පුහුණු ශ්‍රමිකයින්ගේ ක්‍රමික වර්ධනය පිටුපස සැගවුණු නුපුහුණු ශ්‍රමික අර්බුදය – මිතුන් ජයවර්ධන

“ගිය අවුරුද්දේ තිබුණු ප්‍රශ්න එක්කලා තමයි අපේ පුතා රට යන්න ලෑස්ති වුණේ. එයා වැඩ කරපු කඩේ වැහුවා බිස්නස් නැහැ කියල. ඒ දවස්වලනේ හුගාක් දෙනෙක් රට යන්න ලෑස්තිවෙලා හිටියේ. පුතා වැඩ ක‌ෙළේ සයිවර් ක‌ඩේක. දැන් කටාර් වල එයා ලිපිකරු වගේ රස්සාවක් කරන්නේ. මේ ළග තියෙන එජන්සියක් හරහා තමයි යන්න ලෑස්ති වුණේ. අන්තිමේ එයාට සල්ලි ටිකක් හොයා ගන්න බැරි වුණ නිසා කුරුණැගල පැත්තේ යාලුවෙක් රට ගිය තැනකින් සහතික ටික හදාගෙන තමයි දරුවා ගියේ. කොල්ලටට මුල් ටිකේ රස්සාව හම්බෙලා තිබුණේ නැහැ. විසිට්නේ ගියේ. කොහොම හරි දෙයියෝ බලලා වගේ මේ තැන හම්බෙලා තිබුණා. දැන් කරදරයක් නැතුව ඉන්නවා. මේ රට හොදට තිබුණා නම් කාත් කවුරුවත් නැති රටවල් වලට දරුවෝ යවන්න වෙන්නේ නැහැනේ මහත්තයෝ. ”
‘දෙවියෝ බැලුවා’ යැයි කීවද පනස් විය ආසන්නයේ සිටින යු.ඩී. සංජිවනී සිල්වාගේ දෑස් තුළ තවමත් ඇත්තේ දරුවාගේ අනාගතය පිළිබඳව අවිනිශ්චිත බවකි. ඇය මෙන්ම රටේ තවත් බොහෝ මව්වරු සහ පියවරු එතෙර ගිය තමන්ගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂා වෙනතුරු දෑස් අයාගෙන බලා සිටින්නේ සිත්තුළ පොරබදන මේ අවිනිශ්චිතතාවය නිසා බව නොරහසකි.
පසුගිය වසර (2022) තුළ දී විදේශි රැකියා සඳහා 311,056 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර එය සංඛ්‍යාත්මකව ගෙන විමසා බලද්දි 2021 වසරේ දී විදෙස්ගත වු පිරිසට සාපේක්ෂව සියයට 154.4ක වැඩිවීමකි. මෙතරම් විශාල ප්‍රතිශතයකින් විදෙස් ගතවීමේ ප්‍රවණතාවයක් මතුව වුයේ රට තුළ ඇති වු ආර්ථික අර්බුද තත්ත්වය බව සංජීවනීගේ අදහස් වලින් පැහැදිලි වෙයි. රට තුළ ඇති වූ ආර්ථික හා දේශපාලනික තත්ත්වයන් හේතුවෙන් විශාල පිරිසක් මෙලෙස විදෙස් ගතවූ අතර තවදුරටත් ඒ පෝලිම දීර්ඝ වෙමින් පවතී. වසරක් තුළ දී විදේශ රැකියා සදහා පිටත්ව ගිය පිරිසෙන් සියයට 60.1ක් පිරිමි පාර්ශවය වන අතර සියයට 39.9ක් කාන්තා පාර්ශවයට අයත්ය.
මෙම විදේශ ගතවීමේ ප්‍රවණතාවය සමග 2022 වර්ෂයේ දී රැකියා බලාපොරොත්තුවෙන් මැද පෙරදිග රටවල්වලට වැඩි වශයෙන් විදේශගත වීම් වාර්තා වු අතර එය රැකියා සඳහා සමස්ත විදේශගත වීම් වලින් සියයට 84.7කි. මෙරටින් විදෙස් ගත වු ශ්‍රමිකයින් සංඛ්‍යාව පසුගිය වසර වන විට 311,056ක් යැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පෙන්වා දී තිබේ. එම සංඛ්‍යා දත්ත දෙස අවධානයෙන් බලන විට පෙනෙන්නට ඇති කරුණක් වන්නේ විදේශිය රැකියා අවස්ථා ලබා ගත් සමස්ත සංඛ්‍යාවෙන් 92,836 දෙනෙක් පුහුණු ශ්‍රමිකයින් ලෙස තම රැකියා අවස්ථාව ලබාගෙන ඇති ආකාරයයි. එය අනෙක් වර්ෂයන් වලට වඩා ඉතා ඉහළ ප්‍රතිශතයකි. 2013 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා ඇති සංඛ්‍යා දත්ත වලට අනුව පැහැදිලි වන කරුණක් වන්නේ 2022 වර්ෂයේ දී අනෙක් වර්ෂ වලට සාපේක්ෂව පුහුණු ශ්‍රමිකයින් වැඩි සංඛ්‍යාවක් විදේශ රැකියා අවස්ථා ලබා ගෙන ඇති බවයි. එසේම විදේශ සේවා නියුක්ති කාර්යංශය නිකුත් කර ඇති 2022 කාර්ය සාධන වාර්තා වල දක්වා ඇති දත්ත වලට අනුව ද එය පැහැදිලි වෙන කරුණකි.
සංඛ්‍යා දත්ත එවැනි කරුණක් වාර්තා කර තිබුණ ද විදෙස් ගත වී ඇති අති බහුතරයක් පවසන කරුණක් වන්නේ තමන් විදෙස්ගතව විවිධ අපාදුක් විඳින බවයි.
අනෙක් වර්ෂ වලට සපේක්ෂව වැඩි ප්‍රතිශතයක් පුහුණු ශ්‍රමිකයින් විදෙස් රැකියා සදහා පිටව ගොස් තිබුණ ද 2022 දී අනෙක් වර්ෂ වලට සාපේක්ෂව නුපුහුණු ශ්‍රමිකයින්ද වැඩි ප්‍රතිශතයක් විදෙස් ගතවී තිබේ. ඒ අනුව බලන විට 2022 වර්ෂයේ දී පුහුණු ශ්‍රමිකයින් ලෙස 92,836 දෙනෙක් විදෙස් ගත වී ඇති නමුත් තවත් 105,509 දෙනෙකු නුපුහුණු ශ්‍රමිකයින් ලෙස විදෙස් ගත වී තිබේ. එපමණක් නොව වර්ෂය තුළ විදේශීය රැකියා සංඛාවේ සමස්තය දෙස බැලීමේ දී ලියාපදිංචිය සහිතව 123,420ක් ද වෙනත් ක්‍රමවේදයන් හරහා 187,636ක් ද විදේශිය රැකියා සදහා පිටත්ව ගොස් ඇති බව පෙනේ. වර්ෂය පුරා සමස්තය ප්‍රතිශතයක් ලෙස ගත් කළ ලියාපදිංචියක් නොමැතිව වෙනත් ක්‍රමවේද හරහා විදේශ රැකියා සදහා පිටත් වී ඇති ප්‍රතිශතය සියයට 60.3ක් තරම් ඉහළ අගයක් ගෙන ඇති බව මහ බැංකුවේ 2022 වාර්ෂික මුල්‍ය වාර්තාව පෙන්වා දී ඇත.

පුහුණු නැතත් සහතික දෙන ඇත්තෝ

විදේශ සේවා නියුක්ති කාර්යංශය තුළ සෑම විදේශ රැකියා එජන්සියක්ම ලියාපදිංචි වී තිබිය යුතුය. එය තවදුරටත් පැහැදිලි කර දක්වන්නේ නම් මෙරට පුරවැසියෙක් විදේශ රැකියාවක් සදහා විදෙස් ගත වන්නේ නම් ඔහු විදෙස් ගත විය යුත්‌තේ නීත්‍යානුකූල පිළිගැනීමක් සහිත ආයතනයකින්ය. රටේ බහුතරය විදේස් රැකියා බලාපොරොත්තුවෙන් සිටීම හේතුවෙන් ඉල්ලුමට සැපයුම ලබා දෙන ආකාරයට සෑම වර්ෂයක් තුළම විදේශ රැකියා නියෝජිත ආයතන ලෙස ආරම්භ වීමේ සංඛ්‍යාවේ ක්‍රමික වර්ධනයක් දකින්නට තිබේ. විදේශ රැකියා නියුක්ති කාර්යංශය සදහන් කරන අකාරයට රට තුළ විදේශ රැකියා නියෝජිත ආයතන ආරම්භ කිරීමේ වර්ධනයක් තිබුණ ද ඒවා ලියාපදිංචි කිරිමක් දකින්නට නොමැත.
“මහත්තයා ලොකු ගාණක් දීලා හොද රටකට පැනගන්න අපිට විදිහක් නැහැනේ. අපි ළග මහ ලොකු සල්ලියක් නැහැනේ. හැබැයි එජන්සියක වැඩ කරන අයියා කෙනෙක් ජෝබ් එකක් සෙට් කරා. වැඩේට මම මගේ යාලුවෙකුත් එකතු කරගෙන යාලුවයි මමයි යන්න ඔක්කොම ලැස්ති කරලා තිබ්බේ. අර අයියා තමයි ටිකටි වීසා ඔක්කොම ලැස්ති කළේ. අපි ලක්ෂ 6 ගානේ දෙන්නම දුන්නා සහතික ටික හදාගන්න. අර වැඩේ සෙට් කරපු කෙනාට එක්කෙනෙක් 20,000ක් ගණනේ දුන්නාම ඇති කිව්වා. කොහොම හරි ජනවාරි අන්තිම වගේ තමයි සෙට් වුණේ. සතියක්වත් ගියේ නැහැ සහතික හදලා වැඩේ කරන්න. ෆෝන් එකෙන් තමයි ඔක්කොම කථා ක‌ෙළ්. කොහොම හරි පෙබරවාරි දෙවැනි සතියේ දවසක නුගේගොඩ තියෙන එයාල‌ෙග් ඔෆ්ස් එකකට එන්න කිව්වා. රට යන හැමෝටම පොඩි ට්‍රේනින් එකක් තියෙනවා. මේකෙන් පස්සේ අන්තිම ඉන්ටර්විව් එකත් තියෙනවා අනිවාර්යෙන්ම එන්න කියලා කිව්වා. එදාට අර වැඩේ ලැස්ති කරපු අයියාට දෙන්න ලෑස්ති කර ගත්ත රු.40,000ත් අරගෙන එන්න කියලා කිව්වා. අපි යනකොටස් සෙනග පිරිලා ඔෆිස් එක ඇතුලේ. අපි ඇත්තටම හිතුවේ වැඩේ හොදටම වෙයි කියලා.ඒත් අන්තිමේ අපිට තමයි හොදටම කළේ. සල්ලි භාර දීලා ගෙදර ආවා ආවාමයි තවමත් මුකුත් නැහැ. අඩු තරමේ අපෙන් ගත්ත පාස්පොට් එකවත් නැහැ මහත්තයෝ. උන් හොර එජන්සියක්. කොල්ලෝ කෙල්ලෝ රවට්ටලා සල්ලි ගසා කාලා. හොර සහතික හදාගෙන අපිත් හොර වැඩක් කරපු නිසා සමහරුන්ට පොලිසියකටවත් ගිහිල්ලා පැමිණිල්ලක් දාගන්න විදිහක් නැහැ. අන්තිමේ හොරට රට පනින්න හැදුව අපේ සල්ලි අරගෙන උන් රට පැනලා. අපි මෙහේ පොලි
පොලීකාරයොන්ට පොලිය ගෙව ගෙව ඉන්නවා.” එච්. ජී. ප්‍රදීපා කුමාරි (33) පැවසීය.
අප සමග කථා කළ ප්‍රදීපා පමණක් නොව අද රටේ බහුතරයකට සිදු ඇති ඉතා අවාසනාවන්ත සිදුවීම නම් මේ ව්‍යාජ විදේශ රැකියා ස්ථානයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියද මැදිහත් වෙමින් වැටලිම් ගණනාවක් සිදු කර තිබේ. වාර්ෂිකව විදේශ රැකියා නියෝජිතායන යැයි පවසමින් සිදු කරනු ලබන වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන ප්‍රතිශතයක් ලෙස ගත් කළ එය සියයට 40කටත් වඩා අඩු බව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සදහන් කළේය. අහිංසක මිනිසුන්ගේ මුදල් වංචනික අයුරින් කොල්ලකා ඇති මෙවැනි ආයතන සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී පවතින ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නිහාල් තල්දුව පැවසුවේ මෙවැනි අදහසකි.
“විදේශ රැකියා ලබා දෙන බව පවසමින් හා ව්‍යාජ ලිපි ලේඛන සකස් කර විදේශ ගත කිරිම් සිදු කිරීම සම්බන්ධයෙන් වැටලිම් සිදු කිරිමේ බලය පොලිසියට පමණක් නොව විදේශ රැකියා නියුක්ති කාර්යංශයටත් තියෙනවා. පොලිසිය මේ සම්බන්ධයෙන් මැදිහත් වන්නේ යම් කිසි පාර්ශවයක් පැමිණිලි කිරිමෙන් අනතුරුවයි. පොලිස් පැමිණිල්ලක් විමර්ශනය කිරිමේ දී මෙවැනි වංචනික ආයතන හා පුද්ගලයින් අසුවීමේ ප්‍රවණතාවයක් තිබුණ ද මෙවැනි වංචනික ක්‍රියාවන් වලට අසුවෙන ලද පිරිස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරිමෙන් ඔවුන් ද වරදට අසුවෙනු ඇතැයි සිතිමෙන් ඔවුහු පොලිසියට පැමිණිලි නොකිරිම හේතුවෙන් සැබෑ වැදිකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනිමට අසීරුයි. මෙවැනි අපරාධ වලට අසුවෙන පුද්ගලයින් මේ සම්බන්ධයෙන් නොබියව කථා කිරිමෙන් හා පොලිසියට පැමිණිලි කිරිමෙන් විමර්ශන කටයුතු සාර්ථක සිදු කිරිමට පුළුවන්.” යන්නයි.

 

 

 

නුපුහුණු ශ්‍රමික පැමිණිලි වැඩිවීමක්

 

විවිධ විදේශ රැකියා ආයතන හරහා නීති විරෝධී ආකාරයෙන් විදෙස් ගත වෙන බහුතරයක් නුපුහුණු ශ්‍රමිකයින් යන කාණ්ඩයට එකතු කළ හැකියි. මෙලෙස විදේශ ගතව තමන්ගේ සේවා ස්ථානවල සිදු වෙන විවිධ ගැටලු සම්බන්ධයෙන් නැවත පැමිණිලි ඉදිරිපත් කර තමන්ගේ රටට හෝ වෙනක් සුදුසු ස්ථානයක සේවයට යෑමට ඔවුන්ට අවස්ථාවක් ලබා දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කටයුතු කර ඇත. නිසි ක්‍රමවේදය හරහා විදේශ රැකියා සදහා පිටත් කර යැවීමට ඔවුන් දැඩි උත්සහයක් ගන්නා ආකරයෙන්ම නුපුහුණු ශ්‍රමිකයින් විවිධ රටවල දී ආරක්ෂා කර ගැනිමට හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමට ඔවුන් වැඩි දායකත්වයක් දරා තිබුණ ද 2022 වර්ෂයේ දී අනෙක් වර්ෂ වලට සාපේක්ෂව විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සංඛ්‍යාවේ සිඝ්‍ර වර්ධනයක් දැකගත හැකිය. 2022 වර්ෂය අවසන් වන විට කාන්තා පාර්ශවයෙන් පැමිණිලි 1,925 ක් හා පිරිමි පාර්ශවයෙන් පැමිණිලි 387ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත පැමිණි සංඛ්‍යාව 2,312ක් බව සංඛ්‍යා දත්ත වර්තා පෙන්වා දී ඇත. 2000 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කාලය තුළ ලැබුණු සමස්ත පැමිණිලි සංඛ්‍යාව 4,500ක් වන අතර එයින් පිරිමි පුද්ගලයින් 831 ක් හා කාන්තාවන් 3,669ක් පැමිණිලි කර තිබේ. වසර 20ක කාල සීමාව තුළ ලැබුණු සමස්ත පැමිණිලි සංඛ්‍යාවෙන් පුහුණු ශ්‍රමිකයින්ගෙන් ලැබුණු පැමිණි සංඛ්‍යාව වන්නේ 497කි. එම වසර 20 තුළ නුපුහුණු ශ්‍රමිකයින්ගෙන් ලැබුණු පැමිණි සංඛ්‍යාව 1,124කි. ඒ අනුව පසුගිය වසර 20තුළ විදෙස් ගතව ඇති සමස්ත පිරිසෙන් පැමිණිලි වැඩි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ නුපුහුණු ශ්‍රමිකයින්ගෙන් වීම විශේෂත්වයයි.
“සෑම වර්ෂයකම අපි එකුතු කරන සංඛ්‍යා දත්ත වලින් අපි දකින්නේ බොහෝ දුරට නුපුහුණු හා අඩු කුසලතාවයක් සහිත ශ්‍රමිකයන්ගෙන් තමයි පැමිණිලි බොහොමයක් අපිට ලැබිලා තියෙන්නේ. එහෙම වෙන්න හේතුව තමයි ඔවුන්ට තම රැකියාව තුළ සිදුවෙන විවිධ ගැටලු. ලැබෙන උපදෙස් තෙරුම් ගන්න නම් භාෂාව හැසිරවීමට හැකියාවක් තිබිය යුතුයි. ඉතින් පුහුණුවක් නැතුව විදේශ ගත වෙලා තිබු‌ණොත් මතුවෙන ගැටලුව තමයි ඔවුන්ට ලැබෙන උපදෙස් පැහැදිලි නැහැ වගේම ඒවා තෙරුම් ගන්නත් අමාරුයි. මෙන්න මේ වගේ විවිධ ගැටලුව වලට මුහුණ දීලා ඔවුන් සේවා ස්ථානය සමග ආරවුල් ඇති කරගන්නවා. ඒ අනුව ලැබුණු පැමිණිලි වගේම තමයි හුගාක් අය මේ වගේ තත්ත්වයක් ආවාම තමන් සේවය කරන ස්ථානයෙන් හොරෙන්ම වෙනත් කොහේ හරි යනවා.” යැයි විදේශසේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මාධ්‍ය ප්‍රකාශක) පී.ජී.ගාමිණි සෙනරත් යාපා පැවසීය.

ශ්‍රමිකයෙක් වෙන්න පුහුණුවක් ඇයි

රටකට පුහුණු ශ්‍රමය මේ තරම් වැදගත් ඇයි කියලා හුගාක් අය අහන දෙයක්. ඇත්තටම විදෙස් ගත වෙන්න නම් පුහුණුවක් ගන්න අවශ්‍ය ද කියලා සමහරුන්ට ප්‍රශ්න කරන්න පුළුවන්. හැබැයි නිසි පුහුණුවක් නොමැතිව විදෙස් ගත වෙන හුගාක් අය මුලින් කථා කරපු විදිහට විවිධ ප්‍රශ්න වලට මුහුණ දීලා පැමිණිලි සංඛ්‍යාව නම් වැඩි කරනවා.
“මම අවුරුදු 15ක් විතර ලංකාවෙන් පිට තමයි රස්සාව කළේ. මෙහෙට වඩා මට හුගාක් හුරු පුරුදු ඒ පරිසරය වගේම මිනිස්සු. දැන් මට එහෙ හුගාක් පුරුදු වුණාට මම පළවෙනියට ලංකාවෙන් පැන්නේ හොරාට. එහෙ ගියාට පස්සේ තමයි මට තේරුණේ රට යනවා කියන්නේ මොකක් ද කියලා. ඇත්තටම මට කිසි දෙයක් තෙරුණේ නැහැ ඒ රටේ තිබුණු. සිංහලට අමතරව දෙමළ ටිකක් කථා කරගන්න පුළුවන් නිසා මම වැඩට ගිය ගෙදර හිටපු අනිත් දෙමළ ගැණු කෙනා එක්ක බොහොම අමාරුවෙන් කථා කර ගත්තා. මම පළවෙනියාට ගියේ ගෙවල් දොරවල් අස් කරන්න. ගෙදර අය කියන කිසි දෙයක් මට මුල් කාලේ තේරුනේම නැහැ. ඉතින් ප්‍රශ්න ගොඩක් එන්න එන්නම වැඩි වුණා. ඉතින් අන්තිමට මට වුණේ එතනින් කොහොම හරි ‌බේරිලා එන්න. ඇත්තටම මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මාව යවනකොටම කියපු දෙයක් තමයි භාෂාව ගැන බය වෙන්න එපා. ගෙදර මිනිස්සු හොද මිනිස්සු ටිකක්. ඔයාට පුරුදු වෙන්න පුළුවන් වගේ කථා. හැබැයි ඇත්තටම එහෙම නැහැ කියලා ගියාම හොදට තෙරෙනවා. මම අවුරුදු 4කට මුල් වතාවේ ගියාට මම එහෙ අමාරුවෙන් හිටියේ මාස 08ක් වගේ. මගේ ප්‍රශ්නේ ගැන කථා කරලා කොහොම හරි මම ආවා. ඒ අවට පස්සේ තමයි මම කුරුණැගල විදේශ සේවා පුහුණු පාඨමාලාවට සම්බන්ධ වෙලා ආයේ රට ගියේ. ඒ ගිහිල්ලත් මුල් කාලේ භාෂාව නම් තෙරුම් ගන්න අමාරු වුණා. දැන් මට පුළුවන් සිංහලට අමතරව තවත් භාෂා 04ක් විතර කථා කරන්න. දෙමළ, ආරාබි, හිංදි, ඉංග්‍රිසී මට තෙරෙනවා කථා කරන්න වගේම තරමක් ලියලා තියෙන දෙයක් කියව ගන්නත්. හැබැයි හිංදි අකුරු නම් කියවන්න බැහැ. ” යැයි නිසි පුහුණුවක් නොමැතිව විදෙස් ගත වු මතකය ආවර්ජනය කරමින් කේ. නීටා ප්‍රනාන්දු කීවාය.
නීටා පමණක් නොව අද රටේ බහුතරයක් විදෙස් ගතව ඇත්තේ නිසි පුහුණුවක් නොමැතිව බව සංඛ්‍යා දත්ත පෙන්වා දී තිබේ. එවැනි තත්ත්වයක දී විදේශ සේවා නියුක්තිය කෙරෙහි රටක් වශයෙන් දැඩි විශ්වාසයක් තබා ඇති පසුබිමක පුහුණු ශ්‍රමිකයින් සම්බන්දයෙන් මීට වඩා අවධානයක් ලබා දිය යුතුය. ඇත්තටම රට රැකියාවකට යාමට පෙර නිසි පුහුණුවක් ගෙන පිළිගැනිමක් සහිතව විදේශ රටක සේවය කරන්නේ නම් ගැටලු බොහොමයක් සිදු නොවන බව බොහෝ දෙනා පිළිගන්නා කරුණකි. රටක් වශයෙන් අපට පුහුණු ශ්‍රමිකයින් වැදගත් වන්නේ ඇයි දැයි විදේශසේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මාධ්‍ය ප්‍රකාශක) පී.ජී.ගාමිණි සෙනරත් යාපා මෙසේ පැහැදිලි කළේය, “විදේශ රැකියාවක් කිරිමේ දි හොද වැටුපක් ලබා ගැනිමට හා කේවල් කිරිමේ පහසුකම් වැඩි අවස්ථාවක් තියෙන්නේ මේ පුහුණු ශ්‍රමිකයින් කියන සාධකය මතයි. පුහුණු ශ්‍රමිකයෙකු ඉහළ වැටුපක් ලබා ගන්නා පුද්ගලයෙකු බවට ඔහුට තියෙන පුහුණුවත් සමග අවස්ථාවක් ලැබෙනවා. මේ අය අපේ රටින් පිටවෙලා ගිහිල්ලා ප්‍රාග්ධනය පමණක් නෙමෙයි අරගෙන එන්නේ. එ අය නැවත තමන්ගේ රටට එන කොට හියුමන් කැපිටල් එකකුත් ගේනවා. රටකින් පුහුණු ශ්‍රමිකයෙකු යම් ක්ෂේත්‍රයකට ගියොත් ඒ ක්ෂේත්‍රයේම වැඩිදුර පුහුණුව අදාළ රටේ සිටිමින්ම ලබා ගන්න පුළුවන්. එහෙම තමන්ගේ කුසලතාවය දියුණු කරගෙන තමන්ගේ මව් රටට ඇවිල්ලා රටේ ආර්ථිකයට සහයෝගය දිය හැකි තත්වයක් නිර්මාණය වෙනවා. අඩු පුහුණු ශ්‍රමිකයෙක් ඒ අකාරයෙන්ම විදේස්ගත වුවහොත් අදාළ පුද්ගලයාට ඔහුගේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉහළ කුසලතාවයක් ලබා ගැනිමේ හැකියාව අඩු වෙනවා විතරක් නෙමෙයි ලැබෙන වැටුපත් අඩු වෙනවා. ඒ පමණක් නෙමෙයි තමන් වැඩ කරන ස්ථානයේ තියෙන ප්‍රශ්න ගැටලුවලටත් මුහුණ දෙන ප්‍රතිශතය පුහුණු ශ්‍රමිකයෙකුට වඩා වැඩි අගයක් ගන්නවා. මේ හැම දෙයක් විදෙස්ගතවන පුද්ගලයාට ඔහුගේ ජිවිත තත්ත්වය ගොඩනගා ගැනීම සම්බන්ධයෙන් තිබෙන කරුණුයි.”
තවදුරටත් අදහස් දක්වමින්, “අපි රටක් වශයෙන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන අවස්ථවේ අපි පුහුණු ශ්‍රමිකයෙක් රට යවන්න මැදිහත් වීමක් දක්වන්න මුලිකම හේතුව තමයි ඉහත කියපු විදිහටම ඔවුන්ගේ ජිවන මට්ටම ඉහළ දැමීමට. මේ කරුණු අතර තියෙන තවත් වැදගත් කාරණාව තමයි. මේ විදිහට පුහුණු ශ්‍රමිකයින් අපිට රැකියා වෙළෙදපොළට ලබා දීමට වැඩි අවස්ථාවක් තිබුනොත් මේ අයගෙන් අපිට එන ප්‍රශ්න බොහොමයක් අඩු මට්ටමක පවතිනවා. ඒ කියන්නේ විවිධ සිද්ධි සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි වල අඩුවීමක් සිදුවෙනවා. ඒ විතරක් නෙමෙයි රටට තියෙන කිර්ති නාමයත් වැඩි වෙනවා. මොකද අනිත් රටවල් බලනවා මේ රටින් එවන පිරිස පුහුණුව ලත් පිරිසක් රාජකාරිය නිසියාකාරව සිදුකරනවා කියලා විශ්වාසයක් එනවා. ඉතින් මෙන්න මේ කරුණු නිසා තමයි අපි පුහුණු ශ්‍රමිකයන් පුහුණු කිරිමේ වැඩ ආරම්භ කරලා තියෙන්නේ.” යැයි ඔහු පැවසුවේය.
මේ වන විට විදේශ රැකියාවක් සදහා පිටත් යෑමට පෙර ලංකාව තුළ පුහුණුව ලබා දිමට පුහුණු මධ්‍යස්ථාන 18ක් ක්‍රියාත්මකව පවතියි. එවැනි ආයතන 18ක් 2022 වර්ෂය තුළ ක්‍රියාත්මක වු බව සංඛ්‍යා දත්ත පෙන්වා දී තිබේ. රටක් වශයෙන් අපට පුහුණු ශ්‍රමිකයින් ඉතා වැදගත් තිබෙන පසුබිමක ශ්‍රමිකයින් පුහුණු කිරිම සදහා පහසුකම් සලසා ඇත්තේ පුහුණු මධ්‍යස්ථාන 18ක වීම ඛේදවාචකයකි. රජයේ ආයතන 18ට අමතරව පෞද්ගලික නියෝජිතයන් දෙදෙනෙක් මෙම පුහුණු විම් ලබා දෙන බව ද 2022 මහ බැංකු වාර්තා පෙන්වා දී තිබේ. ගැටලුව ඇත්තේ එතැන නොව ගැටලුව ඇත්තේ 2014 – 2015 සමයේ ලංකාව තුළ ශ්‍රමිකයින් පුහුණු කිරිම සදහා ආරම්භ කර තිබු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සතු පුහුණු කිරිමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 13 වු අතර පෞද්ගලික නියෝජිතයන් සංඛ්‍යාව 13 විය. එසේ නම් ලංකාව පුහුණු ශ්‍රමිකයින් තවදුරටත් ජාත්‍යන්තර වෙළෙද පොළට නිකුත් කරන්නේ නම් මෙවැනි පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාත්මක වශයෙන් හා ප්‍රමිතියෙන් වැඩි කළ යුතුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed