මහනුවර අනාරක්ෂිත ගස් හා අතු ඉවත් කිරීම ඇරඹේ නදීක දයා බණ්ඩාර

මහනුවර වැව රවුම ඇතුලුව නගරයේ ආනරක්ෂිත ගස් හා අතු ඉවත් කිරීම මහනුවර මහ නගර සභාවේ මැදිහත්වීම මත මේ වන විට ආරම්භ කොට තිබේ.

මහනුවර නගරය මෙන්ම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල අවදානම් ගස් ඉවත් කරන ලෙසට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කළ දැනුම්දීම අනුව මෙම ඉවත් කිරීම් සිදුවේ.

මහනුවර නගරයේ අවදානම් සහිත ගස් හා දිරාපත් වූ අතු රැසක් පවතින බැවින් ඊට කඩිනම් පියවර ගන්නා ලෙද ආණ්ඩුකාරවරයා, කමිටුවට දැනුම් දුන් අතර මහනුවර ගස් ඉවත් කිරීම ඒ අනුව ආරම්භ විය.

සෙසු පළාත් පාලන ආයතන සතු අනාරක්ෂිත ගස් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් අදාල ආයතන දැනුවත් කර ඇතැයි පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය එහිදී සඳහන් කළ අතර මාසයක් ඇතුළත එය ආරම්භ කරන බවත් ඇය සඳහන් කළාය.

එහිදී අදහස් පළ කළ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා, පොල්ගොල්ල ඇවිදින මං තීරුවට බාධාවන ලෙස කඩා වැටුණු ගසක් ඉවත් කිරීමට දින ගණනාවක් ගතවූ බවත් එවැන්නක් සිදු නොවීමට අදාල ආයතන සම්බන්ධීකරණය විය යුතු යැයි පෙන්වා දුන්නේය. ගස් ඉවත් කිරීම සිය ආයතනයට අසීරු නම් සම්බන්ධිකරණ කමිටුව් මැදිහත්වීම මත හෝ වෙනත් ආයතනවල සහයෝගය ලබා දිය යැකි යැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

මහනුවර නගරයේ පවතින ගස්වල තත්ත්වය පරීක්ෂා කිරීම මහනුවර මහ නගර සභාවට අසීරු නම් ඒ සඳහා ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා ගත හැකි යැයි එහිදී පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා එම ආයතනයේ සහයෝගයෙන් සියලු ගස් පිළිබඳව දත්ත වාර්තාවක් සකස් කර ගන්නා ලෙසද උපදෙස් දුන්නේය. එම වාර්තාව මගින් වර්ෂ කිහිපයක් යන තුරු ශාඛවල තත්ත්වය අධීක්ෂණය කළ හැකි යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

ගස් ඉවත් කිරීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් රාජ්‍ය දැව සංස්ථාව වෙත ඉදිරිපත් කොට ඇති අතර ඒ අනුව මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ විස්සෙහි ගස් 1969ක් ඉවත් විය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වී ඇත.

ගස්වල තත්ත්වය පරීක්ෂා කොට ඉවත් කිරීම් සිදු කරන ලෙසත් මිනිස් ජීවිත මෙන්ම ගස් ද රැක ගැනීම පිළීබදව අවදානය යොමු කරමින් මෙම කාර්යය සිදුකළ යුතු යැයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *