ජනාධිපති මඩු මංගල්‍යයේදී මන්නාරම සංවර්ධනය ගැන කතා කරයි – මෙලනි මානෙල් පෙරේරා 

 


අගෝස්තු මස 15 වන දින ලංකා අප ස්වාමිදූගේ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිරි කාලය තුළ සිදුකරන්නට නියමිත සං වර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති ආචාර්ය බ්‍රයන් උඩයිග්වේ හිමිපාණන්ද  මෙම මංගල්‍යයට සහභාගී වූ අතර රට තුළ සාමය සහ සහජීවනය පවත්වා ගැනීම සඳහා ආගමික නායකයින්ට තීරණාත්මක කාර්යභාරයක් පැවරෙන බව පැවසීය.


“මඩු අප ස්වාමිදූගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යයන් අපගේ දේශීය සංස්කෘතියේ අනිවාර්ය අංගයක් බව පිළිගත යුතුය. එබැවින් මෙම උත්සවය ජාතික උත්සවයක් ලෙස සලකමින් එය ආරක්ෂා කර ගැනීමේ සහ එය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහය දැක්වීමේ වගකීම රජයට පැවරෙනවා” යැයි මඩු අප ස්වාමිදූගේ මංගල්‍යය දිව්‍ය යාගයට සහභාගී වූ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් අමතමින් ජනාධිපතිවරයා පැවසීය.
මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති වික්‍රමසිංහ ප්‍රකාශ කළේ, ත‍ලෙයිමන්නාරම සහ කොළඹ අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීම සහ නගර දෙක අතර සුමට ගමනක් සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාව සැප්තැම්බර් 15 වැනිදා ආරම්භ කරන බවයි. මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ සැලසුම් ද ඔහු නිවේදනය කළේය. මඩු අප ස්වාමිදූගේ ජාතික සිද්ධස්ථානය පිහිටා ඇති මන්නාරම ප්‍රදේශය පුනර්ජනනීය බලශක්ති සම්පත් බහුලව ඇති අතර, සූර්ය, සුළං සහ හරිත බලශක්ති සඳහා ප්‍රවේශය සමඟ මන්නාරම දිස්ත්‍රික්කය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ද පැවසීය.

“පුනරින් බලශක්ති නගරයක් බවට පත් කිරීමට ද අපි සැලසුම් සකස් කර තිබෙනවා. මෙම සංවර්ධන මුලපිරීම් සැලසුම් කර ඇත්තේ මෙම පුණ්‍ය භූමිය සහ එහි වනාන්තර සංරක්ෂණය කිරීම සඳහා ය. මෙම සංවර්ධන කටයුතුවලදී මෙහි සිටින පූජ්‍ය පක්ෂයෙන් උපදෙස් හා මඟපෙන්වීම් ලබා ගන්නා ලෙස මම නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

” යැයි කීවේය.

 
සැප්තැම්බර් 15 වැනිදා ආරම්භ කිරීමට නියමිත, තලෙයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සේවාව පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතාගේ ඉල්ලීමකට අනුව දියත් කෙරෙන බවත්, මීට අමතරව සෙල්වම් අඩෙක්කලනාදන් මන්ත්‍රීවරයාගේ ඉල්ලීම පරිදි වවුනියාවේ සීනි කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට පියවර ගෙන ඇති බවත්  ජනාධිපතිවරයා පැවසීය.
 
“මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මෙම ක්‍රියාමාර්ගවල අරමුණ වන්නේ මෙම කලාපවල වේගවත් සංවර්ධනයට පහසුකම් සැලසීමයි. මෙම ප්‍රයත්නයන් හරහා 2048 වන විට සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපි අපේක්ෂා කරමු. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඔබගේ සහයෝගය මම බලාපොරොත්තු වෙමි.” ඔහු වැඩිදුරටත් පැවසීය.
 
2024 වසරට මඩු මාතාවන්ගෙ ගෞරවනීය පිළිරුව තැන්පත් කර වසර 100ක් සම්පූර්ණ වේ. මෙම අවස්ථාව සිහිපත් කිරීම සඳහා වසර පුරා දේව මෙහෙයන් පැවැත්වීමට දේවස්ථාන කළමනාකාරීත්වය තීරණය කර ඇත.
 

මංගල දිව්‍ය පූජාව මන්නාරම රදගුරු පදවියේ රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් සහ ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික නියෝජිත ආචාර්ය බ්‍රයන් උඩයිග්වේ හිමිපාණන් අතුලු අනුරාධපුර සහ ගාල්ල රදගුරු හිමිපාණන් සහ කොළඹ සහයක රදගුරු මැක්ස්වෙල් සිල්වා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණූ අතර මන්නාරම් පදවියේ පැවිදි පූජකවරු විශාල පිරිසක් සහභාගි වූහ.

ප්‍රධාන දේව මෙහෙයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික නියෝජිත ආචාර්ය බ්‍රයන් උඩයිග්වේ හිමිපාණන් ජාතික සාමය සහ ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ජනාධිපති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අගය කළ අතර මෙම ප්‍රකාශයට වතිකානයේ සහ කතෝලික සභාවේ ආශිර්වාදය ලැබී ඇති බව ද ඔහු සඳහන් කළේය.

රට තුළ සාමය සහ සහජීවනය පවත්වාගෙන යාම සඳහා ආගමික නායකයින්ට තීරණාත්මක කාර්යභාරයක් පැවරෙන බව උඩයිග්වේ හිමිපාණන් අවධාරණය කරමින් , ආගමික චරිතයක් රට බෙදනවාද එක්සේසත් කරනවාද යන්න තීරණය වන්නේ ඔවුන්ගේ ක්‍රියාවන් මත බවද ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිස්තියානි සංවර්ධන පදනමේ සභාපති ආචාර්ය චන්ද්‍රු ප්‍රනාන්දු, සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, අමාත්‍ය නලින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, සෙල්වම් අඩෙක්කලනාදන්, චාල්ස් නිර්මලනාදන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed