ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා බ්‍රිතාන්‍ය රජයේ සහයෝගය අඛණ්ඩව – නදීක දයා බණ්ඩාර

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා බ්‍රිතාන්‍ය රජයේ නොමඳ සහයෝගය අඛණ්ඩව හිමිවන බව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්  ඇන්ඩ්‍රිව් පැට්ට්‍රික් මහතා  (H.E. Andrew Patrick) පවසයි.

කොරෝනා වසංගත තත්ත්වය, ආර්ථීක අවපාතය ඇතුලු මෑතකාලීන අවස්ථා ගණනාවකදී බ්‍රිතාන්‍ය රජයේ සහයෝගය හිමිවූ අයුරින්ම ඉදිරියේදී මෙරට ආර්ථික සංවර්ධනය සඳහා දීර්ඝ කාලීන සහයෝගය හිමිවන බව ඒ  මහතා කීවේය.

නිල සංචාරයක් සඳහා මහනුවරට පැමිණි මහ කොමසාරිස්වරයා අද (05) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ආශිර්වාද ලබා ගත්තේය. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් මහ කොමසාරිස්වරයා පිළිගන්නා ලදි.

පසුව අස්ගිරි මහා විහාරයේදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක උන්වහන්සේ සමඟ මහ කොමසාරිස්වරයා සාකච්ඡාවක නිරතවූහ.

ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඒ මහතා, තමන් වසර කිහිපයක් ශ්‍රී ලංකාවේ රැදී සිටින බවත් එම කාලය තුළ මෙරට අභිවෘද්ධිය වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජයේ සහයෝගය ලබා ගැනීමට පියවර ගන්නා බව කීවේය.

ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍ය රජය අතර මනා සහයෝගයක් පවතින බව කී ඒ මහතා ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳ පොල එක්සත් රාජධානියේ වැඩි ඉඩකට හිමිකම් කියන බවත් කීවේය. මෙරට ආයෝජන අවස්ථා ඉහළ නැංවීම මගින් ඉහළ අපනයන ආදායම් ලබා ගැනීමේ අවස්ථාව ද ශ්‍රී ලංකාවට හිමි යැයි මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් කීවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *