මහ දවල් සිදුකල ගස් කැපීල්ල – කුරුණෑගල වාර්තාකරු

කුරුණෑගල තෝරයාය දම්මඩවත්ත ප්‍රදේශයේ පිහිටි කුරුණෑගල ප්‍රාදේශීය සභාව සතු පොදු ඉඩමක තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා තේක්ක ගස් දහතුනක් හොරෙන් කපාගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් බෝගමුව පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ ලේකම් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ පරීක්ෂණ කටයුතු අරඹා තිබේ.
වෙන්දේසි කරන ලද ඉඩමකට අයත් පර්චස් විස්සකින් යුත් සභාවට ලබාදී ඇති පොදු ඉඩමේ තිබූ සියළුම තේක්ක ගස් කිසිදු අවසරයකින් තොරව මෙසේ කපාගෙන ගොස් ඇති බව කියයි. එසේ කපාගෙන ගිය ගසක සාමාන්‍ය වට ප්‍රමාණය අඩි පහක් හයක් පමණ බව පැවසේ.
ඉබ්බාගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් තේක්ක ගස් තොගය කපා රැගෙන ගොස් තිබෙන අතර අසල්වැසි ඉඩම් හිමිකරුවන් සිතා ඇත්තේ ප්‍රාදේශීය සභාවේ නියමයකට අනුව එම ගස් කැපීම සිදු කර ඇති බවය. මෙම ගස් කපා ඇත්තේ නීත්‍යානුකූල අවසරයකින් නොවන බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව ගස් තොගය කපා මාස තුනකට පමණ පසුව ප්‍රදේශවාසීන් විසින් කරන ලද නිර්ණාමික පැමිණිල්ලකට අනුව කුරුණෑගල ප්‍රාදේශීය සභාව විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඇත.
කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ ලේකම් මහතා පැවසුවේ මෙය සභා අනුමැතියකින් තොරව කරන ලද සොරකමක් නිසා ඒ සම්බන්ධයෙන් තම නිලධාරීන් ලවා විමර්ශනයක් සිදු කර ලද තොරතුරු අනුව දොරටියාව පොලීසියට මේ පිළිබඳව පැමිණිලි කළ බවය. දොරටියාව පොලීසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළද පොදු ඉඩම් කොටස අයත් වන්නේ මෑතකදී පිහිටවූ බෝගමුව පොලිස් ස්ථානයට බව දැන ගැනීමෙන් පසුව ඉදිරි පරීක්ෂණ කටයුතු මේවනවිට බෝගමුව පොලීසියට බාරදී ඇත.
ප්‍රදේශවාසීන් පවසන්නේ මේ තරම් විශාල ගස් ප්‍රමාණයක් කපා රැගෙන යන තුරුම කුරුණෑගල ප්‍රාදේශීය සභාව ඒ සම්බන්ධයෙන් දැනුවත් නොවීම විමතියට කරුණක් බවය.
කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව ගස් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බෝගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දිකා දැල්කදුර මහත්මිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.