අතුරුදහන්වූවන් වෙනුවෙන් ඇති කාර්යාලය ද අතුරුදහන් නොකරන ලෙසට ඥාතීහු ඉල්ලා සිටිති — මෙලනි මානෙල් පෙරේරා

අගෝස්තු 30 වෙනිදාට යෙදී තිබුණු ‘බලහත්කාර අතුරුදහන්වීම්වලට ගොදුරු වූවන්ගේ ජාත්‍යන්තර දිනය’ සමරමින් ශ්‍රී ලංකාවේ අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව විසින් අගෝස්තු 31 වෙනිදා කොළඹදී වැඩසටහන් කිහිපයක් පැවැත්වීය. “අමතක කරදමා ඇති අතුරුදහන්කළ මිනිසුන්ට සිදුවුයේ කුමක් ද?” ,  “අතුරුදහන්වූවන් වෙනුවෙන් ඇති කාර්යාලය අතුරුදහන් නොකරන්න” යනුවෙන් අතුරුදහන්වුවන්ගේ පවුල්වල ඥාතීන් ඉල්ලා  සිටියහ. 

මෙදින දහවල් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට දී නිහඩ විරෝධතා දෙකක් පැවැත්වූ අතර සිය ඉල්ලීම් රැගත් පෙත්සම් දෙකක් එම අමාත්‍යංශ වෙත භාරදෙනු ලැබිණි. සවස්වරුවේ දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  ජන හමුවක් පැවැත්විණි.

වසර ගණනාවක් තුළ අතුරුදහන්කර ඇති පුද්ගලයින්ගේ ඥාතින් විසින් ගනු ලැබු උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසට අතුරුදහන්වූවන් පිළිබඳව කාර්යාලයක් ලබාගැනීමට ඔවුන් සමත් වූ ව ද එම කාර්යාලයෙන් අපේක්‍ෂිත ප්‍රතිඵලයක් සිදුනොවුණු බව අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සාමාජීකයින්ගේ ස්ථීර අදහසයි.

“කටඋත්තරයක් ගන්න කියලා හමුදාවෙන් රැ මගේ ගෙදරටම ඇවිත්  තමයි මගේ පුතාව අරගෙන ගියේ. ඒ 1989දී. ඒත් අපි තාමත් දන්නේ නැහැ පුතාව අරගෙන ගිය හේතුව මොකද්ද කියලා” සිය අනන්‍යතාවය ප්‍රකාශ කරන්නට අකමැති වූ සීතාවක සිට පැමිණි පියෙක් පැවසීය.

“අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයෙන් වන්දි මුදලක් දෙනවා කියලා දන්වා සිටියත් ඒ වන්දියවත් තාම අපිට ලැබුණේ නැහැ. මේ කාර්යාලයෙන් අපිට වැඩක් තියෙනවද ඉතිං” යනුවෙන් ඒ පියා ප්‍රකාශ කළේය.

අතුරුදහන් වු සිය සහෝදරයා වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටිමින් ගමිපහා දිස්ත්‍රික්කයේ රාගම, හීන්කෙන්ද ගමෙි සිට පැමිණ සිටී සොයුරිය අදහස් දක්වමින් කියා සිටියේ, “උපුල් නන්දන මගේ අය්යා, වසය 22යි, 1990 ජනවාරි මාසේ 16දා රාත්‍රි 11.16ට පිස්තෝලයක්, ටී 56 ආයුධයක් සමග පැමිණි හමුදා නිළධාරීන් හතරදෙනෙක් නිවස ඇතුලට ම ඇවිත් බලෙන් එක්ක ගියා. මල්ලී එවකට, ජර්මන් කාර්මික අභ්‍යාස විද්‍යාලයේ ඉංජිනේරු පාඨමාලාවක් කරමින් අවසාන මාස දෙකේ අධ්‍යන කටයුතුවල නිරතවෙමින් හිටියේ.” යනුවෙන් ඇය මෝජෝ පුවත් වෙත පැවසීය.

පසුවදා එවනවා කියලා අයියව පනාගොඩ හමුදා කඳවුරට ගෙනියනවා කිව්වා. ඒත් අවුරුදු 34ක් ගෙවිලා ගියා, තාම අයියා ගැන කිසිම තොරතුරක් නෑ. මගේ පියා එවකට ගමේ නිලධාරියා වූ නිසා , ඒ වගේම මගේ තාත්තා අයියා පැහැර ගැනීමට පැමිණි නිලධාරීන් හඳුනා ගත්ත නිසා,  පොලිසිය, රතුකුරුස ඇතුළු සියලුම ආයතනවලට ලිව්වා. ඒ වගේම එයා මගේ අයියව හොයන්න ලංකාවේ තියෙන හැම රැඳවුම් කඳවුරකටම ගියා. ඒත් ඵලක් වුණේ නැහැ.” ඇය පැවසුවේ කලකිරීමෙනි.

සිය සහෝදරයාව පැහැරගෙන යන විට ඇය උසස් පෙළ හදාරමින් සිටි බවත් , කිසිම හේතුවක් නොමැතිව, ඉතා හොඳ අනාගතයක් හිමිව සිටී සිය සොයුරාව පැහැරගෙන ගිය වෙිදනාවෙන් සිය  මව 1997 දීත්, පියා 2000 වසරේදිත් මිය ගිය බවත් ප්‍රකාශ කළ ඇය, “මට දැන් මගේ පවුලේ කිසිම කෙනෙක් නැහැ.” යනුවෙන් ඉතාම අපේක්‍ෂා භංගත්වයෙන් ප්‍රකාශ කළේය.

“කිසිම සාධාරණයක් ඉටුවුණෙත් නැහැ. මෙි අසාධාරණ පැහැර ගැනිම්වලට අපි සියලුම දෙනා අතුරුදහන්වුවන් පිළිබඳ කාර්යාලයෙන් සාධාරණයක් දැන්වත් බලාපොරොත්තු වෙනවා.” යැයි ඇය මෝජෝ පුවත් වෙත පැවසීය.

“සත්‍ය හෙළිදරව් කිරීමට සහ එහි ජනවරමට අනුව අතුරුදහන් වූවන් සෙවීමට විමර්ශනය කිරීමට නැවත නිර්දේශ කිරීම, උතුරු-නැගෙනහිර මව්වරුන් විසින් භාර දුන් නඩු පහ සහ FOD විසින් භාර දුන් නඩු හයක් ඇතුළුව ඇතැම් සංකේතාත්මක නඩුවලට ප්‍රමුඛත්වය දෙමින් පරීක්ෂණ කඩිනම් කිරීම, අවසන් යුද කාලසීමාවෙිදී හමුදාවට භාර වූ හා පසුව අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ලැයිස්තුවක් නිකුත් කිරීම සහ ඔවුන්ට සිදු වූයේ කුමක්ද යන්න හෙළිදරව් කිරීම, සියලුම පවුල් සඳහා පුළුල් වන්දි පැකේජයක් හඳුන්වා දී ක්‍රියාත්මක කිරීම සහ වන්දි කඩිනමින් ලබා දෙන බවට සහතික වීම, බලපෑම් කිරීමෙන් සහ ප්‍රතික්ෂේප කළ පවුලේ සාමාජිකයින්ට බල කිරීමෙන් වළකින්න, වන්දි ලබාගෙන ඔවුන්ගේ ආදරණීයයන් සිටින ස්ථානය සහ ඔවුන්ගේ ඉරණම කුමක්ද යන්න පිළිබඳ ඔවුන්ගේ ඉල්ලීමට සවන් දී විමර්ශන කොමිෂන් සභා සහ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවල හඳුනාගෙන ඇති අපරාධකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ඇතුළු අවශ්‍ය සහ ක්ෂණික ක්‍රියාමාර්ග ගත යුතුය,

2007 මැයි දිවයින පුරා සිදුවූ පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, සිවිල් වැසියන්ට පහරදීමේ ප්‍රතිඵලයක් ලෙස මරණයට පත්කිරීම් පිළිබඳ ඇඟවීම් සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබදව කඩිනම්  සුදුසු නීතීමය පියවර ගැනීම.” යනාදී වශයෙන්, 2018 වසරේ පිහිටුවූ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය වින්දිතයන් සම්බන්ධයෙන් වන වගකීම නිසි ලෙස ඉටු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රධාන ඉල්ලීම් 06ක් ඇතුළත් පෙත්සමක් වින්දිතයන්ගේ මව්වරුන් විසින් කොළඹ අධිකරණ අමාත්‍යාංශය වෙත භාරදෙනු ලැබිණි.

OMP හි හිටපු සභාපති නීතිඥ සාලිය පීරිස් BMICH හී පැවති අතුරුදහන්වුවන් ගේ සැමරීමේ නිල උත්සව සභාව ආමන්ත්‍රණය කරමින් ප්‍රමාද වූ යුක්තියට සහ අතුරුදහන්වුවන් පිළිබඳ කාර්යාලය ඵලදායී ලෙස ක්‍රියාත්මක කරවීමට සෘජුව මැදිහත් වන ලෙස සහභාගී වූ තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

“අතුරුදහන්වුවන්ගේ කාර්යාල පනත ගෙනාවේ 2016දී. 2017 දී සංශෝධනයක් සිදුකළා. 2018 මාර්තු මාසේදී තමයි අපිව මේ කොමිසම් සභාවට පත්කළේ. නමුත් අපට කාර්යාලයක් තිබුණේ නැහැ.  නිළධාරී මණ්ඩයලක් හිටියේ නැහැ. නමුත් හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ උදව් ඇතිව අපි තාවකාලික කාර්යාලයක් පිහිටුවා ගත්තා. නමුත් නිළධාරී මණ්ඩලය තෝරාගන්නට යෑමෙිදි අපිට තේරුනා අපි රජයේ නීති රීති වලින් බැඳිල ඉන්නවා කියලා. අපිට කැමති විධියට නිළධාරීන් බඳවා ගන්න බැහැ, ක්‍රියාපටිපාටියක් හදල මුදල් අමාත්‍යංශයෙන් අනුමැතිය ගන්න ඕනේ. විවිධ පුද්ගලයින් වෙතට යන්න වුණා. හිටපු මුදල් ඇමති මංගල සමරවීර සහ මනෝ ගණේෂන් ඇමතිතුමා පමණයි සම්පූර්ණ සහයෝගය අපට ලබාදුන්නේ. හිටපු ජනාධිපතිතුමා අපේ පත්වීම් සම්බන්ධයෙන් මේ කාර්යාලය සම්බන්ධයෙන් සෘජු වගකීමක් ගන්න සුදානමි නැති බවක් අපි දුටුවා.”  යනුවෙන් ආණ්ඩුවෙන් නිසි අවධානයක් ලබා නොදුන් අතුරුදහන්වුවන්ගේ කාර්යාලය සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව පැවති බාධාවන් සහ අපහසුතා පිළිබඳව සාලිය පීරිස් නීතිඥවරයා කරුණු පැහැදිළි කළේය.

මේ අතර, උතුරු නැගෙනහිර පදිංචි අතුරුදහන් වූවන්ගේ දෙමළ පවුල් විසින් ද මෙම දිනය සිහිපත් කරමින් අගෝස්තු 30 වනදා විරෝධතා ව්‍යාපාරයක් උතුරේ සහ නැගෙනහිර දී පවත්වන්නට යෙදුණි.  2017 පෙබරවාරි මාසයේ සිට උතුරු-නැගෙනහිර පුරා විරෝධතා පවත්වමින් ශ්‍රී ලංකා රජය විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද තම ආදරණීයයන් පිළිබඳ සත්‍ය සෙවීමට උත්සාහ කළහ. 2009 මැයි මාසයේදී සන්නද්ධ ගැටුම අවසානයේ බලහත්කාරයෙන් අතුරුදහන් වූ බොහෝ අය රජයේ ආරක්ෂක අංශ වෙත භාර දෙන ලදී. අද දක්වාම අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීමට සහ එම පවුල්වලට පිළිතුරු දීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇතැයි ඔවිහු දෝෂාරෝපන නගති.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) වැනි දේශීය යාන්ත්‍රණයන් දෝෂ සහිත බැවින් සහ අතුරුදන් වූවන් පිළිබඳ සම්පූර්ණයෙන් විමර්ශනය කිරීමට අපොහොසත් වීම නිසා,  උතුරේ පවුල් ජාත්‍යන්තර වගවීමේ යාන්ත්‍රණයක් ඉල්ලා සිටිති. අනුප්‍රාප්තික ආන්ඩු විසින් ද නොයෙකුත් ප්‍රකාශ ඉදිරිපත් කළද, බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ ඉරණම තවමත් නොදනී.

උතුුුරේ ඥාතීන්ට අනුව, එම පවුල් යුක්තිය පසිඳලීමේ ව්‍යාපාරය ආරම්භ කළ දා සිට දෙමළ දෙමාපියන් 180කට අධික පිරිසක් තම අතුරුදන්  ඥාතීන්ගේ ඉරණම නොදැන මිය ගොස් සිටිති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed