ජාතික ආධුනිකත්ව අධිකාරියේ පාඨාමාලා නව ලොවට උචිත අයුරින් නවීකරණය කිරීම් වැඩටසහනක්. – නදීක දයා බණ්ඩාර

ජාත්‍යන්තර ඉල්ලුමට සරිලන පරිදි ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සියලු  පාඨමාලා නවීකරණය කොට ඇතැයි එහි සභාපති රුචික අමරසේකර මහතා පවසයි.

ඒ අනුව දැනට ක්‍රියාත්මක වූ පාඨමාලා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සඳහා උචිත අයුරින් NVQ 05 සහ 06 ඩිප්ලෝමා තත්ත්වය දක්වා සංවර්ධනය කොට ඇතැයි ඒ මහතා පැවසීය.

අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ මැදිහත්වීම මත රැකියා විරහිත කාන්තාවන් සඳහා  ආරම්භ කරන ලද වෘත්තිය මැහුම් පාඨාමාලාව ආරම්භ කිරීම නිමිත්තෙන් අද (15) අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති උත්සවයේදී සභාපතිවරයා මේ බව කීවේය. අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථාපතිත කරන ලද ආධුනිකත්ව පුහුණු මධ්‍යස්ථාන විවෘත කිරීම සහ  ජුකී මැෂින් පුහුණූලාභීන් පුහුණූව කරා යොමු කිරීම මෙහිදී සිදුවිය.

පළමු කණ්ඩායම යටතේ 25 දෙනෙකු ජුකී පුහුණුව සඳහා බඳවා ගන්නා අතර මාස 06ක පුහුණූ පාඨමාලාවක් ඔවුන්ට හිමිය.

දැනට සාමාන්‍ය පෙළ අසමත්වන ලක්ෂ 02ක් වන දරුවන් ද උසස් පෙළ විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගත නොහැකි 96 000ක් පමණ වන දරුවන් සඳහා වෘත්තිය පුහුණූ පාඨමාලා ක්‍රියාත්මක වන බව  එහිදී කී ඒ මහතා එම දරුවන්ට ඉහළ ආදායමක් ලබා ගත හැකි තත්ත්වයට පත් කිරීම සිය අධිකාරියේ අපේක්ෂාව යැයිය කීවේය.

වෘත්තිය ත්‍රිරෝද රථ රියදුරන් බවට පත්වීම වෙනුවට එම තරුණයන්ට වෘත්තිය නිපුණත්වයක් ලබාදීමට සිය අධිකාරියේ අපේක්ෂාව යැයි කී ඒ මහතා විභාග සමත් අසමත් සියලු දරුවන් ගමට කරදරයක් නොවී නිසා මාර්ගයට ගෙන ඒමට පියවර ගන්නා බව සඳහන් කළේය.

වාර්ෂික අදියර 04ක් යටතේ පාඨමාලාලාභීන් බඳවා ගැනීම සිදුකරන බවත් ඒ මහතා NVQ 05 සහ 06 ඩිප්ලෝමා තත්ත්වයෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ තව දුරටත් උසස් පුහුණූව ලැබිය හැකි යැයි ද කීවේය.  විශ්ව විද්‍යාල මගින් පමණක් උපාධිය ලැබිය හැකි යැයි පවතින මතය නිසා ඇතමුන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පමණක් යොමු වන බවත් වෘත්තිය පුහුණූම මගින් ද උපාධි මට්ටමේ සුදුසුකම් ලැබිය හැකි යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

ජපානය වැනි රටවල වඩත් කැපී පෙනෙන අයුරින් සේවා කරන වෘත්තිකයන් සඳහා NVQ මට්ටමේ සහතික ලබා දෙන බවත් ඒ යටතේ නුදුරේදිම ජපානයේදී ඔවුන්ට වෘත්තිය පුහුණු සහතික ලබා දෙන බව ද සභාපතිවරයා කීවේය.  ඒ අතර  ජර්මානු කාර්මික ආයතනය වැනි ආයතන තුළින් පුහුණූව ලබා විවිධ කර්මාන්තගත සේවකයන් සඳහා ද එම සුදුසුකම් සහතික ලබා දෙන බව ඒ මහතා පැවසීය.

දිවයිනේ සියලු ග්‍රාම නිලධාරීන්ගේ සම්බන්ධීකරණය මත රැකියා විරහිත තරුණ තරුණියන්ට සිය අධීකාරියේ පාඨමාලා සඳහා සම්බන්ධ විය හැකි යැයි ද ඒ මහතා සඳහන් කළේය.

කොරියාව, ඉතාලිය සහ බහරේන් වැනි රටවල දී එරට සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා එම රටවලදී මාර්ගගත ක්‍රමයට වෘත්තිය පුහුණූ සහතික ලබා දෙන බව ද  ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ  සභාපති රුචික අමරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා අබේසිංහ මහත්මිය ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed