රටට නව පරිවර්තනයක් අවශ්‍ය බව රටේ සියලු දෙනා පිළිගනිමින් පවතිනවා ජාතික භික්ෂු පෙරමුණේ සභාපති, පූජ්‍ය හඳුගල රතනපාල ස්වාමීන් වහන්සේ – ජනනි කොඩිතුවක්කු

 

 

ශ්‍රී ලංකා ඉතිහාසයේ රට පරාධීනත්වයට පත්වූ අවස්ථාවන්වලදී මෙන්ම රටේ පාලකයන් රට විනාශය කරා ගෙන ගිය සෑම අවස්ථාවකදීම ඊට එරෙහිව අභීතව ජනතාව දැනුවත් කරමින්, ජනතාවට අවශ්‍ය නායකත්වය දුන්නේ අපේ ස්වාමීන් වහන්සේලා. මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කොට භික්ෂු ශාසනය ආරම්භ කළ දිනයේ පටන් මේ දක්වා භික්ෂූන් වහන්සේලා විසින් ඉටුකළ කාර්යයන් දෙකක් තිබුණා. ආගමික පොත පත, ශාස්ත්‍රීය පොත පත ලියමින් විහාරස්ථාන ඇතිකර සංස්කෘතික මධ්‍යන්ථාන ඇති කරමින් ජනතාව යහමග පෙන්වමින් ආගමික නායකත්වය ලබාදුන්නා. ඒ වගේම සමාජ කාර්යභාරයත් භික්ෂූන් වහන්සේ තම දෙඋරමතට ගෙන කටයුතු කළා. සමාජය යහමගට යොමු කරවීම සඳහා ආගමික වශයෙන් පෙරමුණ ගත්තා වගේම දේශපාලන වශයෙනුත් භික්ෂූන් වහන්සේ ඉතිහාසයේ මෙන්ම වර්තමානයේත් කටයුතු කොට තිබෙනවා.

මේ රටේ කවුරු පාලන බලයට පැමිණියත් භික්ෂුභාවය අභිබවා කටයුතු කිරීමට කිසිදු පාලකයෙකුට පුළුවන් වුණේ නැහැ. දේශීය පාලකයන් පමණක් නොවෙයි, අපේ රට යටත් කරගත් ඇතැම් විදේශීය ආක්‍රමණිකයන් පවා එය පිළිගෙන තිබුණා. 1815 ඉංග්‍රීසීන් අපේ රට මුළුමනින්ම යටත් කර ගැනීමට වසර දෙක තුනකට පෙර මේ රටේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා බි්‍රතාන්‍යයට යවන ලිපියක සඳහන් වෙනවා, මේ රට යටත් කර ගැනීමට තිබෙන ප්‍රධානම බාධාව මේ රටේ තිබෙන විහාරස්ථාන සහ එහි සිටින භික්ෂූන් වහන්සේලා බව. භික්ෂූන් වහන්සේලා ජනතාවත් සමග එකමුතු වී, ගිහි පැවිදි සම්බන්ධතාවයක් තිබෙන තාක් කල්, මේ රට යටත් කර ගැනීම පහසු කටයුත්තක් නොවෙයි කියන කාරණය දැන සිටියා. අධිරාජ්‍යයක් ගොඩනඟා ගත් පාලකයින් භික්ෂූන් වහන්සේලාගේ බලය තක්සේරු කළේ එහෙම. ඔවුන් කොතරම් ශක්තිසම්පන්න වුණත්, අවි ආයුධවලින් ශක්තිමත් වෙලා සිටියත්, භික්ෂූන් වහන්සේගේ බලය ඉදිරියේ ඒ සියලු බලය යටත් වුණා. භික්ෂූන් වහන්සේගේ බලය, ඒ සියලු බලය යටත් කරගෙන, අභිබවා ඉස්මතු වෙන කාරණය ඉතිහාසය පුරාවටම පේන්න තිබෙනවා. අපි අපේ බලය, අපේ ශක්තිය තේරුම් ගන්න ඕනෑ. සෑම ස්වාමීන් වහන්සේ නමක්ම පවතින්නේ විහාරස්ථානයක් කෙන්ද්‍ර කරගෙනයි. ඒ විහාරස්ථානයට සම්බන්ධ ගොදුරු ගමක් තිබෙනවා. අපට විහාරස්ථාන මූලික කරගත් ගොදුරු ගම් මූලික කරගත් වටිනා ශක්තියක් ගොඩනැගී තිබෙනවා. ගමට නායකත්වය සපයන්නේ පන්සලේ ස්වාමීන් වහන්සේ. පන්සලේ හාමුදුරුවන්ගේ අවවාද, අනුශාසනා ගමේ සියලු දෙනාම පිළිගන්නවා. එසේ පිළිගත හැකි චරිතයක් අපේ ස්වාමීන් වහන්සෙලාට තිබෙනවා. අපේ ශාස්තෘන් වහන්සේගේ නායකත්වය පදනම් වෙලා අපිට ඒ තත්වය උරුම වී තිබෙනවා. අබෞද්ධ ජනයා පවා ඒ නායකත්වය පිළිගන්න සූදානම්. ඒකට හේතුව තමයි අපේ ශාසනයේ තිබෙන විශේෂත්වය. බුදුන් වහන්සේ කිසිදු ආගම් භේදයක්, කුලයක් සැලකුවේ නැහැ. සියලුම දෙනා සාමානාත්මතාවයෙන් සැලකුවා. ඒ ආදර්ශය භික්ෂූන් වහන්සේලා වන අපි ළඟත් තිබෙනවා. භික්ෂූන් වහන්සේ එක ආගමකට, එක ජාතියකට, එක රටකට වෙන්වුණු කණ්ඩායමක් නොවෙයි. පොදු වස්තුවක්. උන්වහන්සේගේ මහා කරුණාව මිනිස්සුන්ට, සතුන්ට පමණක් නොවෙයි ගහ කොළවලට පරිසරයට පවා මහා කරුණාවක් ගොනුවෙලා තිබෙනවා. ඒවාට හානියක වෙන සෑම මොහොතකම කටයුතු කිරීමට ඉදිරිපත් වෙන්නේ ඒ නිසයි.

රට පරාධීනත්වයට පත්වූ සෑම අවස්ථාවකදීම අපේ ස්වාමීන් වහන්සේලා එයින් මිදීමට මඟ පෙන්වමින්, නායකත්වය දෙමින් කටයුතු කළා. අද මේ මොහොත වන විට, රට බරපතළම විනාශයක් කරා ගමන් කරමින් පවතිනවා. එය තේරුම් ගෙන එයින් රට බේරා ගැනීමට, නායකත්වය ගැනීමට අපේ ස්වාමීන් වහන්සේලා සූදානම් බවට වන පණිවිඩය දී තිබෙනවා.

අනුප්‍රාප්තික ජනාධිපති ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහට කියනවා තමන්ගේ බලය මොකක්ද කියන එක තේරුම් ගෙන කටයුතු කරන ලෙසට. මේ පාලකයන්ගෙන් රටට යහපතක් සිදුවෙන බවක් අපට පෙන්නේ නැහැ. රටට නව පරිවර්තනයක්, නව පාලනයක් අවශ්‍ය බව රටේ සියලු දෙනා පිළිගනිමින් පවතිනවා. එම පරිවර්තනීය වෙනසක් සඳහා නායකත්වය දෙන්න ජාතික ජන බලවේගය සූදානම්. ඒ වෙනස කිරීමට ඔබ වහන්සේලාගේ පෙරමුණ ගැනීම හා මඟ පෙන්වීම ඉතාමත් කාලෝචිත වනවා මෙන්ම ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා.

බුදුදහම රකින සමාජයක් වෙනුවෙන් පළමුවෙන්ම කුණු දේශපාලනයෙන් රට මුදා ගත යුතුයි
ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන අනුශාසක, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අධිකරණ නායක මහාචාර්ය පුජ්‍ය අත්තංගනේ රතනපාල ස්වාමීන් වහන්සේ

රටේ මහජනතාව අපේක්ෂා කරන වෙනස මේ රටේ ඇති කිරිම සඳහා භික්ෂූන් වහන්සේගේ කාර්යභාරය වටහාගෙන වැඩම කොට සිටින ඔබ වහන්සේලා ඉහගම රතනපාල, කුඩාපොල ස්වාමීන් වහන්සේලාගෙ පරපුරෙන් පැවත එන පිරිසක්. රට වැටී තිබෙන අගාධයෙන් බේරා ගැනීමට, මහජනතාව මේ විපතෙන් බේරා ගැනීමට තමන්වහන්සේගේ කාර්යභාරය ඉටුකිරීමට මැදිහත් වීමට අධිෂ්ඨන කර ගෙන තිබෙනවා. රට මුදා ගැනීමේ කාර්ය සඳහා භික්ෂූන් වහන්සේලා මේ තත්වය වෙනස් කිරීමට මැදිහත් වෙයි කියා දැඩි භීතියකින් පාලක පංතිය පෙළෙනවා. අද භික්ෂූන් වහන්සේලාට සමාජයේ දෝෂ දර්ශනයට ලක්වෙමින් තිබෙනවා. මෙවැනි තත්වයන් නිර්මාණය කරන්නේ පාලක පංතියේම අයමයි. මේ තත්වය වෙනස් කිරීමට අපගේ නිවැරදි භාවිතය සමාජයට ඔප්පු කර පෙන්වා දිය යුතුයි. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය භික්ෂුවකට ක්‍රියාත්මක කිරීමට බැරි මට්ටමකට මේ සමාජයේ තත්වය වෙනස් කර තිබෙනවා. “මුදල සහ ලිංගිකත්වය මිනිසාගේ ආගම බවට පත්වෙමින් තිබෙයි” කියා මීට වසර ගණනාවකට පෙර සමාජ විද්‍යාඥයන් සඳහන් කර තිබෙනවා. අද එය මොනතරම් දරුණු මට්ටමකට ක්‍රියාත්මක වෙනවාද කියා අපට පෙනෙනවා. මුදලට ගොදුරු වුණු, ලාභයට ගොදුරු වුණු භික්ෂුන් වහන්සේලා විසින් මේ සිදුකරන ක්‍රියාකාරිත්වය මේ භික්ෂු සමාජය දුර්වල කිරීමට හේතුවී තිබෙනවා. බුදුන් වහන්සේ “දාරුණෝ භික්ඛවේ ලාභ සත්කාර සිලෝකෝ” ලාභ සත්කාර හරිම දරුණුයි කියා දේශනා කර තිබෙනවා. ඒ කුණු වුණු දේශපාලනය සිවුරෙන් වහන්න දරන උත්සාහය නිසා භික්ෂූන් වහන්සේගේ චරිතයට බරපතළ හානි සිදුවී තිබෙනවා.

කුඩාපොල භික්ෂුන් වහන්සේලාගේ, මිගෙට්ටුවත්තේ භික්ෂූන් පරපුරේ, ඉහගම රතනපාල භික්ෂූන් පරපුරේ අය හැටියට මේ රට මේ ඛේදජනක තත්වයෙන් නිදහස් කිරීමට අදාළ කාර්යභාරය ඉටුකරන හැටියට අපි ආරාධනා කරනවා. ධර්මානුකූල සමාජයක් බිහි කිරීමට නම්, බුදුදහම රකින සමාජයක් බිහි කිරීමට නම් පළමුවෙන්ම මේ කුණු දේශපාලනයෙන් රට මුදා ගත යුතුයි. මීට අවුරුදු 150කට කලින් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි තනිවම පාරට බැහැලා, ජීවිත තර්ජන තිබෙන අවස්ථාවේ වෙස්වලාගෙන ගිහිල්ලා වාදවිවාදවලට ඉදිරිපත්වී තනිවම කළ සටන අපි අදත් අනුස්මරණය කරනවා. ඒ උන්වහන්සේ දෝෂාරෝපණය කළ නොහැකි ආත්ම පෞරුෂයක් ගොඩනගා ගත් නිසා.

ජාතික ජන බලවේගය ජාතික සමගිය, ආගමික සහජීවනය, මනුෂ්‍ය සමානාත්මව වැඩ කරන, පෙනී සිටින පක්ෂයක්. එතෙන්ට මේ රට ගෙන යා යුතුයි. ජනවාර්ගික අර්බුද, ආගමික කෝලාහල, ඇති කරමින් මේ රට පසුගාමී තත්වයට ඇද දමන දේශපාලන පක්ෂ විසින් කරන වැඩ නැවැත්විය යුතුයි.

බුදුන් වහන්සේ දස මර සේනා ගැන සුත්ත නිපාතයෙන් ඉදිරිපත් කළා. මිථ්‍යාවෙන්, බොරුවෙන් ලබන කීර්තිය මාර සේනාවක් ලෙසට දක්වා තිබෙනවා. මේවාට ගොදුරු වුණු මාර සේනාව මෙන් රටත්, සමාජයත් අනතුරේ හෙළන භික්ෂු කණ්ඩායම් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ වගේම තමන් හරි අනෙක් සියලු දෙනාම වැරදියි කියන අය සමාජයේ තැනින් තැන මතුවෙමින් තිබෙනවා. ඒ අය සර්වබලධාරී විදිහට දේශනා කරනවා. ඒ නිසා ධර්මය විකෘති කිරීම හා සංඝ ශාසනයට අවලාද නැගීම නතර කිරීමට පිළියම ජනතාවගේ රජයක් ඇති කිරීමයි. තමන්ගේ ප්‍රතිපත්ති පුරාගෙන, කල්‍යාන මිත්‍ර භාවිතයෙන්, ජනතාවට අනුශාසනා කරගෙන, යහපත් සුඛිත මුදිත රාජ්‍යයක පුරවැසියන් හැටියට වැඩ කරන්න පුළුවන්. එවැනි පාලනයක් යටතේ ස්වාමීන් වහන්සේලාට නිදහසේ වැඩකළ හැකි කාලවකවානුවක් එනවා. තම හිතවත් පාක්ෂිකයන්ට පමණක් නොව, රටේ සියලුම පුරවැසියන්ට රැකියා දෙන, සියලු දෙනාට යහපත සැලසෙන, පාලනයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අනෙක් අය දැනුවත් කරමින්, උත්සාහ අත් නොහැර, ජයග්‍රහණය දක්වා මේ ක්‍රියාමාර්ගය ඉදිරියට පවත්වාගෙන යන හැටියට ආරාධනා කරනවා. තරුණ භික්ෂූන් වහන්සේලා මේ කාර්යය අතට ගන්න ඕනෑ. සිය දහස් ගුණයෙන් කැපවෙමින් වැඩ කිරීමට ආරාධනා කරනවා.

රටේ ස්වාධිපත්‍යය, නිදහස පිළිබඳව නව පන්නයේ අරගලයක් අප ඉදිරිපිට තිබෙනවා
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

මීට වසර 175කට පෙර බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් බෝගම්බර පිටියේදී සෙබළු හත්දෙනෙක් කුඩාපොල හාමුදුරුවන් වෙත, උන්වහන්සේගේ සිරුර එල්ලයට ගෙන වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. උන්වහන්සේ ඝාතනයට පෙර ප්‍රකාශ කළා, උන්වහන්සේගේ ඝාතනය, ආරම්භ කළ ගමනේ අවසානය නොවන බවත් අවසානයක ආරම්භය බවත්. මේ වන විට වසර 175ක් ගමන්කොට තිබෙනවා. නමුත් අපට තවමත් එය අවසන් කර ගැනීමට නොහැකි වී තිබෙනවා. 1848 එම සිදුවීමෙන් වසර සියයකට පසුව බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් 1948 අපේ රට දමා යනවා. එදා සුදු අධිරාජ්‍යවාදීන් රට දාලා යනකොට ජාතික නායකයන් කිසිසේත්ම බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමග ගැටුමකට ගියේ නැහැ. ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කළා, ඒ මොහොතේ එම ජාතික නායකයන් අතට බලය ලබාදෙන්නේ නැතිනම්, බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට බලය ලබාදෙන්න වෙන්නේ තමන් සමග ගැටුමක් සහිත ව්‍යාපාරයකට කියලා ඔවුන් කිවුවා. 1948 සිට වසර 75ක් ගමන්කොට තිබෙන්නේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ගමන් මාවතේමයි. කුඩාපොළ හාමුදුරවන්ගේ ඝාතනයෙන් වසර 175ක් වෙන විට අපට පෙන්නුම් කරන්නේ ඒ හාමුදුරුවන් ගමන් කළ මාවතේ නැවත නැවත නව පන්නයකින් අප ගමන් කළ යුතු බවයි.

1848 නැගිටීමේ විශාලතම කාර්යභාරය ඉටුකළේ කුඩාපොළ හාමුදුරුවන් වහන්සේ. උන්වහන්සේ ජනතාව එක්රැස් කරන්නේ ඇතිවී තිබෙන තත්වයන් ඉතා හොඳින් කිරා මැන බලමින්. උනවහන්සේ සමග ඇඹුල්අඹේ ස්වාමීන් වහන්සේ, ගොංගාලේගොඩ බණ්ඩා, ඔහුගේ සොහොයුරු දිනේෂ්, පුරන්අප්පු, හඟුරන්කෙත ඩිංගිරාල ඇතුළු විශාල ප්‍රමාණයක් ඝාතනය කරනවා. ගොංගාලේගොඩ බණ්ඩා මලක්කාවට පිටුවහල කරලා එහිදී මිය යනවා. එදා බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඉතා කුරිරු ලෙස ජනතාවගේ නැගිටීම මර්දනය කරනවා. ඒ අවස්ථාවේ ලංකාවේ ජනගහනය ලක්ෂ 21ක පමණ හිටියේ. සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව 60 දහසකට අධික සේනා සංවිධානය කර තිබෙනවා. එදා ඒ සටන ගතහොත් 1815දී ශ්‍රී ලංකාවේ රජ්ජුරුවෝ පළවා හරිනවා. 1818 නැගිටීමේදී රදළවරුන්, ප්‍රභූවරුන් විශාල ප්‍රමාණයක් ඝාතනය වෙනවා. 1848 වෙන විට රජෙක් නැහැ. රදළවරු විශාල ප්‍රමාණයක් ඝාතනය වෙනවා. ඉන්න රදළවරු බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමග ඉතාමත් කුළුපගව කටයුතු කරමින් තිබුණා. ඒ වෙලාවේ අස්ගිරි විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ලෙස ගිරාගම විමලජෝති හිමි වැඩමකොට සිටියා. උන්වහස්සේගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ රන්ගිරි විහාරයේදී ගොංගාලේගොඩ බණ්ඩා, ශ්‍රී වික්‍රම සර්ව සිද්ධි නමින් ඔටුනු පළඳවනවා. එතැන් සිට අරගලය ඉදිරියට දියත් වෙමින් තිබුණා. අරගලයේ ප්‍රධාන සාධකයක් වුණේ රජ කෙනෙක් නොසිටීම හා ප්‍රභූත්වයක් නොතිබීමයි. ගොංගාලේගොඩ බණ්ඩා යනු, පෑලියගොඩ ඩේවිඩ්. පුරන්අප්පු යනු මොරටුවේ ෆ්‍රැන්සිස්කු ප්‍රනාන්දු. එදා ඒ නැගිටීම ඉතාමත්ම ප්‍රබල ජනතා නැගිටීමක් බවට පත්වී තිබුණා. ඒකෙ විශාල කාර්යභාරයක් කුඩාපොළ හාමුදුරුවෝ ඉටු කළා.

එදා නැගිටීම සිදුවුණේ නිකම්ම නොවෙයි. සුදු අධිරාජ්‍යවාදීන් විසින් අපේ රට යටපත් කරගෙන සිටියා. ස්වදේශික පාලකයන් පළවා හැර තිබුණා. අපේ සාම්ප්‍රදායික ඇදහිලි, විශ්වාසයන් මුළුමනින්ම උදුරා දමමින් තිබුණා. නිදහස සඳහා නැගිටිනු ලැබූ ප්‍රබල අරගලයක් එදා සිදුවුණා. අද මේ රට ඒ වගේ නොවෙයිද? 1948 සුද්දා එදා බයිනෙත්තුව අරගෙන අපේ ඉදිරිපිට අපේ රට යටත් කරගෙන හිටියා. අද බයිනෙත්තුව නැහැ. සුද්දා නැහැ. අද පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ සිට, බදු යෝජනාවල සිට මූල්‍ය ප්‍රතිපත්තීන්වල සිට, සියල්ල එක්සත් ජනපදයේ මැදිහත්වීම මත සිදුවෙන අයි.එම්.එෆ්. එකේ යෝජනාවලින් පාලනය වෙනවා. ඉපයීම් අනුව විශාල බද්දක් ගැහුවා. ඒ බද්ද වෘත්තියවේදීන්ට තම ජීවිතය පවත්වාගෙන යාමට බැරි තරමට බරක් වුණා. විශ්වවිද්‍යාලවරුන්ගෙන් 2%කට මාසෙ අවසානයේ අතට ලැබෙන වැටුප ඍණ. 10%කගේ වැටුප රුපියල් 20,000ට වඩා අඩුයි. ඒ නිසා වෘත්තියවේදීන් විශාල ප්‍රශ්නයට මුහුණ දුන්නා. මේ වෘත්තියවේදීන් එකතුවෙලා, ජනාධිපතිත්, මහ බැංකු අධිපතිත් හමුවෙලා තමන් මුහුණ දුන් ප්‍රශ්නය ගැන කතා කළා. ඒ අවස්ථාවේ ජනාධිපතිවරයාත්, මහ බැංකු අධිපතිවරයාත් කිව්වේ, ඔබලා ඉදිරිපත් කරන ප්‍රශ්නය අපට තේරෙනවා. නමුත් අපිට කරන්න දෙයක් නැහැ. අපි ඕගොල්ලනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සාකච්ඡාවක් අරගෙන දෙන්නම්. එතනට ගිහින් මේක කියන්න කියලා.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා රටේ මූල්‍ය බලය තිබෙන්නේ ජනතාව විසින් තෝරා පත්කර ගන්නා පාර්ලිමේන්තුවට කියලා. නමුත් දැන් බදු පැනවීමේ හා ඉවත් කිරීමේ බලය, සංශෝධනය කිරීමේ බලය තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට. ඒ වගේම පසුගියදා මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත ජනතාව විසින් තෝරා පත්කර ගන්නා පාර්ලිමේන්තුවට ආවා. අපි කිව්වා මේ පනත සම්බන්ධව දවස් දෙකක විවාදයක් අවශ්‍ය බව. ඒ අවස්ථාවේ ආණ්ඩු පක්ෂයෙ ප්‍රධාන සංවිධායක සහ සුසිල් ප්‍රේමජයන්ත කිවුවා දින දෙකක විවාදයක් දුන්නොත්, ඒක ලබන සතිය දක්වා යනවා. එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දී තිබෙන දින වකවානු සමග ගැටෙනවා. ඒ නිසා මේ දිනයේදීම මේ පනත විවාද කළ යුතු බව. නීති පැනවීමෙ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට කියල අපි ඉගෙනගෙන තිබෙනවා. නමුත් පනවන්නේ මොන නීතියද? කවදාද? කියා තීරණය කරන්නේ තවදුරටත් අපේ රටේ පාර්ලිමේන්තුව නොවෙයි.

මුල්‍ය පාලනය, නීති පාලනය අපේ අතේ නොවේ නම්, අපි ස්වාධීනද? පසුගියදා ජනාධිපතිවරයා ඉන්දියාවට ගියා. ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුම කුමක්ද? අපි දේශපාලන ව්‍යාපාරයක හැටියට, සෑම රටක් සමගම රටට සාධාරණ, ආර්ථික ගිවිසුම් ප්‍රතික්ෂේප නොකිරීම සඳහා එකඟතාවයක් තිබෙනවා. නමුත් ලංකාව හා ඉන්දියාව සම්බන්ධ කෙරෙන, විදුලි පද්ධතියකින්ද, තෙල් හා ගෑස් නළ පද්ධතියකින්ද, ඉන්දියාව ලංකාව සමග කරන වෙළඳ ගනුදෙනුවලදී ඉන්දියානු රුපියල පාවිච්චි කරමින්ද, ගොඩබිම, මුහුද, ගුවන හරහා ගමන් පද්ධතිවලින්ද, සංස්කෘතික සබඳතාවයන්ද මගින් ඉන්දියාව සමග ගැටගහනවා. 1848ට වඩා වෙනස් වන්නේ කොහොමද? ඒ නිසා අපිට එදා වගේම අපේ සවාධිපත්‍යය, නිදහස පිළිබඳව නව පන්නයේ අරගලයක් අපි ඉදිරිපිට තිබෙනවා.
1840 දශකයේ ආරම්භයේදීම බි්‍රතාන්‍යයේ ආර්ථිකය විශාල කඩා වැටීමක් සිදුවුණා. ඒ නිසාම අපේ රටේ කෝපි, කුරුඳු වෙළඳපොළ කඩා වැටෙන්නට පටන් ගත්තා. ඒ නිසා කුරුඳු, තේ වගාකරන අය කියා සිටියා කෝපි හා කුරුඳුවලට ගසා තිබෙන අපනයන බද්ද ඉවත් කරන්න කියා. කෝපිවල අපනයන බද්ද සියයට සියයක් අයින් කළා. කුරුඳුවල අපනයන වක්‍ර බද්ද අඩු කළා. වක්‍ර බදු වෙනුවට 1848 ජුනි මාසයේ පළමුවැනිදා සිට ඍජු බදු යෝජනා කළා. කරත්ත බද්ද, බලු බද්ද, සාප්පු බද්ද වැනි අලුත් බදු ගණනාවක් ඇති කළා. මේ බලු බද්දට විරුද්ධව එදා කුඩාපොල ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් බල්ලෝ හාරදහසක පමණ ගෙනත් නුවර කච්චේරියේ ගැටගැසුවා. මෙම නව බදු ක්‍රියාත්මක කරවීමට ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස ටොරින්ටන් සාමිවරයා ලංකාවට එව්වා. 35 වයසැති ඔහු ඉතාමත් දරදඬු පාලකයෙක්. මෙ බදුවලින් ජනතාව විශාල පීඩාවකට පත්වුණා.

1840 මුඩුබිම් පනත ගෙනැවිත් සාමාන්‍ය ජනතාව අතර තිබූ ඉඩම් වැවිලි සමාගම් වෙත බලහත්කාරයෙන් පවරා ගත්තා. ජනතාවට ඉඩම් අහිමි වුණා. ඒ අවස්ථාවේ ප්‍රධාන බදු වර්ග හතක් තිබුණා. කුරුඳු වගාවේ නියැලෙන අයට මහ බද්දත්, පිරිමි දරුවෙක් වැඩිහිටියෙක් බවට පත්වුනාම ඔහුගේ ඇඟට බද්දක්, කෙනෙක් මැරණු විට ඔහු සතුව තිබූ දේපළවලට බද්දක්, තුවක්කු බද්දක්, ගෙදරක ඉස්තෝප්පුවක් තිබුණා නම් එයට බද්දක්, පොල් ගස් එකකට වඩා තිබුණා නම්, ගසකට රිදී හයක බද්දක්, ගෙදරක බල්ලෙක් සිටියා නම් බලු බද්දක් ආදී වශයෙන් බදු ගැහුවා. මේවායින් ජනතාව පීඩාවට පත්වී තිබුණා. අන්න ඒ පීඩාවන්ට එරෙහිව තමයි, කුඩාපොළ හාමුදුරුවෝ, ගොංගාලේගොඩ බණ්ඩා, පුරන්අප්පුගේ නායකත්වයෙන් ජනතාව එදා සටන් කළේ.
අද ඊට වෙනස් නැහැ. අද ඔක්ටේන් 92 පෙට්්‍රල් ලීටරයක් කොළඹ වරායෙන් බාන කොට රුපියල් 212යි. ගමේ ෂෙඩ් එකේ එය 348යි. එහි 102ක බද්දක් තිබෙනවා. සාමාන්‍යයෙන් බදු මූල ධර්මයට අනුව තිබෙන්නේ පිරිවැටුමට බද්දක්. නමුත් බද්දට බද්දක් ගැහුවා. වැට් බද්ද 8% සිට 15% දක්වා වැඩි කළා. වෘත්තියවේදීන්ට උපයන විට බද්දක් ගැහුවා. සමහර අයගේ අතේ ඉතිරිවන මුදලට වඩා වැඩියි ගෙවන බද්ද. ජනතාව බදු නිසා විශාල ලෙස පීඩාවට පත්වී සිටිනවා. තවදුරටත් ආණ්ඩුව බදු පැනවීමට බලාපොරොත්තු වෙනවා. 1848 ජීවත් වුණු පුරවැසියන්ට වඩා වැඩි පීඩනයකට අද ජනතාව මේ පාලකයන් විසින් පත්කොට තිබෙනවා.

අද අපේ ස්වාධිපත්‍යය නැතිවී තිබෙනවා. විශාල පීඩාවකට පත්වී සිටිනවා. ඒ නිසා නව ජීවිතයක් වෙනුවෙන් නව පන්නයකට නිදහස් අරගලයක් අපට අවශ්‍යයි. ඒ කාර්යභාරයේදී විශාල වැඩ කොටසක් අපේ ස්වාමීන් වහනසේලාට පැවරෙනවා. 1818, 1848 නැගිටීම්වලදී හාමුදුරුවන් වහන්සේලා නායකත්වය දුන්නා. අපේ රට ස්වභාවික විපත්වලදී අපේ යතිවරයාණන් වහන්සෙලා පෙරට ඇවිත් පොදු ජනතාව ආරක්ෂා කොට තිබෙනවා. සුනාමි වෙලාවේදී, ගංවතුරු උවදුරුවලදී, සුළි සුළං අවස්ථාවලදී අවතැන් මධ්‍යස්ථාන වුණේ පන්සල. මේ යුගයේදී ඉහගම රතනපාල, කුඩාපොළ යතිවරයාණන් වහන්සේලාගෙන් පැවත එන නව යතිවරයන් වහන්සේලා අවශ්‍ය වී තිබෙනවා. අදත් අපේ ස්වාමීන් වහනසේලාට ජන මනසට ප්‍රබලතම හැඟීමක් ඇති කළ හැකියි. මොනතරම් බොල් හඬවල් මතුවී තිබුණත් සැබෑ හඬට ඒ සියලු හඬවල් යටපත් කළ හැකියි.

පාලකයාගේ අවශ්‍යතාවය වෙනුවෙන් ජනතාව ජාතිවාදී වශයෙන් බෙදීමේදී, දැනුවත්ව හෝ නොදැනුවත්ව ප්‍රධානම ගොදුරක් බවට අපේ ස්වාමීන් වහනසේලා පත්වුණා. බුදුරජාණන් වහන්සේගේ මුළු දහමම මානවවාදය මත පදනම් වූවක්. විශාල කුල බෙදීම් තිබූ සමාජයට බුදුන් වහන්ලේ අනුදැන වදාළේ මානවවාදයයි. සියලු අතුරු බෙදීම් ප්‍රතික්ෂේප කළ දහමක් බුදු දහම. සමස්ත මානවයාටම දේශනා කළ දහමක්. නමුත් පසුගිය කාලයේ මේ උතුම් දහම කැත පන්නයේ දේශපාලන සුදුවකට, කැත බල වුවමනාවකට උපයෝගී කර ගත්තා. තම බලය වෙනුවෙන් ජාතිවාදී ගැටුම් ඇතිකිරීමට යොදා ගත්තා. ඝෝෂාව එය වුණාට සැබෑ සංඝ පීතෘන් වහන්සේලා එතන නොසිටි බව අපි දන්නවා. සමාජය මුළුමනින්ම පීඩාවට පත්වී තිබෙනවා නම්, එකිනෙකා අතර මානව බැඳීම් මුළුමනින්ම විනාශ වී තිබෙනවා නම්, සමාජයම දරුණු ව්‍යසනයකට පත්වී තිබෙනවා නම්, මේ සමාජය සුවපත් කරන්න වුවමනා නැද්ද?

මේ ව්‍යසනයන් ඕපපාතිකව ඇති වුණා නොවෙයි. 1978 ආරම්භ කළ ඒ ආර්ථික ගමනේ අවසන් ප්‍රතිඵලය තමයි මේ මහා කඩා වැටුණු සමාජයක් බවට පත්වී තිබෙන්නේ. ජේ.ආර්. හිතුවා මිනිසා තුළ තිබෙන තරගකාරිත්වය ඇති කිරීමෙන් ආර්ථිකය ඉස්සරහට ගෙන යන්න පුළුවන් කියා හිතුවා. ඒ නිසා ඔහු කිවුවා “ඉතිහාසය ඉගෙන ගෙන වැඩක් නැහැ, රුපියලක් වත් හම්බ කරන්න බැහැ” කියලා. ප්‍රේමදාස කිවුවා “මට ඉංජිනේරුවන් වැඩක් නැහැ. වඩු බාස් කෙනෙක් හිටියාම ඇති” කියලා. චන්ද්‍රිකා කුමාරතුංග කිවුවා “කලාව ඉගෙන ගෙන වැඩක් නැහැ. රුපියලක් වත් හම්බ කරන්න බැහැ” කියලා. තරගකාරිත්වය සමාජය තුළ වර්ධනය කොට එකිනෙකා අතර සබඳතාවය “මුදල් නැමැති අයිස් වතුරේ ගිල්වා මරා දමා තිබෙනවා” මෙවැනි සමාජයකට අඟලක්වත් ඉස්සරහට යන්න බැහැ. රෝගියෙකුට දෙන බෙහෙත් මුදල් නමැති වුවමනාව වෙනුවෙන් බාල බෙහෙත් ගෙන එන්න පුළුවන් නම්, මොනතරම් නරුම සමාජයක්ද මේ?

මේ සමාජය සුවපත් කරන්න නව මානයකින් අලුත් සමාජයක් බිහිකරන්න අවශ්‍යයි. ඔවුන් නියෝජනය කරන්නේ පුද්ගලවාදය. අපි නියෝජනය කරන්නේ සාමූහිකවාදය. අලුත් අවස්ථාවක් අපිට නිර්මාණය වෙලා තිබෙනවා. නව පිබිදීමක් සහිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කළ හැකියි කියන විශාල විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. එය අත් නොහැරිය යුතු, ජයග්‍රහණයෙන් කෙළවර කළ යුතු විශ්වාසයක්. එහි විශාලම පංගුකරුවන් විය හැකි, කොටස්කරුවන් විය හැකි විභවයක් මේ සමාජයේ ගොඩනැගී තිබෙනවා. මම එක සහතිකයක් දෙනවා, බුදු දහම, බුද්ධ චීවරය අපේ දේශපාලනයේ තොරොම්බල් කරන සාධකයක් ලෙස පත්කර ගන්නේ නැති බවට. දිය හැකි උපරිම ගෞරවය එය යැයි අපි විශ්වාස කරනවා. මේ පාලකයන් සෑම පැත්තකිනම අසාර්ථක වී තිබෙනවා. මිනිස් සමාජයම සැම පැත්තකිනම කඩා වැටුණු, මූලික අවශ්‍යතා අහිමි වුණු, මේ ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් ලබා දිය යුතුයි. මේ ජනතාවට යහපත් ජීවිතයක් ලබාදීම වෙනුවෙන් විශාල වගකීමක් අපේ හාමුදුරුවන් වහන්සේලාගේ දෙඋරමත රැඳී තිබෙනවා. ඔබ වහන්සේලාට විශාල බලයක් තිබෙනවා. අදත් ගමේ ව්‍යසනයක් වුණොත් භික්ෂූන් වහන්සේ සොයාගෙන එනවා. අදත් ගම සහ පන්සල අතර සබඳතාවය ප්‍රබලයි. අපේ ජනතාව ඔබ වහන්සේලාට ඇහුම්කන් දෙනවා. අපි, රටේ සම්පත් ආරක්ෂා කර ගත යුතුයි, රටේ ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් ලබාදිය යුතුයි. ඒ වෙනුවෙන් පොදු මානවායාගේ පැවැත්ම වෙනුවෙන්, නව සමාජයක් වෙනුවෙන් නව කතිකාවක්, මඟ පෙන්වීමක් ආරම්භ කරන්නැයි ආයාචනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed