අවාර සමයේ ශ්‍රීපාදස්ථානය බලා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් මුදල් අයකිරීමට එරෙහිව උද්ඝෝෂණයක් – චන්දන ජයවීර
අවාර සමයේ නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාදස්ථානය බලා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා වනජීවි අමාත්‍යාංශය මගින් මෙම මස 04 දා සිට මුදල් අයකිරිමට විරෝධය දක්වමින් 08 පෙරවරුවේ නල්ලතන්නිය වනජීවි කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විණි.
මෙම විරෝධතාවය නල්ලතන්නිය සංචාරක නිවාඩු නිකේතන හිමියන් විසින් සංවිධානය කර තිබූණි.මහා සංඝරත්නය පෙරටු කරගත් උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස පංච තූර්ය වාදන මධ්‍යයේ නල්ලතන්නියේ සිට විරෝධතා පුවරු අතැතිව පා ගමනින් ශ්‍රීපාද මාර්ගයේ මකර තොරණ දක්වා ගමන් කර වනජීවි දෙපාර්තමේන්තුවේ කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.
අනතුරුව මෙම මුදල් අයකිරීම සම්බන්ධව විරෝධය දක්වමින් නල්ලතන්නිය කල්පවෘක්ෂ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන් විසින් වනජීවි නිලධාරීන්ට කරුණු ඉදිරිපත් කළහ. නල්ලතන්නිය සංචාරක නිවාඩු නිකේතන හිමියන්ගේ සංගමයේ සභාපති ඩබ්.එම්.ශාන්ත කුමාර මහතාද වනජීවි නිලධාරීන්ට කරුණු දැක්වීමෙන් පසුව ජනාධිපතිවරයාට, වනජීවි අමාත්‍යවරයට හා වනජීවි අධ්යක්ෂ ජනරාල්වරයාට භාර දෙන ලෙස දන්වමින් සංදේශයක් භාර දෙනු ලැබුවේ, වනජීවි කාර්යාලයේ අඩවිවන ආරක්ෂක නිලධාරි ටිකිරිබණ්ඩා රත්නායක මහතා වෙත භාර දෙමිනි.
මෙහිදී මාධ්‍යට අදහස් දක්වමින් අඩවිවන ආරක්ෂක ටිකිරිබණ්ඩා රත්නායක මහතා කියා සිටියේ, රජය මගින් 2022 වසරේ නිකුත් කර ඇති ගැසට් පත්‍රය අනුව වනජීවි දෙපාර්තමේන්තුවේ දැණුම්දීම මත මෙම මුදල් අයකිරීම සිදු කරන බවය. විරෝධතාකරුවන් විසින් භාර දෙන ලද සංදේශය අදාල අංශ වෙත යොමු කරන බවද හෙතෙම පැවසීය.
ශ්‍රීපාදය බලා පැමිණෙන සංචාරකයින් එක් අයකුගෙන් ඩොලර් 05 ක මුදලක් හා දේශිය සංචාරකයින් එක් අයෙකුගෙන් රුපියල් 45.00 ක මුදලක් අයකිරීම සිදු කරනු ලබයි.
අප සමග අදහස් දක්වමින් ව්දේශිය සංචාරකයින් කියා සිටියේ, ශ්‍රීපාදස්ථානය බලා පැමිණෙන විදේශිය සංචාරකයින්ගෙන් මුදල් අයකිරීම නිසා තමන් අපහසුතාවයට පත්ව සිටින බවය.
මෙම අවස්ථාවට නල්ලතන්නිය, කල්පවෘක්ෂ විහාරාධිපති දෙහිපේ නන්ද, මස්කෙළිය ශ්‍රී සුමනාරාමාධිපති තපෝවනයේ සුසීත හමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, නල්ලතන්නිය සංචාරක නිවාඩු නිකේතන හිමියන්ගේ සංගමයේ සාමාජිකයින්, සංචාරක මග පෙන්වන්නන්, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සිංහල, දමිළ විශාල පිරිසක් සහභාගී වූහ.