පරිදි ශ්‍රීපාද උඩ මළුවේදී පැවැත්වෙන  චාරිත්‍රානුකූල ආගමික වතාවත් ඉටු කිරීමෙන්  පසුව  සදාතුක කරඬුව, සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය, දේවාභරණ  තැන්පත් කිරීම සිදු කෙරේ. ඉන් අනතුරුව  මෙවර ශ්‍රීපාද වන්දනා සමය සිරිත් පරිදි ආරම්භ වේ.

මෙවර වන්දනා සමයේදී නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ගමන් ගන්නා දෙස් විදෙස් වන්දනාකරුවන්ගේ පොදු පහසුකම් සැපයීමේ මූලික කටයුතු  සියල්ල මේ වන විට අවසන් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසීය.

මෙවර වන්දනා සමයේදී පරිසර හිතකාමී අයුරින් වන්දනා සමය පවත්වාගෙන යන අරමුණෙන් වන්දනාකරුවන්ට ශ්‍රීපාද පුදබිම වෙත පොලිතින් හා ප්ලාස්ටික් බෝතල් ගෙන ඒම සපුරා තහනම් කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed