‘මවුබිමට ජවයක්, ගෞරවණීය පුරවැසියෙක් – මලෛයිගම් 200’ – ජනනි කොඩිතුවක්කු

*කඳුකර දමිළ ජනතාව තවදුරටත් මේ පීඩනය දැරිය යුතු නැහැ*

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

අපේ රටට කඳුකර දමිළ ජනතාව ඇවිත් අවුරුදු 200ක් පිරෙනවා. ඉන්දියාවේ සිට ලංකාවට ඔවුන් ගෙන ඒම 1820දී ආරම්භ වුණා. වැඩකරන ප්‍රජාවක් ලෙස මුල්වරට ගෙන එනු ලැබුවේ ආවේ 1823දීයි. මේ වෙනකොට ගෙවුණු වසර 200 තුළ ලංකාවේ පුරවැසියන් හැටියට කඳුකර දමිළ ප්‍රජාව වැඩිම පීඩාවකට ලක්වී සිටිනවා. මෙම ප්‍රජාවගෙන් 67%ක් තවමත් ජීවත් වන්නේ පුංචි ලැයිම් කාමරවලයි. ඔවුන්ගේ දරු මුනුබුරන්ගේ තත්වයද ඒකයි. තමන්ගේ කියා ඉඩමක්, දරුවන්ට නිසි අධ්‍යාපනයක් නැතිවා වගේම ලංකාවේ වැඩිම සෞඛ්‍ය ප්‍රශ්නවලින් බැටකන ජනතාවක් ලෙස අදටත් ඔවුන් සිටිනවා. මේ වන විට ලංකාවේ විවිධ ප්‍රදේශවලට විසිරී සිටියත් දරිද්‍රතාවයෙන් වැඩිම පීඩා විඳින්නේ මේ ජනතාවයි.

පාලකයන් විවිධ අවස්ථාවලදී මේ ජනතාවගේ ඡන්ද අයිතියත් පුරවැසි අයිතියත් උදුරා ගත්තා. 1948දී ඡන්ද අයිතිය උදුරා ගැනීමත් සමග අවුරුදු 35ක් පුරා ඡන්ද අයිතියක් නැතිව ඔවුන් මේ රටේ හිටියා. ඔවුන් ශ්‍රී ලාංකික පුරවැසියන් හැටියට මේ ආණ්ඩු සලකන්නේ නැහැ. රටක් නැති, ඉඩමක් නැති, ගෙයක් දොරක් නැති, නිසි අධ්‍යාපනයක් නැති, නිසි සෞඛ්‍ය පහසුකමක් නැති පිටස්තරයන් හැටියටයි ඔවුන් තවමත් ජීවත් වන්නේ. නමුත් කඳුකර දමිළ ජනතාව කියන්නෙත් ශ්‍රී ලාංකික පුරවැසියන්. ශ්‍රී ලාංකිකයන් හැටියට ලැබිය යුතු මූලික අයිතිවාසිකම් සියල්ල ඔවුන්ටත් ලැබිය යුතුයි. නමුත් මේ වන විට වසර 200ක් ගතවී තිබුණත් ඒ මූලික පිළිගැනීමවත් ඔවුන්ට ලබාදී නැහැ. ජාතික ජන බලවේගය මේ ජන ප්‍රජාව ශ්‍රී ලාංකික පුරවැසියන් විදිහටම සලකනවා. එපමණක් නොවෙයි, “මව්බිමට ජවයක්, ගෞරවණීය පුරවැසියෙක්” බිහිකිරීමේ අරමුණෙන් ජාතික ජන බලවේගය මේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙනවා. ඔවුන් සම්බන්ධයෙන් වසර 200ක් සැමරීම නොවෙයි අපේ අරමුණ. ජාතික ජන බලවේගයේ අපි ප්‍රතිපත්තියක් විදිහට, වැඩපිළිවෙළක් විදිහට, කඳුකර දමිළ ජනතාව ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙසම සලකලා අනෙකුත් ලාංකික පුරවැසියන් වෙත ලැබෙන සියලු අයිතිවාසිකම් මේ අයටත් හිමිකර දීමේ සටන අපි ඉදිරියට ගෙන යනවා.
ඒ අර්ථයෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවල සිටින කඳුකර දමිළ ජනතාව දැනුවත් කරමින් ඔවුන්ව සංවිධානය කරමින් ඉන්න අතර, ඔක්තෝබර් 01 සිට 15 දක්වා කාලය තුළ “මලෛයිගම් 200” යනුවෙන් ඒ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂයෙන් ක්‍රියාකරන කාලයක් ලෙස නම්කර, වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ වගේම ඔක්තෝබර් 15දා හැටන් නගරයේදී ඓතිහාසික හැටන් ප්‍රකාශය එළිදක්වන්න සූදානම් කරගෙන යනවා. ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා ඇතුළු විවිධ නායකත්වයන්ගෙන් යුක්තව කඳුකර දමිළ ජනතාවගේ සහභාගිත්වයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමේ සටන ශක්තිමත් කර, තවදුරටත් ඉදිරියට ගෙනයනවා. මෙම ජනතාව තවදුරටත් මේ පීඩනය නොදැරිය යුතුයි කියන අධිෂ්ඨානයෙන් මේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් තවදුරටත් කැපවෙන අතර, අනෙක් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මැදිහත් වීමත් අපි බලාපොරොත්තු වෙනවා. මේ සටනට මැදිහත් වී ජයග්‍රහණය දක්වා අත්වැල් බැඳගෙන යන්න සියලු දෙනාගේ මැදිහත්වීම අපි අපේක්ෂා කරනවා. වසර 200ක් පිරෙන කඳුකර ජනතාවගේ අයිතිවාසිකම් දිනාගන්න හැමදෙනාටම එක්වෙන ලෙස ආරාධනා කරනවා.
*මලෛයිගම් 200, කඳුකරයේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීමක්*
ආචාර්ය පෙරුමාල් සිවප්‍රකාශම්
කඳුකර ජනතාව ශ්‍රී ලංකාවට ඇවිත් වසර 200ක් ගතවෙනවා. මේ වසර 200 තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඔවුන් විශාල දායකත්වයක් දුන්නා. නමුත් ඔවුන් අද ඉතාමත්ම දිළිඳු තත්වයක තමයි ජීවත් වෙන්නේ. ඔවුන්ගෙන් 58%ක්ම ලයිම් කාමරවල තමයි ජීවත් වෙන්නේ. ඒ විතරක් නොවෙයි ඔවුන්ගේ දෛනික ආදායම රුපියල් 1000යි. රටේ අනෙකුත් කම්කරුවන් සමග සංසන්දනය කර බලන විට ඉතාමත් ආදායම් අඩු මට්ටමක තමයි ඔවුන් ඉන්නේ. ඒ වගේම අධ්‍යාපන තත්වයත් ඉතාමත්ම පහළ මට්ටමක තමයි සිටින්නේ. විශේෂයෙන්ම ඔවුන්ගේ පෝෂණ තත්වයෙනුත් මන්දපෝෂණ තත්වයෙනුත් පෙළෙනවා. ඒ වගේම ඔවුන් ශ්‍රී ලංකාවේ මර්දනයට ලක්වුණු ජනතාවක්.
මෙවන් පසුබිමක් තුළ ජාතික ජන බලවේගය ඒ ජනතාවගේ ප්‍රශ්නවලට මඟ පෙන්වීමක් හැටියට යම් විසඳුමක් ලබාදීමට උත්සාහ දරනවා. එම උත්සාහයේ එක් පියවරක් ලෙස තමයි 2023 ඔක්තෝබර් මාසයේ 01 දා සිට 15 දා දක්වා කඳුකරයේ ජනතාවගේ මිනිස් අයිතිවාසිකම් සහ ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීමටත් ඔවුන්ව ඒකරාශීකර බලමුළු ගැන්වීමටත් බලාපොරොත්තු වෙනවා. මලෛයගම් 200 ප්‍රකාශය තුළින් කඳුකර ජනතාවගේ විවිධ ප්‍රශ්න සහ ඔවුන්ගේ අනාගතය පිළිබඳවත් ජාතික ජන බලවේගයේ ස්ථාවරත්වය පිළිබඳවත් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ජාතික ජන බලවේගය, වතුකර ජනතාගේ සියලුම අයිතිවාසිකම් ලබාදෙනවා
සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිට්නන් සෙල්වරාජ්
වතුකර ජනතාව, කඳුකර තේ වගාවට අවශ්‍ය ශ්‍රමය ලබාගැනීම සඳහා ගෙන්වාගෙන වසර 200ක් සම්පූර්ණ වෙනවා. මෙය තේමාකොට ගෙන රජයත්, යම් යම් පිරිස් තැන් තැන්වල කතා කරනවා. ජාතික ජන බලවේගය මේ සඳහා පෙනී සිටින්නේ ‘මලෛයගම් 200’ සිහිකිරීම සඳහා පමණක් නොවෙන බව රජයටත් විද්වතුන්ටත් කියා සිටිනවා. මේ සමාජයේ ඉතිහාසය ඔවුන්ගේ ශ්‍රමයේ මූලිකත්වය දරන ප්‍රජාවක් වශයෙන් ජීවත් වෙන නිසා අපිට එය සැමරිය නොහැකියි. වතුකර ජනතාවගේ වසර 200ක ජීවිත පසුබිම ගැන ගඹුරින් සිතා බලා ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීමට බලාපොරොත්තු වෙනවා. ජාතික ජන බලවේගය, ප්‍රථම පියවරක් ලෙස වතුකර ජනතාව වෙනුවෙන් ඒ සියලුම අයිතිවාසිකම් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. මේ කර්මාන්තය පටන් ගත්තේ, 1867දි තම ලූල් කඳුකරයේ වතු යායේ. 2023 වසර වන විට වසර 200ක ඉතිහාසය කල් ඉකුත්වී යන තත්වයක තමයි තිබෙන්නේ.  වසර 200ක ඉතිහාසය තුළ මේ රට සුඛිත මුදිත කළේ වතුකරයේ ජනතාව. තේ කොළවල වයස අනුව අවුරුදු 156ක් වෙනවා. එවැනි තත්වයක් තුළ ඔවුන්ට ලබාදෙන දෛනික වැටුපක්. ලෝකයේ අවුරුදු 156ක් වන ක්ෂේත්‍රයක දෛනික වැටුපක් ලබාන එකම ජන කොට්ඨාසය වතුකරයේ කම්කරු ජනතාව. මේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. මේ අයට මාසික වැටුපක් ලබාදීමට වසර 75ක් මෙ රට පාලනය කළ ප්‍රතිගාමී පක්ෂවලටත්, ආණ්ඩුවලටත් නොහැකි වී තිබෙනවා. ඔවුන්ට මාසික වැටුපක් ලබාදීමට ජාතික ජන බලවේගයේ අපි අදිටන් කරගෙන සිටිනවා.
වසර 200ක් වන මේ ජනතාවට තවමත් ඉඩමක හිමිකමක් නැහැ. නිවාසයක අයිතියක් නැහැ. මොවුන්ට නිවාසයක් ලබාදීමට මෙතෙක් පාලනය කළ පාලකයන්ට නොහැකි වී තිබෙනවා. මොවුන්ව රවට්ටා තිබෙනවා. ඒ ජනතාව බැහැරකර තිබෙනවා. පාලකයන්ගේ පාලනය තහවුරු කරගැනීමට තමයි මොවුන්ව පාවිච්චි කර තිබෙන්නේ. වසර 200ක් ගතවී තිබෙන මේ වන විටත් ඔප්පුවක් සමගින් බිම් අඟලක්වත් ලබාදීමට පාලකයන් අපොහොසත් වී තිබෙනවා, වගේම එය ලබාගැනීමට වතුකරයේ ජනතාවත් අපොහොසත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය මෙම අයිතීන් මේ ජනතාවට ලබාදීමට අදිටන් කරගෙන සිටිනවා. මේ වතු කම්කරුවන්ගෙන් 58%ක් ලයින් කාමරවල තමයි ජීවත් වුණේ. මේ ලයින් කාමර පවුලකට ජීවත්වීමට කිසිසේත් සුදුසු තත්වයේ ඒවා නොවෙයි. එක්සත් ජාතීන්ගේ සංගමය 1950 වසරේ මේ ‘ලයින් ජනාවාසය’ කියන සංකල්පය ඉවත් කළ යුතුයි කියා කතා කළා.  එවන් තත්වයක් තුළ තමයි මේ වතුකරයේ පූජාව සහ කම්කරු ජනතාව ජීවත් වෙන්නේ. මෙය මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.  ඒ ප්‍රජාවට හොඳ නිවාසයක් ලබාදීමට වසර 75ක් පාලනය කළ පාලකයන් අසමත් වී තිබෙනවා. කම්කරුවන්ව රවටා තිබෙනවා. ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට සටන් බිමක් බවට පත්කිරීමේ අත්තිවාරමක් හැටියට සනිටුහන් විය යුතුයි.
*වතුකර කාන්තාවන්ට හොඳ ජීවිතයක් ලබාගැනීමට සටන් කරනවා*
සමස්ත ලංකා වතුකම්කරු සම්මේනයේ ලේකම් ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි
1823 දිට වතුකරයේ ජනතාව මෙහි වැඩ ආරම්භ කළත්, ඊටත් පෙර ඉතාමත් අඩු වයසේ සෙල්ලම් කරමින් සිටි දැරියන්ව තමයි ලංකාවට ගෙනාවේ. මේ දැරියන් මෙහි පැමිණ කියා ගන්න නොහැකි තරමේ දුක්කම්කටොලුවලට මුහුණ දුන්නා. කල් ඉකුත් වන වතුකර ජන ජීවිත, මෙ රටට විදේශ විනිමය වැඩිපුරම උපයා දුන්නේ වතුකර කාන්තාවන්. වතුකරයේ පමණක් නොවෙයි, ඇඟලුම් කර්මාන්තය, ගෘහාශ්‍රිතව කටයුතු කිරීමේදී වැඩිවශයෙන්ම වැඩ කරන්නේ කාන්තාවන්. වසර 200ක් සැපිරීම සමරන්නට සංසිද්ධියක් නොවෙයි. මේව ගැන හිතලා අපි දුක්වෙන්නට, කනගාටු වෙන්නට ඕනෙ. එදා සිට අද දක්වා සුද්දන්ගේ කාලසීමාවේ සිට මේ දක්වා පාලනය කළ කාලය තුළත් වතු හිමියන්ගෙන් දූෂණයට ලක්වූ අවස්ථා තිබෙනවා. මෙයට විරෝධතාව දැක්වීමට සියදිවි හානිකර ගැනීමේ තත්වයන්ට පවා ඔවුන් පත්වුණා. මම කොළඹට එන බස් රථයේ වැඩිපුරම සිටියේ හැටන් නගරයේ සිට කොළඹට පැමිණෙන වතුකරයේ ජනතාවගේ දරුවන් ලෙස ඇඟලුම් කර්මාන්ත ශාලාවල වැඩ කරන කාන්තාවන්, ගෘහ සේවයට පැමිණෙන කාන්තාවන්. අවුරුදු 200ක් ගෙවුණට අපට කිසිම අයිතිවාසිකමක් ලැබුණේ නැහැ.
අපි සටන් කිරීමේ සන්ධිස්ථානයකට පැමිණ සිටිනවා. ඒ නිසා අපි වතුකරයේ සිටින සියලුම ජනතාව සමග ඒකරාශී වෙලා වතුකර කාන්තාවන්ට නිසි විමුක්තියක්, හොඳ ජීවිතයක් ලබාගැනීමට සටන් කරනවා. එයට නිසි වැඩපිළවෙළක් ජාතික ජන බලවේගයට තිබෙනවා. වැඩකරන ජනතාව වෙනුවෙන්, කාන්තාවන් වෙනුවෙන්, තරුණ තරුණියන් වෙනුවෙන්, ළමුන් වෙනුවෙන් ඉදිරිපත් කරන වැඩ පිළිවෙළ තමයි හැටන් ප්‍රකාශය කියන්නේ. මම වතුකර කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා, අපේ අයිතිවාසිකම් දිනා ගැනීමට සටන් කළ යුතුයි. ඒ නිසි මග පෙන්වන හැටන් ප්‍රකාශය එළි දක්වනවා. එදිනට සහභාගි වී අපේ සටන් දිනාගැනීමට අත්වැල් බැඳ ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *