“නිදහස අහිමිකරන පනතක් හමුවේ” කෙසේ ධීවර දිනයක් සමරමුද? – වෘත්තීය සමිති සභාපති– ම‍ෙලනි මාන‍ෙල් ප‍ෙර‍ේරා

“සාම්ප්‍රදායිකව, නැවතත් නොවැම්බර් 21 ලෝක ධීවර දිනය ලෙස පවත්වනු ලැබේ. නමුත් ශ්‍රී ලංකා සන්දර්භය තුළ, ශ්‍රී ලංකාවේ ධීවරයින්ට, “ධීවර දිනය ලෙස සැමරීමට”, සුදුසු වාතාවරණයක් නොමැති අතර, “සැමරුම්” නැවත වරක් ධීවර ජනතාවට සතයක් ඉතිරි කරනවා වෙනුවට, විශාල මුදලක් නාස්ති කරන්නේ යැයි සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සමිතිය‍ේ සභාපති, අරුණ රොෂාන්ත මෝජෝ පුවත් වෙත ප්‍රකාශ කළේය.

ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුළ විශාල දායකත්වයක් සපයන දුප්පත් මිනිස්සුන්ගේ සම්පත් ධනවත් මිනිස්සු විසින්, සූරාකෑමේ උච්චතම අවස්ථාවක ශ්‍රී ලාංකීක ධීවර ප්‍රජාව ගමන්කරමින් සිටින බැවින් , ධීවර දිනයක් සැමරීමට වඩා ධීවර ජනතාවගේ හිස මත පටවා තිබෙන ප්‍රශ්නවලට විසඳූම් සොයා ගැනීමට එකතුවිය යුතු යැයි ඔහු අවධාරණය කළේය.

 
 “විශාල ධනස්කන්දක් වියදම් කරලා ධීවරයින්ගේ නාමයෙන් සැමරුම් පැවැත්වූවාට, ධීවරයින්ට ලැබෙන වාසියක් , සැනසීමක් නැහැ. මොකද, එ‍හ‍ෙමනම්, මෙච්චර කාලයක් තුළ පැවැත්වූ ධීවර සැමරුම් නිසා ධීවරයාගේ ප්‍රශ්න විසඳිලා යම්තාක් දුරකට හෝ ධීවරයා නිදහසේ , සතුටින් ජීවත් වෙන්න තිබුණා. නමුත් එවැනි නිදහස් වාතාවරණයක් නැහැ. තව තවත් පනත් නීති ගෙනත් ධීවරයාත් , මහ මුහුදත්  මර්ධනය කිරීමක් තමයි අද දවසේ අපි අත්දකින්නේ.” යැයි අරුණ රොෂාන්ත පැහැදිළි කළේය.
 
තමන් ශ්‍රී ලංකාවේ සුලුපන්න ධීවරයෙක් බවත්, අද දවසේදි ලංකාවේ සුලුපන්න ධීවරා පමණක් ‍ න‍ොව, බහුදින යාත්‍රා ධීවරයාත් දෙදෙනාම ඉතාම අසීරු ජීවන වෘත්තියක නියැලිලා සිටින්න‍ේ යැයි අවධාරණය ක‍ළ‍ේය.

“මම එහෙම කියන්නේ, ධීවරයාට ධීවරයෙකු සේ තමන්ගේ වෘත්තීය කරන්න නිදහස නැහැ. අලුතින් නීතී, පනත් ගෙන්නලා ධීවරයාව තව තවත් හිරකරන්න රජය සූදානම් වෙනවා. ධීවරයා ආණ්ඩුවේ වහලෙක් බවට පත්කරන්න අවශ්‍ය පනතක් අපි ඉදිරියට ගෙනල්ලා රාජ්‍ය ත්‍රස්තවාදයක් ඇතිකරන්න උත්සාහා කරමින් සිටින මොහොතක අපිට ධීවර දිනයක් කියලා සමරන්න බැහැ.” යැයි ඔහු කීවේය.

 

“ඇත්තටම මේ පනත අපිට තේරෙන්නේ නැහැ. තේරුම්ගන්න පුලුවන් කොටසේ කියන්නේ සම්පුර්ණයෙන් ම ධීවරයාව මර්ධනය කරලා, පිටරට සමාගම් සඳහා අපේ මුහුද බදු දීමට අවශ්‍යකරන පසුබිම හදන නීතියක් ගැනයි.”

1996 නිකුත්කළ ධීවර පනතේ තිබුණේ වගන්ති 66යි. නමුත් නව පනතේ වගන්ති179ක් තියෙනවා. ධිවර අමාත්‍යංශයෙන් ඇවිත් අපට මේ පිළිබඳව කථාකළත් පනත අපට පෙන්නුවේ නැහැ. ඔවුන් කීවේ මේක පරණ පනතමයි. වගන්ති තුන හතරක් වෙනස්වෙලා තියෙනවා, නමුත් ඒක අපට බලපාන්නේ නැති බවයි. මේ පනතට එදාම අපේ අදහස් යෝජනා ඉල්ලා සිටියා. නමුත් අපි දැඩි ලෙස ඉල්ලා සිටියා මේ පනත අධ්‍යනය කරන්න අපිට මාස දෙකක් අවශ්‍යයි කියලා. අධ්‍යනය සඳහා අපි ලියවිල්ල ලබාගත්තට පස්සේ තමයි දැක්කේ වගන්ති 113ක් වැඩිපුර එකතුකරලා තියෙනවා කියලා. එව‍ග‍ේම ‍ම‍ෙහි සදහන්කර ති‍බ‍ෙනවා අධ්‍යක්ෂ ‍ජ‍ෙනර‍ාල්ට අවශ්‍යනම් පමණයි , ධීවර ලයිෂන්එක ‍ද‍ෙන්‍න‍ේ කියලා.” යැයි අරුණ ‍ර‍ොෂාන්ත පැහැදිළි කළ‍ේය.
 
ධීවරයින් වෙනුවෙන් පනතක් ඉදිරිපත් විය යුත්තේ ඔවුන්ගේ ආරක්‍ෂාව සහ සුභසිද්ධිය වෙනුවෙන් යැයි පැවසූ අරුණ ‍ ‍ර‍ොෂාන්ත, නමුත් මේ රජය සම්මත කරගන්න උත්සාහා කරන පනත මගින් ධීවරයාව මර්ධනය කරලා, මහ මුහුද මර්ධනය කරලා රාජ්‍ය ත්‍රස්තවාදයක් දියත් කරන්න යැයි පැවසීය.
 
“මුහුද යනු මුළු රටටම අයත් ස්වභාවික සම්පතකි.නමුත් එහි වැඩ කරන්නේ ධීවරයාය.එබැවින් ධීවරයන්ගේ සහ ධීවර ප්‍රජාවගේ අදහස් විමසීමකින් තොරව ධීවරයන්ගේ ජීවිත, ඔවුන්ගේ ජීවනෝපාය සහ මුහුද පිළිබඳව රජයට තීරණ ගන්න බැහැ. කිසිම ධීවරයෙක් එහෙම පනතක් ඉල්ලුවේ නෑ. ලංකාව මේ තරම් ආර්ථික අගාධයකට වැටිලා ති‍ය‍ෙන ම‍ොහ‍ොතක,   මුහුදත් විකුණනවා. එතකොට අපේ ධීවරයන්ට වෙන පාර්ශව වලට අයිති මුහුදේ වැඩ කරන්න තියෙන අයිතිය නැති වෙනවා.” අරුණ පැහැදිලි කළේය.
 
පෝර්ට් සිටි ව්‍යාපෘතිය සම්භන්ධ‍ය‍ෙන් ද නව පනතේ අන්තර්ගතය පිළිබදව ද අදහස් දැක්වූ ඔහු කියා සිටි‍ය‍ේ, “පෝර්ට් සිටි ප්‍රදේශය‍ේ නාවික සැතපුම් 05ක් තුළ කිසිම යාන්ත්‍රික බෝට්ටුවකට රැකියාව කරන්න බැහැ. ඒ ඉඩ පෝර්ට් සිටියට පැමිණෙන මිනිස්සුන්ට විනෝදවීම සඳහා ව‍ෙන්කරලා, ධීවරයින්ට තහනම් කරනවා.”

“එපමණක් න‍ොව‍ෙයි, අපේ රට ඩොලර් අහේනියකට මුහුණ දී සිටින අවස්ථාවක, වදවීග‍ෙන  යනවා කියලා, මහ මුහුදේ බහුලව ඉන්න සහ පිටරටින් ඉහළ ඉල්ලුමක් තිබුණ “තඹුවා” කියන මත්ස්‍ය ඇල්ලීම සහ අපනයන කිරීම තහනම් කළා.”


මෙවැනි අදූරදර්ශි ක්‍රමවේදයන් තුළ, ධීවරයාව තව තවත් මර්ධනයකර තබන්නට උත්සාහා ගන්නා ම‍ොහ‍ොතක “ධීවර දිනය සැමරීමක්” කෙසේවත් සිදුකළ නොහැකියි යැයි සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සමිති‍ය‍ේ සභාපති  මෝජෝ පුවත් වෙත අවධාරණය කළ‍ේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *