ආනයන සීමා හමුවේ මෙරට ඉහළම අපනයන ආදායම ඉතුක් වර්ෂයේදී හිමිවේ – නදීක දයා බණ්ඩාර

ආනයන සීමා පනවා ඇති අවස්ථාවක මෙරට ඉහළම අපනයන ආදායම වන රුපියල් බිලියන 13.1ක ආදායමක් ඉකුත් වර්ෂයේදී ඉපැයීමට ව්‍යවසායකයන් සමත්වී ඇතැයි කර්මාන්තර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ආනයන සීමා හමුවේ මෙරට ව්‍යවසායකයන් රැසක් ආනයන ආදේශන කර්මාන්ත ප්‍රවර්ධනය කරා යොමු වී ඇතැයි අමාත්‍යවරයා කීවේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රයේදී කර්මාන්ත අමාත්‍යංශය සහ  කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් පවත්වන ලද මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය ඊයේ (06) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මධ්‍යම පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් තුන්සියයක පමණ පිරිසකගේ වෙළඳකුටිවලින් මෙම ප්‍රදර්ශනය සමන්විත විය.

මෑත කාලයේදී දේශීය ව්‍යවසායකයන් රැසක් අපනයන ඉලක්ක කර ගන්නා නවෝත්පාදන කරා යොමු වී ඇතැයි කී අමාත්‍යවරයා, පාසල් පාදක කර ගත් ව්‍යවසායක කව ආරම්භ කොට පාසල් පද්ධතියේ සිට ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මාර්ගෝපදේශන ලබා දෙන බව කීවේය. ඒ අනුව මේ වන විට පාසල් 300ක ආරම්භ කර ඇති ව්‍යවසායකත්ව කව ප්‍රමාණය ඉදිරියේදී පාසල් 5000ක් දක්වා ව්‍යාප්ත කිරීම අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

ගුණාත්මක තත්ත්වයෙන් යුතු භාණ්ඩ නිෂ්පාදනය කිරීම, එම භාණ්ඩ දේශීය හා අන්තර්ජාතික වෙළඳ පොල දක්වා යොමු කිරීම මෙහි අපේක්ෂාවක් යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය. මෙරට නිෂ්පාද ජාත්‍යන්තර වෙළඳ පොල දක්වා යොමු කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යංශයේ මැදිහත්වීම මත රුසියාවේ මොස්කව් නුවර පැවැති ප්‍රදර්ශනයකට භාණ්ඩ ඉදිරිපත් කළ බවත් ඒ අයුරින් මෙම වර්ෂය අවසානයේ ඊජිප්තුවේ කයිරෝ නුවර පැවැත්වෙන ප්‍රදර්ශනයක් සඳහා දේශීය නිමැවුම් යොමු කරන බවත් අමාත්‍යවරයා කීවේය.

විදුලිය, තෙල්, ගෑස් හා අමුද්‍රව්‍ය නොමැති අවස්ථාවක දේශීය නිෂ්පාදකයන් විකල්ප ක්‍රම කරා යොමු වෙමින් ශක්තිමත් ආර්ථිකයක් සකස් කර ගත් බව කී ඒ මහතා එම අසීරු අවස්ථාවෙන් මිදී ශක්තිමත් දේශීය ආර්ථිකයක් කරා යොමු වෙමින් සිටින බව කීවේය. මේ වන විට ඇඟලුම් හා රෙදි පිළි, දෘඩ ටයර් නිෂ්පාදන, එක්සත් ජනපදය සඳහා ට්‍රක් ටේලර් නිෂ්පාදනය කිරීම මෙන්ම ප්‍රසිද්ධ සන්නාම යටතේ වාහන ඇන්ජින් හා ගියර් පෙට්ටිය නිෂ්පාදන කිරීමෙහි ලා ශ්‍රී ලංකාව පුරෝගාමී වී ඇතැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව මධ්‍යම පළාතේ කේන්ද්‍ර කොට මහනුවර දී ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය ඉදිරියේදී බදුල්ල සහ ගාල්ල නගර කේන්ද්‍ර කොට පැවැත්වීමට කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සැලසුම් කොට තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිි වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *