ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරකරුවන් වූ ආදීවාසී කාන්තාවෝ -කමණී හෙට්ටිආරච්චි

 

එක යායට පිහිටි කඳු පෙළ සුන්දරය. තවත් මොහොතකින් බැද්ද පුරාවට කළුවර ගිල ගනි. දත් විලිස්සා ගත් උස මහත කන්දේ යකා හා පරිවාර යකුන් මිනිස් බිල්ලක් ගන්නට සෙමෙන් සෙමෙන් ගොදුරට ළඟා වන්නට වූහ. යක්ෂයා සහ සෙසු යක්කු ක්‍රම ක්‍රමයෙන් ගොදුරු සොයා එන්නේ මහා කළුවරත් බිදෙගන ය. සත්තකින්ම සිදුවන්නේ කුමක්දැයි කිසිවෙකු දැන සිටියේ නැත. කන්දෙ යකාටත් වඩා බලවත් ණය කන්දක ගොදුරු බවට ආදිවාසී ජනතාව තම වරිගයේ ඇත්තන් බිලි වූ බවක් දැන සිටියේ නැත. ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය නමැති යක්ෂයාගේ පරිවාර යකුන් පළමුව එකා දෙන්නා පැමිණියත් පසුව පෝලිමේ  ආදිවාසී ජනයා සොයා පැමිණියේය. ඒ අප කියන්නට යන වත්මන් කතාවේ පූර්විකාවයි.

ශ්‍රී ලාංකීය වැදි ජනයා වෙසෙන දිඹුලාගල, දලුකාන, හෙනානිගල, පොල්ලෙබැද්ද ආදී ගම්වලට පැමිණි ක්ෂුද්‍ර මුල්‍ය සමාගම්වල නියෝජිතයන්ගේ මූලික ඉලක්කය වූයේ කාන්තාවන්ය. ලිවීම – කියවීම නොදත් සිය අත්සන පමණක් යෙදීමට දන්නා කාන්තාවන් මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය කෙමනට හසුවී ඇත. ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති මී කැඩීමෙන් හෝ කටු අල හැරීමෙන් මෙන්ම හේන් ගොවිතැනින් ජීවත් වූ මෙම ජනයා ස්ථිරව ආදායම් මාර්ගයක් නොමැති පිරිසය. හේන් ගොවිතැන් නොමැති කාලවල දී තම බඩ වියත  රැක ගන්නේ , කුලී වැඩක් හෝ වෙනත් ගෘහ කර්මාන්තවලිනි. ස්වකීය සංස්කෘතික උරුමයන් වූ සිරිත් විරිත් පුද පූජා ඇදහිලි මෙන්ම ස්වකීය භාෂා අනන්‍යතාවන් ආරක්ෂා කර ගනිමින් ප්‍රධාන සමාජ ධාරාව සමඟ මුළුමනින්ම සම්මිශ්‍රණය නොවී ජීවත් වන ආදිවාසී පවුල්වල කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය ණය සමාගම්වල සැලසුම් සහගත ඉලක්ක  බවට පත්ව ඇත.

ආදිවාසී කාන්තාවන් ඉලක්ක කර ගනිමින් පිහිටුවා තිබෙන කුඩා කණ්ඩායම් හරහා මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීමේ ක්‍රියාවලිය දියත්ව ඇත. මෙම ණය ලබාදී ඇත්තේ ඉහළ පොලී අනුපාතයකට වන අතර සතියෙන් සතිය සති දෙකෙන් දෙක මාසෙන් මාසේ ණය සඳහා වූ  පොලී අය කර ගැනීම සිදුකරනු ලබයි.

ආදිවාසී ජනතාව වෙසෙන හෙනානිගල ග්‍රාමයේ ඌරුවරිගේ අනුලාවතී තම අත්දැකීම විස්තර  කරන්නේ මෙසේය.

“බැංකුවේ මහත්තුරු ඇවිත් අපිට කිව්වා ගෑනු අය දහදෙනෙක් විතර එකතු කරගන්න කියලා. සහන ක්‍රමයට ණය දෙනවා කිව්ව නිසා අපිත් ගත්තා. රජයෙන් කියලා අපිට ණයක් දෙන්නෙ නැහැනේ මහත්තයෝ.සතියෙන් සතිය ණය ගෙවන්න පුළුවන් කියලා අපිට ඒ අය කිව්වා. අපෙන් ඇහුවා, ණය ගන්නෙ මොකටද කියලා. අපි කිව්වා, ගේ හදාගන්න කියලා. රැස්වීමක් තියලා ණය දුන්නා. අපි ඒ අය දීපු කොළවලට අත්සන් කළා. අපි ලියන්න කියන්න දන්නේ නැහැ. මෙතන අත්සන් කරන්න කියලා අපිට කිව්වා. අපිත් අත්සන් කළා. පෑනෙන් කතිර ගහලා දුන්නම අපි එතන අත්සන් කළා. මට අන්තිමට ගෙවන්න තිබුණෙ රුපියල් තිස් දාහයි. මේ වෙනකොට පොලියට පොලියත් අරන් මට ලක්ෂයක් ගෙවන්න තියෙනවා ලු.”

 

තලාවරිගේ කුසුමාවතී  –

“මිස් කෙනෙක් ඇවිත් අපිත් එක්ක කතා කළා. කණ්ඩායම් හැදිල සහන පොලියට ණයක් ගන්න පුළුවන් කිව්වා. අපිත් කණ්ඩායම් හැදිලා ගිණුම් ආරම්භ කර ණය ගත්තා. අවුරුදු තුනකට තමයි ණය දුන්නේ. දැන් අපිට ගෙවා ගන්න විදිහක් නෑ. මම රුපියල් ලක්ෂ දෙකක් ගත්තා. ගන්න කොට පොතට කියලා රුපියල් 60,000 කැපුවා. අන්තිමේ මම ගෙවන්න තිබුණෙ රුපියල් 50,000 යි. දැන් ලියුම් ඇවිල්ලා 87 000 ක් ගෙවන්න කියලා.”

පී අජන්තා –

“මම වැදි නායක තුමාගේ මිනිබිරිය.අපි ලක්ෂ එකහමාරක් ණය ගත්තා. මාසෙට රුපියල් 8500 ක් ගෙවන්න ඕන. පහුගිය කාලේ කුලී වැඩක්වත් නැතිව ගියාට පස්සේ තමයි අපිට ගෙවාගන්න බැරි උනේ. ජීවත් වෙන්නවත් විදිහක් නැතුව කොහොමද? ණය ගෙවන්නේ.”

මාරියාගේ මැගිලින් නෝනා – දිඹුලාගල

” මමත් රුපියල් හතළිස් දාහක ණයක් ගත්තා. දැන් ගෙවා ගන්න විදිහක් නැහැ. මගේ මහත්තයට කුලී වැඩක්වත් කරගන්න බැහැ. එයා ඉන්නේ අසනීපයෙන්. වාරික තුන හතරක් ගෙවලා තියෙනවා, දැන් ගෙවා ගන්න විදිහක් නෑ.

ඉහතින් සඳහන් නොවන ඔවුන්ගේ දුක් ගැනවිල්ල ට අමතරව එම ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ක්‍රියාවලියේ සාහසික බව තහවුරු කළ හැකි හොඳම උදාහරණය වන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලබන  මන්දමානසික කාන්තාවක් රවටා ඇයගේ අත්සන ලබාගෙන වෙනත් කාන්තාවකට ණය  මුදල් ලබාදී මන්දමානසික කාන්තාවගෙන් ණය මුදල් ඉල්ලා සිටීමය. මාධ්‍යයට අනාවරණය වී ඇති පරිදි ගල්වල යාය ගමෙහි පදිංචි කෝරළගමගේ  ශ්‍රියාකාන්ති නම් පනස් හැවිරිදි කාන්තාව මෙම ඉරණමට ගොදුරු වී ඇත.

ආදිවාසී කාන්තාවන් මුහුණ දී සිටින මෙම ඉරණම පිළිබඳ ඌරුවලිගේ කරුණාරත්න කියන්නේ මෙවැනි කතාවකි.

” අපි තුන් වෙනි පරම්පරාවේ අය. අපේ සීය තමයි තිසාහාමි. ණය දෙන බැංකුවලින් ඇවිත් ගෙවල්වල ඉන්න බවලත් අයගෙන් තමයි ණය දෙන්න අහල තියෙන්නෙ. මම ඒ අයගෙන් ඇහුවා කොහොමද? ණය දෙන්නෙ කියලා.සහන ක්‍රමයට තමයි දෙන්නේ කියලා ඒ අයට කියලා තියෙනවා. මම බැඳලා ඉන්න කෙනා තමයි ණය අරගෙන තියෙන්නේ. නමුත් අපි මේ ගැන දැනුවත් නැහැ. අනික අපිට අකුරු බැහැ. අපේ මේ මෝඩ කට්ටිය සහන ක්‍රමයට ගෙවන්න ණය දෙන්නෙ කිවුවහම අරගෙන. අපිට තමයි දැන් ගෙවාගෙන යන්න වෙලා තියෙන්නේ. ගෙවාගන්න බැරි වෙලාවල් එනවා. අපි කියන්නේ අපිට නඩු දාන්න එපා කියලා. අපි අනවසරයෙන් පදිංචි වෙලා ඉන්න කට්ටිය. අපිට යන්න තැනක් ඉන්න තැනක් නැහැ.එදා වේල හොයාගෙන කන්නේ. අපිටත් දරුවෝ ඉන්නවා. ඒ අය පාසල් යවන්න ඕන. අපිට අත් වෙච්ච තත්ත්වය ඒ ඇයට අත් වෙන්න ඉඩ දෙන්න බැහැ.”

ආදිවාසී ජනතාව මුහුණ දී සිටින මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය  සම්බන්ධයෙන් කටයුතු කරන නීතිඥ සුනෙත් ආර්. විමලසිරි පවසන්නේ,  මෙවැනි අදහසකි.

” ග්‍රාමීය ජනතාව නගා සිටුවන්න ක්ෂුද්‍ර මූල්‍ය ණය කියන්නේ වැදගත් උපාය උපාය මාර්ගික කටයුත්තක්. නමුත් ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය ක්‍රියාත්මක වෙන්නෙ මූල්‍ය ආයතන නගා සිටුවීමේ ව්‍යාපෘතියක් ලෙසයි. මහ බැංකුවේ නිශ්චිත පොලී අනුපාතයන්ට වඩා වැඩි පොලියට තමයි මේ අය ණය දීලා තියෙන්නේ. මේ නිසා මෙම කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලක පැටලිලා ඉන්නේ. අද වෙනකොට මේ හරහා විශාල සමාජ ගැටලු රාශියක් මතු වෙලා තියෙනවා. ණය වාරික ගෙවා ගන්න බැරි වුන කාන්තාවන්ට ණය එකතු කිරීමට එන නිලධාරීන්ගෙන් ලිංගික බලපෑම් එල්ල වන අවස්ථා වාර්තා වෙනවා. එම සිදුවීමට මුහුණ දුන් කාන්තාවන් ඒ සම්බන්ධව අපිට ප්‍රකාශ ලබාදී තිබෙනවා. ඒ වගේම රුපියල් ලක්ෂයක පවා අඩු ණය සඳහා නඩු පවරා තිබෙනවා.”

ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මැදිහත් වීමෙන් විශාල කාර්යභාරයක් ඉටු කරයි. මීට වසර කිහිපයකට ඉහතදී මෙම අර්බුදය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට රැගෙන ගිය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඒ හරහා සහන ලබා දීමට පියවර ගෙන තිබිණි.

අපි මේ සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පරීක්ෂක ලයනල් ගුරුගේ මහතාගෙන් කළ විමසීමකදී ඔහු සදහන් කළේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොවූ සමාගම් විශාල සංඛ්‍යාවක් මෙම ගනුදෙනුවේ යෙදී සිටින බවයි.

” ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයෙන් මේ රටේ මිලියන 30 ක පමණ ජනතාව පීඩා විදිනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය සදහා නියාමනයක් නෑ. ඒ ගැන තහවුරු වුණේ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ අවස්ථාවේ සහ ශ්‍රී ලංකා මහ බැංකුව සහ එම මූල්‍ය සමාගම් අතර පැවැති සාකච්ඡාවලදි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලත් මූල්‍ය සමාගම් තියෙන්නේ හතරයි.ඒ නිසා ඉක්මනින් ණය නියාමන පනත ගෙන ඒමට ශ්‍රී ලංකා මහ බැංකුව එකගතාව පළ කළා. ඒ වගේම එතෙක් පොලී අනුපාත ලිහිල් කිරීමටත් නිවෙස්වලට ගොස් ඔවුන්ට කරන හිරිහැර නතර කිරීමටත් මෙම සමාගම් මානව හිමිකම් කොමිසම ඉදිරියේ එකග වුණා. නමුත් ඒවා ප්‍රායෝගිකව සිදු වෙන්නේ නෑ. තවමත් සියයට 35 ක පොලී ප්‍රතිශතයක් අය කරන ආයතන තිබෙනවා. ඒ නිසා අපි රජයට බල කර සිටින්නේ ඉක්මනින් ණය නියාමන පනත ගෙන ආ යුතුයි කියලා.”

මෙම ණය ආපසු ගෙවීම්වලට අදාළව නිකුත් කරන රිසිට් පත් මැකී යාම නිසා තමන් ගෙවා ඇති මුදල් පිළිබඳ ආදිවාසී කාන්තාවන් දන්නේ නැත. එමෙන්ම ණය අය කිරීමට එම නිලධාරීන් කාන්තාවන් පදිංචි තම නිවාස ඔවුන්ට අයත් තිරෝද රථ තමන්ගේ නමට ලියා දී ණය පියවන ලෙස බල කිරීමට කටයුතු කරන බව ආදීවාසි කාන්තාවන් පවසති.

ග්‍රාමීය ආර්ථිකය නංවාලීම, කුඩා නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම, කාන්තා සමුපකාර පිහිටුවීම, ප්‍රජා ව්‍යවසායකත්වය සහ ගෝලීය මහජන සේවාවන් මූලික අයිතිවාසිකම් ලෙස ආරක්ෂා කිරීම වැනි වටිනා අරමුණු සාක්ෂාත් කිරීම සඳහා විකල්ප ආර්ථික ආකෘතියක් ලෙස හඳුන්වා දෙනු ලැබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීමේ වැඩසටහන ලංකාවට අදාළව මේ වන විට බරපතල සමාජ අර්බුදයක් බවට පත්ව ඇත. සමස්ත ශ්‍රී ලාංකිකයින් මිලියන 2.8 ක් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිර වී සිටින බව මේ වනවිට අනාවරණය වී ඇත. ක්ෂුද්‍ර මූල්‍ය ණය  ලබා ගැනීම, වගකීම් විරහිත ණය ලබා ගැනීමක් ලෙස සමහරු අර්ථ ගන්වනු ලැබූව ද මේ ශ්‍රී ලාංකික ග්‍රාමීය දිළිඳු භාවයේ ව්‍යුහාත්මක ගැටලුවක් බවට පත්ව ඇත. ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති ප්‍රධාන පෙළේ රාජ්‍ය හා මූල්‍ය ආයතනවලින් ණය ලබා ගැනීමට අවශ්‍ය කරන සුදුසුකම් අහිමි ග්‍රාමීය ප්‍රජාව ක්ෂණික ලාභ අරමුණු කරගත් මුල්‍ය ආයතනවල පහසු ගොදුරු බවට පත්ව ඇත.

මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපෘතිවලට අදාළව පවතින නීතිමය තත්ත්වයන් පිරික්සා බැලීමේදී පෙනී යන්නේ 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත පාර්ලිමේන්තුව මගින් පනවන ලද අතර 2016 ජූලි මස 15 වැනි දින සිට එය බලාත්මක බවය. මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය පනත මගින් ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරවල නිරත සමාගම් බලපත්‍රලාභි ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය කිරීමට අදාළ විධිවිධාන පනවා ඇත. බලපත්‍රලාභී ක්ෂ්‍රද්‍ර මූල්‍ය සමාගම් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය හරහා සෘජුව නියාමනය කෙරේ. එසේම 1989 අංක 30 දරණ සමාජ සේවා සංවිධාන පනත යටතේ ලියාපදිංචි වූ ක්ෂුද්‍ර මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන රෙජිස්ටාර්වරයා යටතේ නියාමනයට  ක්ෂුද්‍ර මූල්‍ය පනතින් විධිවිධාන සලස්වා ඇත. නීතිමය තත්ත්වයන් එසේ වුවත් 2016 සමාගම් පනත අනුව දැනට ලංකාවේ ලියාපදිංචි වී සිටින්නේ සමාගම් තුනක් පමණි. ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් දහදාහකට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක බව ඒ පිළිබඳ කෙරෙන සමීක්ෂණවලින් අනාවරණය වී ඇත.මෙම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නිසි නියාමනයට යටත් නොවීම මෙම බරපතල ඛේදවාචකයට හේතු වූ බව ඉතා පැහැදිලිය.

නූතන ශ්‍රී ලංකාවේ ආන්තික ප්‍රජාවක් ලෙස සැලකිය හැකි ආදිවාසී ජනයා මුහුණ දෙන ඛේදවාචකය රටේ ප්‍රධාන දේශපාලන ආර්ථික ධාරාවන් කම්පනයට පත් කිරීමට සමත්ව නැති බව පෙනෙන්නට තිබේ. ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ද කියා සිටින්නේ තම ජනතාව  මුහුණ දී සිටින  ආර්ථික පීඩනය හමුවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය තම පාලන සීමාවෙන් එහා ගිය කරුණක් බවය.

තම වරිගයේ අයට ලෙඩ රෝග දුක් කරදර ඇති වූ විට ඊට හේතු සාධක සෙවීම සඳහා දුනු පේනයක් බැලීම ආදිවාසීන්ගේ සිරිතය. කන්දෙ යකාට කන්නලව් කරමින් මන්ත්‍ර ජප කරමින් සිටින විට කන්දෙ යකාගේ බලපෑමෙන් දුන්න සෙලවීමට පටන් ගන්නා බව ඔවුන් කියති. ඊට පසු පේනය මගින් කරදර වලට හේතු වූ මූලික කරුණු ඔවුන් දැන ගනී. කන්දෙ යකාටත් වඩා බලවත් ක්ෂුද්‍ර මූල්‍ය ණය කන්දට යට වී සිටින ඔවුන්ට අද කන්දේ යකා ගිය පිහිටට වඩා අවශ්‍ය වන්නේ ආණ්ඩුවේ මහා  හුරන්ගේ බැල්ම ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed