මහ වැසි හේතුවෙන් මහනුවර නාය අවදානම් ගැන විමසිලිමත් වන ලෙස දැනුම්දීමක් – නදීක දයා බණ්ඩාර
අධික වර්ෂාපතනය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් නාය යාමේ අවදානම් කලාප වශයෙන් ජාතික ගොඩනැගිලි සංවිධානය මගින් නම් කොට තිබේ.
ඉකුත් පැය 24ක කාලය තුළ මිලි මීටර් සියය ඉක්මවූ වැසි ලැබුණු බැවින් තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්ථාන කිහිපයක් නාය අවදානමට ලක්වී ඇත. එම ප්‍රදේශයේ පදිංචිකරුවන් නාය යාම්, බෑවුම් හා පස් කඳු කඩා වැටීම් හා පොළව ගිලා බැසීම් ආදිය පිළිබදව විමසිලිමත් විය යුතු යැයි ද එම සංවිධානය සඳහන් කරයි.
මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළය, උඩපළාත, උඩුදුම්බර, පාතදුම්බර, උඩුනුවර සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අවදනම් සහිත ස්ථාන පවතින බව ද එම සංවිධානය තව දුරටත් මහජනයාට දැනුම් දෙයි.
මේ අතර අධික වැසි හේතුවෙන් මහනුවර – මඩොල්කැලේ ප්‍රධාන මාර්ගයට හාතලේ ප්‍රදේශයේ පස් කදු කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් ද ඇණ හිටීමට ලක්විය. මහ වැසි හේතුවෙන් හතරලියද්ද දුංකුඹුර මාර්ගයේ කොන්ක්‍රීට් පාලම කැඩී ගොස් ඇතැයි මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පොල්වත්ත, මාවතගම, මිණිගමුව සහ ඇලොටුවාව ප්‍රදේශ සඳහා පිවිසීමට ඇති ප්‍රධාන මාර්ගය එය වන අතර මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කිරිම සම්බන්ධයෙන් අදාල ආයතන දැනුවත් කළ බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා පැවසීය.
මධ්‍යම කඳුකරයට අඛණ්ව වැසි ඇද හැලෙන බැවින් අවදානම් සහිත තත්ත්වය පිළිබදව මහජනයා වඩාත් විමසිලිමත් විය යුතු යැයි ද ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.
නාය අවදානම හේතුවෙන් තාවකාලිකව ඉවත් කළ පවුල් සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා අදාල අංශ වෙත දැනුම් දී තිබේ.