රූපවාහිනිය අර්බුදයට පත් කළ අය විසින්ම එය හොර රහසේ විකිණීමට යනවා… ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික, වෛද්‍ය නලින්ද ජයතිස්ස – ජනනි කොඩිතුවක්කු
1982 අංක 06 දරන රූපවාහිනී සංස්ථා පනතෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පිහිට වූයේ ජපානයෙන් ශ්‍රී ලාංකික ජනතාවට ලැබුණු පරිත්‍යාගයක් හැටියටයි. අපේ රටේ ජනතාවගේ විනෝදාස්වාද කටයුතු සහ අධ්‍යාපනික කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් එය ලබා දී තිබුණා. මුල් කාලීන අරමුණු අද කොතෙක් දුරට ඉටු වෙනවාද කියන ප්රශ්නය තිබියදීම දශක 04කට අධික කාලයක් එය පවතී තිබෙනවා. මෑත දශකවල රූපවාහිනී සංස්ථාව භාරව පත්වුණු ජනමාධ්‍ය ඇමතිවරයා ඇතුළු ඇමතිවරුන් විවිධ පත්වීම් මේ ආයතන තුළ ලබාදුන්නා. දැන් 800ක පමණ සේවක පිරිසක් මෙහි සේවය කරමින් සිටිනවා. කෙසේ නමුත් පාලකයින් මේ වන විට රූපවාහිනිය කෙතරම් ඇදවට්ටා තිබෙනවාද කියතොත් සමහර මාසවල සේවකයින්ට වැටුප් ගෙවීමට පවා නොහැකි තත්වයක් පවතිනවා. තමන්ට හිමි වැටුප ලබාගැනීමට ඔවුන් අධ්යක්ෂ ජනරාල්වරයාගේ කාමරය වට කරන තත්වයක් ඇතිවී තිබෙනවා. පසුගිය කාලය පුරාම බලයේ සිටි ආණ්ඩු විසින් ක්‍රියාත්මක කළ වැරදි ආකාරය නිසා සහ විශේෂයෙන්ම මැතිවරණ කාලයේ බලයේ සිටි ආණ්ඩු මේ සංස්ථාව අවභාවිතා කිරීම නිසා, ගෙවිය යුතු නියමිත මුදල් නොගෙවීම නිසා මේ තත්වයට වැටී තිබෙනවා. කෝප් සහ කෝපා කමිටු වාර්තා ආශ්රයෙන් මේ තත්වයට ඕනෑ තරම් නිදසුන් දෙන්න පුළුවන්.
තම තමන්ගේ දේශපාලන ප්රතිරූුප පුම්බා ගන්න කළ විකාශනයන් වෙනුවෙන් රාජ්‍ය සංස්ථා, දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශවලින් රූපවාහිනියට නොගෙවූ විශාල මුදලක් තිබෙනවා. විශේෂයෙන්ම මාධ්‍ය නාලිකාවක් පවත්වාගෙන යන්න වැඩසටහන් නිෂ්පාදනය කළ යුතුයි. රූපවාහිනියේ තිබුණේ එවැනි ගුණාත්මක වැඩ සටහන් නිෂ්පාදන ක්‍රියාවලිය පසුගිය කාලයේ අත්හැරියා. මේ නිසා ඔවුන් ලැබූ ලාභය විශාල වශයෙන් අඩපණ වී ගියා. සුදුසුකම් සහිත මානව සම්පතක් සහ අවශ්‍ය උපකරණ තිබුණත් නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අත්හැරි නිසා රූපවානිය මූල්‍ය අර්බුදයකට ලක්වුණා. මෙසේ අර්බුදයට ලක්කළ අය විසින්ම දැන් හොර රහසේම ජනතාවට අයිති ගුවන් කාලය රූපවාහිනිය තුළින්ම විකිණීමට උත්සාහ කරනවා.
ක්‍රීඩා තරග විකාශනය කිරීමට ආරම්භ කළ චැනල් අයි සහ දෙමළ භාෂාව කතා කරන ජනතාව වෙනුවෙන් ආරම්භ කළ නේත්‍රා නාලිකාවත් දක්වා ව්‍යාප්ත කළා. මෙයින් චැනල් අයි නාලිකාව මාසයකට රු. කෝටි 2.5 බැගින් විකිණීමේ කටයුත්තක් දැන් දියත් කර තිබෙනවා. පසුගිය ජූනි 30වැනිදා සිට මාස 06කට බලපැවැත්වෙන පරිදි චැනල් අයි නාලිකාවේ ගුවන් කාලය, වී.අයි.එස්. බ්‍රෝඩ්කාස්ටින් ආයතනයට විනිවිදභාවයකින් තොරව හොර රහසේ විකුණා තිබෙනවා. රූපවාහිනී සේවකයන් අතරින් සහ මේ පිළිබඳව කරුණු දැනගත් අයගෙන් එල්ල වුණු විරෝධය හමුවේ ජනමාධ්‍ය ඇමතිවරයා අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළත් අද උදෑසන එය අනුමත කරගත නොහැකි වුණු බව අපට වාර්තා වෙනවා.
වී.අයි.එස්. බ්‍රෝඩ්කාස්ටින් ආයතනයෙන් විසුරුවා හරින එස්.බී.ටී. නාලිකාවේ කටයුතු විකාශනය කිරීමට චැනල් අයි යොදා ගන්න සූදානම් වෙනවා. මේ නාලිකාව ලයිකා මොබයිල් ආයතනයට අයත් එකක්. බන්දුල ගුණවර්ධන විෂය භාර ඇමතිවරයාත් ජනාධිපතිවරයාත් එහි අයිතිය මේ ආයතනයට මාස 06කට ලබාදී ඉන් පසු අවුරුදු දෙකකට දීර්ඝ කිරීමේ ක්‍රියාවලියකට සූදානම් වුණා. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් ආයතන බංකොළොත් කර ඉන් පසුව තමන්ගේ ගජමිතුරු ආයතනවලට විකුණා දැමීමට යුහුසුළුව කටයුතු කරනවා. ඖෂධ මිලදී ගැනීමේදී, තෙල් මිලදී ගැනීමේදී සහ විදුලිය මිලදී ගැනීමේදී “හදිසි මිලදී ගැනීම්” යටතේ විවිධ ජාවාරම් සිදුකරනවා. නමුත් මේ තුළ එවැනි හදිසියක් නැහැ. ජාතික රූපවාහිනිය සම්පූර්ණ වශයෙන් බිඳ වැටීමේ තත්වයක් තිබුණේ නැහැ. තමන්ට හිතුමතයේ ජනතාවගේ සම්පත් විකුණා දැමීමේ එක්තරා ක්‍රියාවලියක් මේ තුළින් පැහැදිලි වෙනවා. ආර්ථික අර්බුදය හමුවේ රටේ ජනතාව ජීවිකාව සරි කර ගැන්මට පොර බදන අවස්ථාවේ තමන්ගේ බලය පාවිච්චි කර ජනතාවට අයිති සංඛ්‍යාත හිතුමතේ විකුණා දමන්න ඇමතිවරුන් සහ ජනාධිපතිවරයා ක්‍රියා කරනවා. ජූනි 30වැනිදා විකුණා දැමීමේ ක්‍රියාවලිය සිදුකිරීමෙන් පසුවයි මේ කැබිනට් පත්‍රිකාව ගෙනත් තිබෙන්නේ. ජූලි 01වැනිදා සිට විකිණීමේ ක්‍රියාවලිය බලාත්මක කිරීමෙන් පසුව එය සාධාරණීකරණය කර ගන්න කැබිනට් පත්‍රිකාව ගෙනත් තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපේ විරෝධතාවය ප්‍රකාශ කරනවා. ජීවන අරගලය ඇතුළේ පවා මෙවැනි කටයුතු කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කළ යුතු බවත් අපි අවධාරණය කරනවා. රූපවාහිනී සංස්ථා සේවයන්ගේ පමණක් නොව රටේම ජනතාවගේ අවධානය මේ විකිණීමේ ක්‍රියාවලිය කෙරෙහි යොමු කරන ලෙස ඕනෑකමින් ඉල්ලා සිටිනවා. රටේ සම්පත් මේ ආකාරයෙන් විකුණා දැමීමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට කිසිදු අයිතියක් නැහැ. මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සියලු දෙනාගේම විරෝධය එල්ල කළ යුතු වෙනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්…
සෞඛ්‍ය පද්ධතියේ ගැටලු සම්බන්ධයෙන් දිගින් දිගටම වාර්තා වෙනවා ඒ සම්බන්ධයෙන් ඔබ දකින්නේ කොහොමද?
අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය බරපතළ අර්බුදයක තිබුණත් ජනාධිපතිවරයාගේ හෝ ඇමතිවරුන්ගේ ප්‍රකාශ තුළ මේ ගැඹුරු අර්බුදය පිළිබඳව අවධානයක් යොමුකර ඇති බව පෙන්නේ නැහැ. ඔවුන්ට මේ සම්බන්ධ කිසිම හැඟීමක් නැහැ. රෝහල් කාර්යමණ්ඩලය රට අත්හැර යනවා. විශේෂඥ වෛද්‍යවරුන් 300කට අධික පිරිසක් මේ වනවිට විදේශ ගත වී තිබෙන අතර සමහර වෛද්‍යවරුන් නිවාඩු හෝ ලබා නොගෙන ඉවත් වී යනවා. හම්බන්තොට රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා මේ විදිහටම ඊයේ විදේශගත වී තිබෙනවා. නිර්වින්දන වෛද්‍යවරුන් නොමැති වූ විට අනෙකුත් ශල්‍ය වෛද්‍යවරුන් සිටියට වැඩක් වෙන්නෙත් නැහැ. සීමිත රෝහල් කාර්ය මණ්ඩලයකට ඉතාමත් අතෘප්තිකර තත්වයන් යටතේ විශාල කාලයක් වැඩ කරන්න සිදුවී තිබෙනවා. ඒ වගේම රෝහල් තුළ අත්‍යාවශ්‍ය ඖෂධ සහ උපකරණ හිඟයි. නමුත් රෝගීන් ඇතුළත් වනවිට සියලු අර්බුදයන්ට මුහුණ දෙන්න සිදුවෙන්නේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයටයි. ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය රෝහල් තුළදී හමු වෙන්නේ නැහැ. ලංකාවේ ජනතාවගේ ආතතිමය සංඛ්‍යාව දෙගුණ වී තිබෙන බව රූමි රූබන් විශේෂඥ මනෝ වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබුණා. මෙවැනි තත්වයක් තුළ රෝහල්වලට පැමිණෙන ජනතාවත් රෝහල් කාර්ය මණ්ඩලයත් දැඩි පීඩනයකින් කටයුතු කිරීම තුළ විවිධ සිදුවීම් සිදු වෙනවා. එන්නත්වල අසාත්මිකතා ඇතිවීමේ වාර්තා දිගින් දිගටම ලැබෙන්නේ ඖෂධවල ප්‍රමිතිය බරපතළ ලෙස උල්ලංඝනය කර තිබෙන නිසයි. ඒ සම්බන්ධයෙන් නිවැරදි පරීක්ෂණයක් හෝ පවත්වන්න ආණ්ඩුව සූදානම් නැහැ.
සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඔබ පක්ෂයේ ස්ථාවරය කුමක්ද?
විශ්වසභංග යෝජනාවක් ගෙන ආ යුතුව තිබෙන්නේ කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයාට හෝ වෙනත් මැති ඇමතිවරුන්ට එරෙහිව වෙන වෙනම නොවෙයි. මේ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පත්කරගත් පොහොට්ටුවේ කණ්ඩායම ප්රමුඛ සියලුම මන්ත්‍රීවරුන්ට එරෙහිවයි. මේ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තව මාසයකින් හෝ දෙකකින් ගෙන ඒවි. නමුත් අවශ්‍ය වී තිබෙන්නේ එක් එක් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන එනවා වෙනුවට මේ සමස්ත ආණ්ඩුවම පෙරළා දැමීමට කටයුතු කිරීමයි. සමස්ත ආණ්ඩව කෙරෙහිම ජනතාවගේ විශ්වාසය සම්පූර්ණයෙන් නැති වී තිබියෙදී කෙහෙලිය රඹුක්වැල්ල ඒ ඇමති ධුරයෙන් ඉවත් කර වෙන අයෙක් පත් කළත් වැඩක් නැහැ. මේ දූෂිත වළල්ල ඉවත් කිරීමේ දේශපාලන අධිෂ්ඨානයකින් තොරව මේ ප්‍රශ්නයට උත්තර හොයන්න බැහැ.