රට ගොඩනැගිය හැකි ප්‍රබලතම කණ්ඩායම අප සමගයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක – ජනනි කොඩිතුවක්කු

 

 

මොරටු ආසනය සම්ප්‍රදායික ලෙස අපට ජයග්‍රහණ ගෙනදුන් ආසනයක් නොවෙයි. මේ සමුළුව දෙස බැලූවිට පෙනෙනවා සාම්ප්‍රදායික ජන පවුරු සියල්ල බිඳවට්ටවා ජාතික ජන බලවේගයේ කොඩිය මොරටුවෙන් ඉහළින්ම ඔසවා තිබෙන බවයි පෙන්නුම් කරන්නේ. අපේ රටට අපේ රටේ ජනතාවට මේ විදිහට තවදුරටත් ජීවත් වෙන්න බැහැ. මේ රට වෙනස් කරන්න ඕනෑ. පමාවෙන මොහොතක් පාසා පාලකයෝ මේ රට අගාධයට හෙළනවා.
පසුගියදා රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට ගොස් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකට ගැටගැසුවා. එක, විදුලිබල පද්ධතියෙන්. ලංකාව සහ ඉන්දියාව අතර විදුලි රැහැන් පද්ධතියකින්, තෙල් නල පද්ධතියකින්, එකට ගැට ගහනවා. ඉන්දියානු රුපියල, ලංකාවේ වෙළඳ කටයුතු සඳහා උපයෝගී කර ගන්න, තීන්දුවක් ගන්නවා. ඒ කියන්නේ මුදල් ඒකකයෙන් වගේම ගොඩබිමින්, මුහුදින්, ගුවනින් ලංකාව ඉන්දියාවත් එක්ක ගැටගහනවා. ඒ වගේම සංස්කෘතියෙන් ගැටගහනවා. ලංකාව ඉන්දියාවත් එක්ක මේ විදිහට බද්ධ කරන්න, රනිල් වික්‍රමසිංහට මේ රටේ ජනතාව බලයක් දී නැහැ. රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනතාව විසින් පළවා හැරි නායකයෙක්. ඔහු ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධිපත්‍යය අහෝසි කරන තීන්දු තීරණ ගනිමින් ඉන්නවා. මෙය වෙනස් කළ යුතුයි.
පසුගිය කාලයේ ඔහුගේ හැසිරීම් බලන්න. විදුලි කප්පාදුව දිගටම කරමින් එන විට, මේ රටේ ජනතාවගේ විශාල ඉල්ලීමක් තිබුණා උසස් පෙළ විභාග දින ටිකේවත් විදුලිය කපන්න එපා කියා. උසස් පෙළ විභාගය පෙබරවාරි මස 16 වැනිදා විභාගය අවසන් වුණා. ඒ දක්වා විදුලි කප්පාදුව කළා. 17 වැනිදා සිට විදුලි කප්පාදුව නතර කළා. විදුලි සපයන්න ප්‍රමාණවත් ධාරිතාවක් තිබුණා. දරුවන් ගැන හැඟීමක් නැති, තෙතමනයක් නැති පාලකයෙක්, රනිල් වික්‍රමසිංහ.

රනිල් වික්‍රමසිංහ යනු මහ පොළොවත් සමග ඓන්ද්‍රියව සබඳතාවයක් තිබෙන නායකයෙක් නොවෙයි. පොදු ජනතාවගේ ජන ජීවිතය ගැන සහකම්පනයක් තිබෙන නායකයෙක් නොවෙයි. ඔහු කැබිනට් මණ්ඩලයේදි කියනවා හාල් හිඟයක් ආවොත් රටින් හාල් ගෙනත් දෙන්නම් කියා. ටෙලිකොම් එක, රක්ෂණ සංස්ථාව, බලාගාර, ඛනිජ සම්පත්, විකුණනවා. විකුණලා හොඳට නිදාගන්න පුළුවන්. මිනිස්සු පිළිබඳව, රට පිළිබඳව හැඟීමක් තිබෙන නායකයෙක් නොවෙයි. ඔහුට සියල්ල සල්ලි, සල්ලි. ඔහුට මුදල් ලැබෙනවා නම්, සියලු සම්පත් අතහැරිය හැකියි. සියලු හැඟීම් අයිස් වතුරේ ගිල්වා මරා දැමූ නායකයෙක්.

අපි මේ ගමන් කරමින් තිබෙන්නේ ලංකා ඉතිහාසයේ මේ පාලක කණ්ඩායම දෙක විසින් අනුගමනය කරන ලද ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්තියේ අවසන් කඩඉමට. රනිල් වික්‍රමසිංහ තමයි එයාලගෙ අන්තිම බැට්ස්මන්. ඡන්දය කියන්නේ, අධිකරණය කියන්නේ, පාර්ලිමේන්තුව කියන්නේ ජනතාව සහ පාලකයා අතර සම්මුතියක්. රනිල් වික්‍රමසිංහ කියන්නේ ඒ සම්මුති කිසිවක් ගණන් නොගන්නා නායකයෙක්. සියලු ප්‍රජාතාන්ත්‍රික සංස්ථාවන් බිඳවට්ටවා, සුනුවිසුනු කොට පාලනය කරන නරුම මනසක් තිබෙන පාලකයෙක්. මෙවැනි පාලකයෝ අයින් කරන්න ඕනෑ. අපි මීට කලින් ආණ්ඩු, නායකයෝ පළවා හැර තිබෙනවා. නමුත් ගේන්නේ කවුද කියා සොයා බැලුවේ නැහැ. අපි ඔබලාට කියන්නේ ඉන්න කෙනා පළවා හරින්න පමණක් නොවෙයි, ගේන්නේ කවුද කියලා තෝරා ගැනීම සඳහා මනස අවදිකරන එක තමයි අපේ අභියෝගය. එළඹෙන ඕනෑම මැතිවරණයකදී ජයග්‍රහණය කරවන්න ඕනෑ, මේ රට හදන, මේ රට වෙනස් කරන ජාතික ජන බලවේගයයි. මේක ඉතාමත් තීරණාත්මක සටනක්.

ලංකා ඉතිහාසයේ ඡන්ද සටන් ඇති තරම් ඔබ දැක තිබෙනවා. 2015, 2019, ඡන්ද ව්‍යාපාරවලදී එකිනෙකාට කඩු අමෝරා ගෙන වේදිකාවල සටන් කරනවා. ජනතාව දෙපැත්තට වෙලා අත්පුඩි ගහමින් සටන් දෙස බලාගෙන ඉන්නවා. එක කණ්ඩායමක් බලයට එනවා. නමුත් දෙගොල්ලොම එකයි. කවදාවත් ඒගොල්ලෝ ළඟ ඇත්ත ඡන්ද සටනක් තිබුණේ නැහැ. පොඩි කාලේ ළමයින්ගේ හොරා පොලිස් සෙල්ලම වගේ, බොරුවට දෙකට බෙදුණා. බලය දෙපැත්තට මාරු කරගත් සටනක් තිබුණේ. නිමල් සිරිපාල 1994 සිට මේ වෙන තෙක් හැමදාම ඇමති. කවදාවත් දෙකට බෙදිල තිබුණේ නැහැ. 2005 මහින්දගෙ ආණ්ඩුවේ ඇමති වූ මහින්ද අමරවීර, මේ දක්වා සෑම ආණ්ඩුවකම ඇමති. සියඹලාපිටිය, දිගටම ඇමති. රාජිත ඇමති නොවුණේ මේ ආණ්ඩුවේ පමණයි. ලංකා ඉතිහාසයේ ජනතාව බෙදී සිටියට, ආණ්ඩුවේ ඇත්ත බෙදීමක් තිබුණේ නැහැ.

ලංකා ඉතිහාසයේ ඇත්ත භූමියේ සටන දැන් දියත් වෙමින් තිබෙනවා. මේ රට විනාශ කළ, දූෂණයට පත්කරපු, ජනතාව දුප්පත්කමේ ගිලටීනයට හිරකරපු විනාශකාරී පාලක පෙළැන්තියට එරෙහිව පොදු ජනයාගේ ව්‍යාපාරය වන ජාතික ජන බලවේගය සටනට අවතීර්ණ වෙලා තිබෙනවා. ඒ නිසා මේක ලේසි වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ පැත්තෙන් කළ හැකි සෑම දෙයක්ම තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කරනවා. දැන් කේන්ද්‍ර දෙකයි තිබෙන්නේ. ඒගොල්ලන් දැන් නිල නොවන එකඟතාවයකට ඇවිත් තිබෙනවා. ඔවුන්ට අභිමුඛ ප්‍රබල විරුද්ධ බලවේගය ජාතික ජන බලවේගය බවට පත්වී තිබෙනවා.

ඒගොල්ලන් ළඟ මුදල් බලය, රාජ්‍ය බලය, මාධ්‍ය බලය තිබෙනවා. ප්‍රබලතම බලය වුණු ජනතා බලය ජාතික ජන බලවේගයත් එකක ඉන්නවා. අපි එන්.පී.පී. එක හැදුවා. ඒකෙ විධායක සභාව හැදුවා. කොට්ඨාස සභා හැදුවා. ආසන සභා හැදුවා. සතුරාට අභිමුඛ විය හැකි ප්‍රබලතම ව්‍යාපාරය ගොඩනඟා තිබෙනවා. ප්‍රබලතම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය හදා තිබෙනවා. ඇත්ත ව්‍යවසායකයා අපි එකතු කරන්න ඕනෑ. ශක්තිමත්ම ව්‍යවසායක කණඩායම අපි එකතු කරන්න ඕනෑ. ඉතාමත් ශක්තිමත් ලෙස නීතිඥ එකමුතුව ගොඩනඟමින් තිබෙනවා. තරුණ ඉංජිනේරුවන්ගේ ව්‍යාපාරය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ව්‍යාපාරය, වෘත්තීයවේදීන්ගේ එකමුතුව, ශක්තිමත්ම ගොවි ව්‍යාපාරය, ගොඩනඟා තිබෙනවා. ඔබ ගම ඇතුළේ ශක්තිමත්ම ව්‍යාපාරය ජාතික ජන බලවේගය බවට පත්කරන්න උරදෙන්න.
එක වරක දුම්රිය එන්ජින් 10ක් ගෙනාවා. එකක් කෝටි 18යි. ගෙනත් බලනකොට එන්ජිම දිග වැඩියි. බර වැඩියි. පීලි ඇඹරෙනවා. යාන්තම් කෑලි හයිකරලා පහක් දුවනවා. පහක ගාල්කර තිබෙනවා අවුරුදු 20ක්. ඒ කෝටි 18ක බර, දුම්රිය ටිකට් එකේ තිබෙනවා. දුම්රිය ගාස්තු අඩු කරන්න පුළුවන්. ඊට පසු කෝටි 76 ගානේ දුම්රිය එන්ජින් 09ක් ගෙනාවා. පීලි අතර දුරට වඩා එන්ජින් එකේ රෝද අතර දුර වැඩියි. අද එන්ජින් 08ක් ගාල් කරලා, එකක් දුවනවා. දුම්රිය ටිකට් එකේ ඒ බර තිබෙනවා. නව යෝජනා අනුව ඉන්දියාවෙන් දුම්රිය පෙට්ටි 160ක් ගෙනාවා. අවුරුදු දෙක තුනක් ගාල්කොට තිබෙනවා. මේවා කාබාසිනියා කොට නැති බංගස්තාන කොට තිබෙනවා. මේවා පියවා ගන්න දුම්රිය ටිකට්පතේ ගාණ වැඩිකොට තිබෙනවා. ඒක නැති කරලා, දුම්රිය කාර්යක්ෂම සේවාවක් බවට පත්කරන සැලැස්ම ජාතික ජන බලවේගයේ අපිට තිබෙනවා.

ජල ගාස්තුව වැඩිවුණා. හේතුව මොකක්ද? ජලාපවාහන මණ්ඩලය වසරකට කෝටි 1400ක පොලියක් ගෙවනවා, කෝටි 800ක ණයක් ගෙවනවා. සේරම කෝටි 2200ක්. ලංකාවේ ප්‍රධානම ව්‍යාපෘති තිබුණේ ගුවන් තොටුපළ. ලොකුම ව්‍යාපෘති චමල්ගාව. ඊළඟට ලොකුම ව්‍යාපෘති ආවේ වරායට, පාරවල්වලට. ඒව මහින්ද ගාව. ඊළඟට ලොකුම ව්‍යාපෘතිය වතුරවලට ආවා. ඒක ප්‍රියත් බන්දු ගාව තිබුණා. මහින්ද වතුර ඇමති වෙනකොට වෝටර් බෝඩ් එකේ සභාපති ප්‍රියත් බන්දු. විශාල ජල ව්‍යාපෘති ආවා. පසුගිය කාලයේ එලන බට ගෙනාවා කෝටි 700ක. එලන්න විදිහක් නැහැ. ගොඩගසා තිබෙනවා. ඔබගේ ජල බිලේ තිබෙන්නේ මේ හොරකම්. අපි උගුරු දෙකක් ජලය බොනකොට, උගුරු දෙකක් හොරකම්වලට ගෙවනවා. ඔක්ටේන් 92 තෙල් කොළඹ වරායෙන් බානකොට පෙට්්‍රල් ලීටරයක් 212යි. විකුණන්නේ 348යි. තෙල් සංස්ථාව හෙජින් ගිවිසුමේ පාඩුව රුපියල් කෝටි 1800යි. තෙල් සංස්ථාව දැන් ඒක පියව ගන්නවා. බාල පොම්ප, බාල ඉන්ධන ගෙනාවා. දැන් ඒකත් තෙල් සංස්ථාව පියවා ගන්නවා. ආණ්ඩුව කෙලින්ම රුපියල් 102ක බද්දක් පෙට්්‍රල් ලීටරයකට ගහනවා. තෙල් සංස්ථාව රුපියල් 13ක ලාභයක් තියා ගන්නවා. තව රුපියල් 04ක් අතිරේක ලාභ ලෙස තබා ගන්නවා. තව රුපියල් 06ක් පිරිපහදු පාඩු කියා තබා ගන්නවා. ඒ ඔක්කොමත් තබාගෙන රුපියල් 13ක ලාභයක් පෙට්්‍රල් ෂෙඩ් එකට දෙනවා. මෙහෙම වෙලා පෙට්්‍රල් රු:348/-ක් වෙනවා. ජනතාවට ලැබෙන අත්‍යවශ්‍ය සේවා බස් ගාස්තුව, දුම්රිය ගාස්තුව, වතුර, විදුලිය, තෙල් මූලික අවශ්‍යතාවයන් සඳහා අපි ගෙවන කොට වංචා කරපු මුදල්ද මේ ගාස්තුවලට ඇතුළත් වී තිබෙනවා.
අපි ඉන්ද්‍රජාලිකයෝ නොවෙයි. ස්වභාවික මිනිස්සු. හැකියාවන් තිබෙනවා, දුබලතාවයන් තිබෙනවා. තනි පුද්ගලයෙකුට කිසිවක් කරන්න බැහැ. කළ හැක්කේ සාමූහිකත්වයකට. ආරක්ෂාව පිළිබඳ ප්‍රබලතම කණ්ඩායම අපිත් සමග ඉන්නවා. ආරක්ෂාව කියන්නේ අවි ආයුධ දරාගෙන පාරේ ඉන්න එක නොවෙයි කියා අපි විශ්වාස කරනවා. අවි ආයුධ දරාගෙන පාරෙ ඉන්නවා කියන්නේ, අනාරක්ෂිත රටක් කියන සංඥාව තමයි එයින් කියැවෙන්නේ. අපි හදන්නේ දියුණු, විද්‍යාත්මක, ආරක්ෂිත රටක්. ඒකට අත්දැකීම් තිබෙන හැකියාව තිබෙන ශක්තිමත්ම කණ්ඩායම, දැනුම තිබෙන ප්‍රබලතම කණ්ඩායම ජාතික ජන බලවේගය සමග ඉන්නවා.
අපේ රටේ විශාලතම කාර්යය කරන්න තිබෙන්නේ අධ්‍යාපනයේ. අධ්‍යාපනයයි, දුප්පත්කමයි අතර, දුප්පත්කමයි, නූගත්කමයි අතර සම්බන්ධයක් තිබෙනවා. අධ්‍යාපනයයි අපරාධයි අතර, අධ්‍යාපනයයි මත්කුඩුයි අතර, සම්බනධයක් තිබෙනවා. මේ රට ගොඩනැගීමේ ප්‍රධානම අංශය අධ්‍යාපනය. අධ්‍යාපනයේ මුළු වගකීම රාජ්‍ය විසින් බාරගනු ලබන නව ප්‍රතිපත්තියක් ලංකාවට ගෙනත් දෙනවා. මොන්ටිසෝරි අධ්‍යාපනයේ සිට අවසන් අධ්‍යාපනය දක්වා සෑම දරුවෙකුටම සම අවසථා නිර්මාණය කරන නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් ජාතික ජන බලවේගය නිර්මාණය කර තිබෙනවා. අපි මේ වැඩේ එකක් සැලසුම් සහිතව, රට හැදීමේ අවංක මිනිසුන්, අදූෂිත මිනිසුන් සහිතව ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳ අත්දැකීම් බහුල මිනිස් සමූහයක් එක්ක තමයි මේ ව්‍යාපාරය ගොඩනැගී තිබෙන්නේ. මේ රට හදන්න අපි පමණක් නොවෙයි බිමේ ඉන්න ඔබද දායක වෙන සමාජයක්. මේ ජයග්‍රහණය අපට ලබා ගත හැකියි. මේ අවුරුද්ද රටෙත් ජනතාවගෙත් ඉරණම තීරණය වෙන වැදගත්ම අවුරුද්ද. අපි වෙහෙස නොබලා වැඩ කරමු. හැමදෙනාම මුණගැසෙමු. ශක්තිමත්ම ව්‍යාපාරය ගොඩනඟමු. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙමු.

මේ වේදිකාවේ සිටින්නේ අලුත් පරම්පරාව සමග සාමූහිකව වැඩ කළ හැකි නායකත්වයක්
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය

ජාතික ජන බලවේගයේ අපි විශ්වාසය තබන්නේ ජනතාව මතයි. වසර ගණනවක සිට මහන්සියෙන් ගොඩනගපු බලවේගවල ප්‍රතිඵල තමයි මේ ආසන සමුළුවලින් දකින්නේ. මේ රට පත්ව ඇති ව්‍යසනයෙන් බේරාගත හැකි, මේ රට වෙනස් පරිවර්තනයක් කළ හැකි නායක නායිකාවන් ඔබ අතරින් රටට ඉදිරිපත් කරමින් යන්නේ. අපි සූදානම් වෙන්නේ තවත් එක් මැතිවරණයකට මුහුණ දී තවත් එක් ආණ්ඩුවක් පිහිටුවීමට නොවෙයි. අපේ බලාපොරොත්තුව වන්නේ මේ රටට අලුත් දෙයක් ලබාදෙන්න. අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන්න. ඒ සඳහා අපට නායක නායිකාවන් අවශ්‍යයි.

පසුගිය සතියේ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඇවිත් කතාවක් කළා. ඔහු කියවපු පොත් ගැන කියලා අහනවා ඔයගොල්ලෝ මේ ඉතිහාසය ගැන දන්නේ නැද්ද? කියවලා නැද්ද? මම කියලා දෙන්නම්. ඒ තරමින් පොත්පත්වලින් ඉගෙන ගත් අයෙක් නම්, එයා තුළ තිබෙන අහංකාරකම, උද්දච්චකම නැතිකර ගත හැකි විය යුතුයි. කොතරම් කියවා තිබුණත් ඒ උද්දච්චකම තිබේ නම්, එයින් ඵලක් නැහැ. තමන් දන්නා බව පෙන්වමින් අනෙක් අය පහත් අය ලෙස සලකන කෙනෙක් නායකයෙක්ද? යාපනය පුස්තකාලය ගිනි තබන අවස්ථාවේ ඒ දෙස බලාගෙන හිටපු කෙනෙක් තමයි මේ පොත්පත්වල අගය ගැන කතා කරන්නේ. තමන්ගේ දැනුම පෙන්වමින් අනෙක් අය පහත් කොට සලකන නායකයන් මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරමින් යන්නේ. රනිල් වික්‍රමසිංහ කියන්නේ උද්දච්චකම, තවත් කෙනෙක් පහත්කොට සැලකීම, තවත් කෙනෙකුට ඇහුම්කන් දෙන්න බැරිකම, කණ්ඩායමක් හැටියට හිතන්න බැරිකම, තමන් පමණයි සියලුම දේ දන්නේ යන මානසිකත්වයෙන් මේ බලය තමන්ට හිමි දෙයක් හැටියට හැසිරෙන නායකත්වයක්. ප්‍රභූ මානසිකත්වය එක්ක එන නායකත්වයක්. ඒ නායකත්ව මොඩ්ල් එක මේ රටට සුදුසු නැහැ. ඔවුන් දෙන ආකල්ප, හැසිරෙන විධි, තවදුරටත් මේ නූතන සමාජයට සුදුසු නැහැ.

අද ජනතාව ඉල්ලන්නේ ඊට වඩා වෙනස් දේශපාලන සංස්කෘතියක්. ආදර්ශයක් දිය හැකි, ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක්. හොඳින් සංනිවේදනය කළ හැකි, මිනිසුන් සමග ගැටෙන්න හැකි, මිනිසුන්ට තේරුම් ගත හැකි, සහකම්පනය තිබෙන, වෙනත් අය සමග එකට වැඩ කළ හැකි, තවත් අය තමන්ගේ වැඩකටයුතුවලට සහභාගි කර ගත හැකි, නායකත්වයක්, අපට අවශ්‍ය, එවැනි නායකත්වයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට, නූතන සමාජයට සුදුසු. අලුත් පරම්පරාව සමග වැඩ කළ හැකි, සහකම්පනය තිබෙන, කණ්ඩායමක් ලෙස වැඩ කළ හැකි නායකත්වයක් මේ වේදිකාවේ ඉන්නවා. මේ අද දවසේ සාර්ථකත්වයෙන් පෙන්නුම් කරන්නේ ඒ නායකත්වයේ සාර්ථක ප්‍රතිඵලයක්. ජනතාව තේරුම් ගත හැකි, ජනතා ප්‍රශ්න තේරුම්ගත හැකි, නායකයන් බිහිකරමින් මේ යන්නේ මේ රටට අවශ්‍ය, නූතන දැක්ම, මානුෂීය දැක්මෙන් පිරුණු, සමාජයක් බිහිකරන්න. අලුත් රටක් ගොඩනගන්න සියලු දෙනා එකතු වෙන්න. අපි වැඩකරමු. වෙනස්වෙමු.

මේ රට බාර ගත්තොත් අපිට ගොඩදාන්න පුළුවන්
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, මොරටුව ආසනයේ ප්‍රධාන සංවිධායක නීතිඥ හර්ෂණ නානායක්කාර

මිනිස්සු වෙනස් වෙනවා කියන එකට හොඳම උදාහරණය තමයි අද මෙතනට ගලන ජන ගඟ. අද මෙතන දහස් ගණනක් එකතුවෙලා ඉන්නවා. මෙන්න මේ නිසයි රනිල් ඡන්ද කල් දාන්නේ. මේ මොරටු පුරවරයේ වැඩි දෙනෙක් වඩුකාර්මික ශිල්පී මහත්වරු. ඒ සහෝදරවරු කිව්වේ තව ටික කාලයක් මේ විදිහට ගියොත් අපට සිදුවෙන්නේ මැෂින් ටික විකුණලා කන්න-බොන්න. මේ වැඩිවන ලයිට් බිලත් එක්ක දැව කර්මාන්තය කරන්න බැහැ. මේ වඩු කාර්මිකයො කියන්නේ දේශීයව භාණ්ඩ නිෂ්පාදනය කරලා, එයින් කොටසක් මොරටුවට අදින්න පුළුවන් කොටසක්. ඒ දක්ෂයෝ ටික අපට අහිමිවෙලා යනවා. ධීවර සහෝදරයන්ට පානදුර වරාය වැඩ කරන්නේ නැහැ. එහි දියකඩනයක් ගැහුවා. දියකඩනය ගහනකොට ධීවර මහත්වරු කිව්වා, ඔය දියකඩනය මාරියාවෙන් එහාට ගෙනියන්න කියා. ඒ කියන්නේ රැල්ල ගහන තැනින් එහාට ගෙනියන්න. බෝට්ටු දියත් කරන්න බැහැ කියලා. කෝටි ගණනක් වියදම් කරලා මාරියාව ළඟටම ගෙනත් නැවැත්තුවා. මේ වෙනකොට ධීවර සහෝදරවරු 20කට වඩා ජීවිත අහිමිකරගෙන තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ කියන්නේ පපුවේ තෙතමනයක් නැති, මොළේ වේලුණු කෙනෙක්. මේ රට ගොඩනඟන වැඩපිළිවෙළත් ක්‍රියාත්මක කළ හැකි කණ්ඩායමත් අප සතුව තිබෙනවා. සාගල ඡන්දෙන් පත්වුණෙත් නැහැ. පැරදී ඇපත් නැතිව සිටි මිනිස්සු. හොර පාරෙන් ඇවිත් ආණ්ඩු කරනවා. සාගල අද රට ගොඩනඟන්න ස්වංරැකියාවලට කරත්ත සීයක් බෙදනවා. 2048 ආණ්ඩු හදන්න කරත්ත බෙදනවා. ඔය කරත්ත විතරක් දීලා මදි. කරත්තවල ගැට ගහන්න රනිලුයි ඔය කෘත්‍යාධිකාරී මණ්ඩලයමයි යවන්න ඕනෑ. කුඹුරුවලට ඕන කරන වතුර ටික නොදී, දැන් පිදුරුවලට වතුර නිකුත් කරනවා. පිදුරුවලට වතුර දුන්නාට හාල් ලැබෙන්නේ නැහැ. රටට ඕනෑ කිකිළි බිත්තරේ දෙන්න බැරි, කුකුල් මස් ටික හදාගන්න බැරි කෙනා 2048 රට හදන්න හදනවා.

අපි රනිල්ට කියනවා, ඔයා ජීවත්වෙන ෆැන්ටසියේ ඔයා ජීවත් වෙන්න. ජාතික ජන බලවේගයේ නීතිඥ සංගමයේ අපි ලබන සතියේ සුප්‍රිම් උසාවි යනවා, ඒ ගොවියන්ට සිදුවුණු අසාධාරණය වෙනුවෙන් වන්දි ඉල්ලන්න. මේ රට බාර ගත්තොත් අපිට ගොඩදාන්න පුළුවන්. ඒ සටනට මොරටුව ලෑස්තියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed