අපේ රටේ තීරණාමත්ක ලෙස දේශපාලන කඳවුරු දෙක බෙදිලා ඉවරයි. දැන් අපිට තිබෙන්නේ පළවෙනියා වෙනවද දෙවැනියා වෙනවද කියන සටනයි… ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

ජාතික ජන බලවේගයේ ජා ඇල ආසන සමුළුව

 

දශක ගණනාවක් තිස්සේ අපේ රටේ ජනතාව වෙනසක් උවමනාවෙන් ආණ්ඩු හැදුවා. ආණ්ඩු පෙරළුවා. ආපසු හැරී බැලුවාම වෙනසක් වෙලා නැහැ. අපේ රටට උවමනා සැබෑ වෙනසක්. අපේ රටේ ජනතාව නායකයෝ, ආණ්ඩු වෙනස් කළා. නමුත් දේශපාලන සංස්කෘතිය, ආර්ථික පිළිවෙත, ප්‍රතිපත්ති කිසිවක් වෙනස් වුණේ නැහැ. අපේ රටට දේශපාලන සංස්කෘතියේ, ආර්ථික ප්‍රතිපත්තියේ, සහ යහපත් සමාජ වෙනසක් අවශ්‍යයි. දශක ගණනාවක් තිස්සේ ජනතාව බලාපොරොත්තු වෙන ඒ සැබෑ වෙනස සිදු කරන්න ජාතික ජන බලවේගයේ අපි සූදානම්.

මේ දෙගොල්ලෝ පාටවලින් විතරයි වෙනස්. දේශපාලනයේදී මේගොල්ලෝ කණ්ඩායම් දෙකක් නොවෙයි, එකක්. ක්‍රියාවන්ගෙන්, ප්‍රතිපත්තිවලින් සමානයි. වෙනසක් බලාපොරොත්තුවෙන් රනිල් වෙනුවට මහින්ද හෝ මහින්ද වෙනුවට රනිල් හෝ බලයට පත්කිරීමෙන් ඵලක් නැහැ. ඒගොල්ලෝ දෙකක් නොවෙයි, එකක්. විකුණපු හම්බන්තොට වරාය පවරගන්න, පාස්කු ප්‍රහාරකයාට දඩුවම් දෙන්න, මහ බැංකු හොරා රනිල් වික්‍රමසිංහට දඬුවම් දෙන්න, ගෝඨාභය බලයට පත්කරනවා. නමුත් ගෝඨාභය ගෙදර ගිහින් ඒ ඡන්දයෙන්ම රනිල් ජනාධිපතිවෙලා. මෙහෙම වෙන්නේ කොහොමද? මේ සියල්ලෙන්ම පෙන්වන්නේ දේශපාලනයේදී, ඒගොල්ලෝ කණ්ඩායම් දෙකක් නොවෙයි, එකක් බවයි. නිමල් සිරිපාල 1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේත් ඇමති. 2005 මහින්දගේ ආණ්ඩුවේ ඇමති. 2015දි රනිල්-මෛත්‍රී ආණ්ඩුවේත් ඇමති. 2019දි ගෝඨාභයගේ ආණ්ඩුවේත් ඇමති. 2023 රනිල්ගේ ආණ්ඩුවේත් ඇමති. වෙනස් වෙන්නේ නැහැ. මහින්ද අමරවීර චන්ද්‍රිකාගේ ආණ්ඩුවේු මහින්දගේ ආණ්ඩුවේ, රනිල්-මෛත්‍රී ආණ්ඩුවේ, ගෝඨාභයගේ ආණ්ඩුවේ, රනිල්ගේ ආණ්ඩුවේ ඇමති. තමුන්නාන්සේලා වෙනස් කරනවා. නමුත් එයාලා හැමදාම බලයේ ඉන්නවා. නමුත් දැන් ජනතාව ඇත්ත වෙනසක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඒගොල්ලෝ මහජන ධනය හොරකම් කරනවා, නාස්ති කරනවා, තමන්ගේ හත්මුතු පරම්පරාවට හම්බකර ගන්නවා. තමන් වටා ඉන්න මැරෑටියන්ට සලකනවා. එයාලා වටා ඉන්න දූෂිත වළල්ලක් ආරක්ෂාකර ගන්නවා. පාතාලය පෝෂණය කරනවා, කුඩු ව්‍යාපාරිකයන්ට ආරක්ෂාව දෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ, ඉල්ලන්නේ මෙන්න මේවායේ වෙනසක්. මේ රටේ ජනතාවගේ හදවතේ බුර බුරා නැගෙන වේදනාවේ, කෝපයේ සටන් පාඨය තමයි ජාතික ජන බලවේගය නියෝජනය කරන්නේ.

රජයේ මුදල් විගණනය කරන විගණකාධිපතිවරයා පසුගියදා වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාවේ කියනවා ව්‍යාපෘති වෙනුවෙන් කෝටි ලක්ෂ අටක ණයක් අරගෙන තිබෙන බව. මේ අරගෙන තිබෙන ණය මුදලෙන් කොතරම් ව්‍යාපෘති කරලා තිබෙනවාද? ඒ ව්‍යාපෘතිවල වටිනාකම කොපමණද යන්න විගණනය කර තිබෙනවා. ණය වලින් කරලා තිබෙන ව්‍යාපෘතිවල වටිනාකම කෝටි ලක්ෂ දෙකයි. කෝටි ලක්ෂ හයකට සිදුවූයේ මොකක්ද? 25%ක ව්‍යාපෘති කරලා 75%ක් හොරාකාලා තිබෙනවා. භාණ්ඩාගාරයට ආපු ධනයයි මේ හොරකම් කරලා තියෙන්නේ. ඒ වගේම භාණ්ඩාගාරයට එන්න තිබෙන ධනයත් හොරකම් කරනවා. සීනි බදු වංචාව එහෙම එකක්. සීනි කිලෝ එකක බද්ද රුපියල් 50/-යි. එක රැයකින් එම බදු මුදල ශත 25ක් කළා. එක් හිතවත් ව්‍යාපාරිකයෙක් සිනී කිලෝවට බදු ශත 25 ගණනේ නිදහස් කර ගත්තා. නමුත් පරණ මුදලටම විකිණුවා. සීනි කිලෝ එකකින් 49.75ක් භාණ්ඩාගාරයට එන්න තිබුණ ධනය පුදගලයන් කිහිප දෙනෙක් අතට ගියා. විගණන වාර්තාවේ කියනවා අයථා විදියට රුපියල් කෝටි 1500ක් ව්‍යාපාරිකයින් හම්බ කළ බව.

මේ ළඟදි තිරිඟු පිටිවලටත් මේ වැඬේ කළා. ක්‍රම දෙකකට ප්‍රීමා ආයතනයත්, සෙරන්ඩිබ් ආයතනයත් පිටි ආනයනය කළා. කෙලින්ම තිරිඟු පිටි ආනයනයත් තිරිඟු ඇට ආනයනය කොට පිටි බවට පත්කොට වෙළඳපොළට යැවීමත් කරනවා. ජනවාරි මාසයේ ලෝක වෙළඳපොළේ පිටි මෙට්්‍රක් ටොන් එකක් ඩොලර් 535/-යි. ජුනි මාසය වන විට ඩොලර් 355/-යි. ජනවාරි මාසයේ ඩොලරය 365/-යි. ජුනි මාසයේ ඩොලරය 310/-ට අඩු වුණා. පිටි කිලෝ එකක් වරායෙන් බානකොට රුපියල් 110/-යි. ආනයන කරන පිටිවලට රුපියල් 35/ක බද්දක් ගැහුවා. ප්‍රවාහන ගාස්තු, ගබඩා කුලී, විකුණුම් ලාභය තබාගෙන පිටි කිලෝ එකක් රුපියල් 165/-කට දිය හැකියි. මෙසේ තිබියදී රනිල් වික්‍රමසිංහ පිටි ආනයනය තහනම් කොට ගැසට් එකක් ගැහුවා. දැන් ආනයනය කරන්නේ තිරිඟු ඇට පමණයි. ඇටවලට බද්ද කිලෝ එකට රුපියල් 3/-යි. ඇට ගෙන්වා අඹරා පිටි කිරිම ඉතාම ලාභයි. නමුත් ඇට ගෙන්වා හදන පිටි කිලෝ එක රුපියල් 210/-යි. පිටි කිලෝ එකකින් රුපියල් 50/-කට ආසන්න ලාභයක් ලබනවා. මාසෙකට පිටි මෙට්්‍රක් ටොන් 600ක් විකිණෙනවා. මේ ලාභය බද්දක් ගහලා භාණ්ඩාගාරයට ගත යුතුයි. නැතිනම් ජනතාවට පිටි අඩුමිලට ලැබිය යුතුයි. මේ ලාභය කොම්පැනි දෙකකට ගලාගෙන යනවා. ඒ අයගේ ගජ මිත්‍රයෝ. ඒ නිසා අපිට වෙනසක් ඕනෑ. මහජනයාගේ ධනය සොරකම් කරනවා වෙනුවට මහ ජනයාගේ ධනය පරෙස්සම් කරන දේශපාලනයක් ඕනෑ. අන්න ඒ වෙනස ඇති කරන්නේ ජාතික ජන බලවේගයයි.

ධනය බලය තිබෙන කෙනාට එක නීතියක්. දුප්පත්, දුබල කෙනාට තවත් නීතියක්. සැමට සාධාරණ නීතියක් අවශ්‍යයි. අපේ රටේ දුප්පත් මිනිස්සු සමහර බෙහෙත්වල පරීක්ෂණාගාරවල මීයො වගේ. මිනිස්සුන්ට බෙහෙත් දීලා බලනවා බෙහෙත හොඳද නරකද කියලා. පාලකයාගේ ජීවිතය වගේම මේ රටේ ජීවත්වෙන සාමාන්‍ය පුරවැසියාගේ ජීවිතයත් සමාන කොට සලකන ආණ්ඩුවක් අපිට අවශ්‍යයි. පාලකයාට පුරවැසියාගේ වේදනාව දැනෙන්න ඕනෑ. නමුත් අපේ රටේ පාලකයාට එහෙම දැනෙන්නේ නැහැ. ගොවි පවුල් 65000ක් උඩවලවේ ජලාශයෙන් වතුර ඉල්ලන කොට, ඒවට වතුර දුන්නොත් ලයිට් නැතිව යනවා ඒ නිසා ලයිට්ද ඕන, කුඹුරට වතුරද ඕන කියලා ජනතවාගෙන් අහනවා. මොන පාලකයොද මේ. ජනතාවගෙන් එහෙම අහන්න තරම් තෙතමනයක් නැති පාලකයෝ.

ත්‍ම් පාලකයෝ ජනතා මුදල් හොරා කනවා කියලා අපි එදා ඉඳල කිව්වා. නිමල් පෙරේරාගේ එකවුන්ට් එකේ නාමල්ගේ සල්ලි තිබෙන බවත්, චීන සමාගම්වලින් මහින්දට, බැසිල්ගේ නෝනට පුෂ්පට සල්ලි ලැබී තිබෙන බවත්, අපි කිව්වා. එදා සමහරු අපිට කිව්වා රාජපක්ෂලා කෙරෙහි වෛරයෙන්, තරහෙන් ජවිපෙ සමහර දේවල් කියනවා කියලා. නමුත් අද එදාට වඩා වෙනස්. ජනතාව ඒ ඇත්ත තේරුම් අරගෙන තිබෙනවා.

අද ලංකාවේ පළමු වතාවට කේන්ද්‍ර දෙකක් ගොඩනැගී තිබෙනවා. රනිල්, මහින්ද, සජිත් කේන්ද්‍ර කරගත් එක කේන්ද්‍රයක් සහ මහජනතාව කේන්ද්‍රකරගත් ජාතික ජන බලවේගය තව කේන්ද්‍රයක්. ප්‍රධාන දේශපාලන බෙදීම සිදුවී අවසන්. දැන් ඉදිරියේ තිබෙන්නේ එක වෙන්නේ කවුද? දෙක වෙන්නේ කවුද කියන එකයි. ඊයේ පෙරේදා නිකවැරටියේ සමුපකාර චන්දයෙන් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන එන්.පී.පී. එක ජයග්‍රහණය කර තිබෙනවා. නියෝජිතයෝ සියයෙන් 71ක් මාලිමාවට. ස්වාධීන කණ්ඩායමට 20යි පොහොට්ටුවට 9යි. අනෙක් පක්ෂ සියල්ලම එකතු වුණත් වැඩි බලය තිබෙන්නේ එන්.පී.පී. එකට. මේ ප්‍රතිඵලයෙන් ජන මනස ක්‍රියාකර තිබෙන ආකාරය අපට තේරුම් ගත හැකියි.
නමුත් අපි දන්නවා මේගොල්ලෝ ලේසියෙන් බලය අත්හරින්නේ නෑ. ඒගොල්ලෝ පරම්පරා ගානකට දේශපාලන සිතියම එළලා තිබෙන්නේ. ඒක රැකගන්න කළ හැකි සියලුම දේ කරනවා. රනිල් බලාගෙන ඉන්නවා එයාගේ මස්සිනා රුවන් විජේවර්ධනට බලය ලබාදෙන්න. මහින්ද නාමල්ට බලය ලබාගන්න උත්සාහ ගන්නවා. ජාතික වශයෙන් වගේම ප්‍රාදේශීය වශයෙනුත් ඒ ගොල්ලෝ පවුල් සිතියම එළලා තිබෙනවා. එන්.පී.පී. බලයට ආවොත් පරම්පරා ගණනකට එලා තිබෙන බල සිතියම එතනින් අවසන් වෙනවා.

ඒ විතරක් නොවෙයි, ඒ ගොල්ලෝ වටේ ඉන්නවා ඩීල්කරුවෝ ටිකක්. 77න් පස්සේ සාම්ප්‍රදායික කර්මාන්ත මත පදනම්වූ ව්‍යවසායකයා වෙනුවට ඩීල්කරුවෝ ටිකක් උඩට ආවා. ඒගොල්ලන්ට ආරක්ෂාව සපයන අනුර සේනානායකලා, දේශබන්දුලා වගේ පොලිසියේ කණ්ඩායමක් ඉන්නවා. ඒකට ගැලපෙන රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා. ඒගොල්ලන් සමග සමීපව ගනුදෙනු කරන පාතාලයක් ඉන්නවා. ජාතික ජන බලවේගයෙ හැප්පෙන්නේ මෙන්න මේ කඳවුරත් එක්ක. ඒ කඳවුරට විශාල ධනස්කන්ධයක්, විශාල මාධ්‍ය ජාලයක් තිබෙනවා. රාජ්‍ය බලය තිබෙන්නේ එයාල අතේ. මේ නිසා මේ අය බලය ලෙහෙසියෙන් අත් හරින්නේ නෑ. නමුත් ඉතිහාසය ඔප්පුකොට තිබෙනවා මේ හැම බලයකටම වඩා ජන බලය ඉතාමත් ප්‍රබලයි කියලා.

දැන් අපිට කරන්න වැඩක් තියෙනවා. ඔබ සෑමදෙනාම පුළුවන් විදියට හැම ගෙදරකටම ගිහින් ජනතාවට කතා කරන්න ඕනෑ. ඒ ගොල්ලන්ගේ ධනයට, මාධ්‍යවලට, බලයට යට නොවෙන ජනතාවක් අපි හදන්න ඕනෑ. අපි ජාතික වශයෙන් අපේ වැඬේ කරනවා. පහළ බිම් මට්ටමේ වැඩෙ කරන්න ඕනෑ ඔබ. අපි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය හදා තිබෙනවා. එම සංවිධානය දැන් සෑම ආසනයකම ප්‍රබලව ගොඩනැගෙමින් තිබෙනවා. විශ්‍රාමික පොලිස් ඒකකයක් හදන්න බලාපොරොත්තු වෙනවා. සෑම උසාවියක් කේන්ද්‍රකරගෙන නීතිඥ සංගම්, සෑම විශ්වවිද්‍යාලයකම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම්, සෑම අමාත්‍යාංශයකම අවශ්‍යවන සේවකයින්ගේ යාන්ත්‍රණයක් අපි හදනවා. කලාකරුවන්, ක්‍රීඩකයන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් මේ සෑම දෙනාම එකතු කරනවා, සංවිධානය කරනවා. මේ රට ගොඩනඟන්න පුළුවන්, පාලනය හසුරුවන්න පුළුවන්, වෘත්තියවේදීන්, විද්වතුන්, ව්‍යාපාරිකයන් අපි එකතු කරනවා. ඔබ ගම ඇතුලේ සාමාජිකයා එකතු කරන්න.

ලෝකයේ වසංගත ආවත්, යුද්ධ තිබුණත්, මූල්‍ය කඩාවැටීමක් ආවත්, ඔරොත්තු දෙන රටවල් කිහිපයක් තිබෙනවා. ඉන්දියාව මහා නිෂ්පාදනයෙන් පොහොසත් රටක්. අයි.ටී. ක්ෂේත්‍රයේ උඩින්ම ඉන්නේ ඉන්දියානුවෝ. ගූගල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ඉන්දියාවේ. ඉන්දියාව අභ්‍යවකාශ තරණයට සූදානම්, හතරවන වරටත් හඳට යාමට සූදානම්, න්‍යෂ්ටික බලය අත්හදා බැලීමට සූදානම්, පරමාණු බලශක්ති නිෂ්පාදන කරන, මෝටර් රථ නිෂ්පාදනය කරන, බීජ පර්යේෂණයෙන් කප් ගසා තිබෙන, කිරි නිෂ්පාදනයෙන් ඉදිරියට පැමිණි, ඖෂධ නිෂ්පදනය කරන රටක් ලෙස ඉන්දියාව ඉදිරියට පැමිණ තිබෙනවා. හේතුව ඉන්දියාව නිෂ්පාදනය සහිත රටක්. චීනය, මැලේසියාව, දකුණු කොරියාව, වියට්නාමය නිෂ්පාදන ආර්ථිකයන් සහිත රටවල්. අද ලෝකයේ වේගවත්ම ආර්ථික දියුණුවක් වියට්නාමය අත්පත් කරගෙන තිබෙනවා. ලෝකයට විශාල ලෙසම භාණ්ඩ අලෙවි කරන්නේ චීනය.
අපේ රටට නව නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථිකයක් අවශ්‍යයි. අපේ පාලකයන්ට එහෙම ගමනක් තිබුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ බලයට ඇවිත් වසරක් ගෙවුණත් කුමන හෝ නිෂ්පාදනයක් දිරි ගැන්වීමට යෝජනාවක් හැදුවේ නැහැ. අපේ රට කාලයක් බිත්තරවලින් සංතෘප්ත වෙලා තිබුණා. අපට අවශ්‍ය කුකුල් මස් ටික හැදුවා. කොවිඞ් වසංගතය, බඩ ඉරිඟු ගේන්න ඩොලර් නැතිවීම, පොහොර නැති නිසා බඩඉරිඟු නිෂ්පාදනය කඩා වැටීම නිසා කුකුලන් සඳහා අවශ්‍යවන ආහාර නැතිවුණා. කුකුල් කර්මාන්තය කඩා වැටුණා. බිත්තර කර්මාන්තය නගා සිටුවන්න කිසිවක් කළේ නැහැ. බිත්තර ගොවිපොළවල් 11,000ක් වසා දමා තිබෙනවා. රනිල් රජපක්ෂ ආණ්ඩුව කියනවා ඉන්දියාවෙන් බිත්තර, කුකුල් මස් ගේන එක ලාභයි කියලා. තිබුණු කර්මාන්තයවත් රැකගන්න බැරි වුණු පාලකයෝ.
කර්මාන්ත සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය, අමුද්‍රව්‍ය, තාක්ෂණය ලබාදී කර්මාන්තය උඩට ගේන්න පාලකයෝ ක්‍රියාකරන්න ඕනෑ. අක්කර 65,000ක් වතුර නැතිව කුඹුරු ටික වේලිලා යනකොට පාලකයන්ට ගාණක් නැහැ. අපි හාල් ගෙනත් දෙන්නම්, කියනවා. නිෂ්පාදනයට අත තබන්නේ නැහැ. අද ත්‍රිපෝෂ කර්මාන්තය කඩා වැටිලා. ගැබිනි මව්වරුන්ට, දරුවන්ට අවශ්‍යවන පෝෂණයට ත්‍රිපෝෂ ටික දුන්නා. අද ඒ කර්මාන්තය කඩා වැටිලා. වාලච්චේන, ඇඹිලිපිටියේ කඩදාසි කර්මාන්තය, හිඟුරාන, කන්තලේ සීනි ෆැක්ටරි, පරන්තන්වල රසායන කර්මාන්තය, සපුගස්කන්දේ පොහොර, නයිලෝන් සික්ස්, කෘමිනාශක, වල්නාශක, සිපෙට්කෝ, ඉටිපන්දම්, කර්මාන්ත සියල්ල වසා දැමුවා. පොල් කර්මාන්තය කඩා වට්ටලා විනාශ කළා. රනිල් රාජපක්ෂලාගේ ආර්ථික ක්‍රියාමාර්ගය, ණයක් ගන්නවා, රටින් බඩු ටිකක් ගේනවා. ඊළඟ වසර පහ දුවනවා; එච්චරයි. එහෙම රටක් ගෙනයන්න පාලකයෝ අවශ්‍ය නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යනු අපේ රටේ සම්පත් ලෝක වෙළඳපොළ, අපේ කළමනාකරණය, තාක්ෂණය, මේ සියල්ලම ඒකාබද්ධ කර ගත් නව නිෂ්පාදනයට පරිවර්තනය වන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමයි.

අපේ පොල් කර්මාන්තකරුවා කියනවා තිබෙන පොල්ගස්වලට සාත්තු කළහොත්, තිබෙන ප්‍රමාණයට වඩා 20%කින් නිෂ්පාදනය වැඩිකර ගත හැකියි කියලා. හරියට වැඩපිළිවෙලක් හැදුවොත් පොල් නිෂ්පාදනවලින් වසරකට ඩොලර් බිලියනයක ආර්ථිකයක් හැදිය හැකියි. ශ්‍රී ලංකාවේ නිල් මැණික් ඉතා වටිනාකමක් සහිතයි. මැණික් පිළිස්සීමේ හා කැපීමේ දියුණු තාක්ෂණය අපි ළඟ තිබෙනවා. අපිට මැණික් කර්මාන්තය දියුණු කිරීමෙන් ඩොලර් බිලියන එක හමාරක ආර්ථිකයකට යාමට හැකියාව තිබෙනවා. ලංකා තේවලට ‘සිලෝන් ටී’ නමින් ජාත්‍යන්තරයේ හොඳ වටිනාකමක් හා ඉල්ලුමක් තිබෙනවා. ලංකාවේ පිහිටීම මත දැවැන්ත නාවික කේන්ද්‍රයක් ගොඩනැගිීමේ හැකියාව තිබෙනවා. ලෝකෙ තිබෙන වැදගත්ම ස්වභාවික වරායවලින් එකක් ත්‍රීකුණාමල වරාය. එතන තිබෙනවා අපේ ආර්ථිකයට හොඳ වටිනාකමක්. සංචාරක කර්මාන්තයට ඉතාමත් යෝග්‍ය රටක්.

අපට රට පොහොසත් කිරීම සඳහා අවශ්‍ය මෙවලම් ඕනෑ තරම් තිබෙනවා. අපි හොඳ සැලසුමක් හදල දියත් කරන්න ඕනෑ. අපි සැලසුම හදලා තිබෙනවා. විකුණන හා ණය අරගෙන ජීවත්වෙන ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට මේ රට ස්වෝත්සාහයෙන් නැගිටින්න ඕනෑ. අපි අවුරුදු දෙක තුනක් පොරබදලා මේ වැඬේ කරමු. ජාත්‍යන්තර සහයෝගය ඇතිව නව නිෂ්පාදන ආර්ථිකයක් මේ රටේ ඇති කරමු. ණයට ජීවත්වීමේ ඇති ඵලය කුමක්ද? අපි ලෝකයේ හෑල්ලුවට පත්වූ රටක්. අපේ රටත්, ජනතාවත් දුප්පත්. අපිට විශාල වැඩ කොටසක් තිබෙනවා. අපි එක්වෙමු. මේ රට පොහොසත් රටක් බවට පත්කරමු. කිසිම රටක් පිළිනොගන්නා අපේ රටේ පාස්පෝර්ට් එක ඉහළ පිළිගැනීමක් සහිත පාස්පෝර්ට් එකක් හිමි රටක් බවට පත්කරමු. ඒ වෙනුවෙන් ඥාතීන්, හිතවතුන් හමුවී දැනුවත් කරමු. රටේ ප්‍රබලතම කඳවුර මාලිමාව බවට පත්කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *