අරගලය පිළිබද පරික්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට – නදීක දයා බණ්ඩාර – මහනුවර

 

අරගලයට සම්බන්ධ පරීක්ෂ රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

ඩයස්පෝරාව මගින් විශාල මුදල් සම්භාරයක් අරගලය වෙත යොමු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබදව විධිමත් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන බව ද ජනාමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ වත්තේගම නගර සභා ශාලාවේදී අද (13) පැවැති ජන හමුවකට සහභාගීවෙමිනි.

පොදු දේපලට හානි කරමින් සිවිල් ජනතාව යොදා ගනිමින් සිදුකළ අරගලයේ සැබෑ මොළ කරුවන් හදුනා ගැනීම මෙහි  අපේක්ෂාවක් බව කී අමාත්‍යවරයා සාමාන්‍ය වැසියන් වරදකරුවන් බවට පත්වීම වැළක්වා ගත යුතු යැයි කීවේය. පොදු දේපොලට හානි කිරීමේ වරදට අරගලයට සම්බන්ධ සිවිල් වැසියන් වරදකරුවන් බවට පත් වුවත් ඔවුන් ඊට පොළඹවා ගත් පිරිස් හදුනා ගැනීම මෙම විමර්ශනයේ අරමුණ යැයි රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

විදෙස්ගත ඩයස්පෝරාව විවිධ කුමන්ත්‍රණ දියත් කිරීම සඳහා මේ අයුරින් මුදල් ලබා දෙන බව ද අමාත්‍යවරයා කීවේය.

හැත්තෑපස් වසරක් තිස්සේ රට සංවර්ධන නොවූ බව ඇතැමුන් ප්‍රකාශ කළත් දැවැන්ත මාර්ග සංවර්ධන ව්‍යාපෘති, ජල සැපයුම, විදුලි බලය, ගුවන් තොටුපොල, වරාය, අංග සම්පූර්ණ පාසල් පද්ධති ආදිය බිහි වුණේ නිදහසින් පසුව යැයි ද අමාත්‍යවරයා කීහ. නමුත් තිස් වසරක් තිස්සේ පැවැති ත්‍රස්තවාදය, විවිධ සිවිල් අරගල, කොවීඩ් වසංගතය වැනි හේතු නිසා විටින් විට එම සංවර්ධනයට බාධා එල්ලවූ බවත් ශාන්ත බණ්ඩාර මහතා කීහ.

විවිධ බාධා එල්ලවුවත් පවතින ආර්ථික අභියෝග ජයගෙන ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථිකයක් හිමි රටක් බවට පත්කිරීමට හැකියාව ලැබෙන බව ද ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, සමන්ප්‍රිය හේරත්, මංජුලා දිසානායක යන මහත්ම මහත්මීන් ද මෙහිදී අදහස් දැක්වීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed