ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ  ගේ තේවාව  ඉදිරි වර්ෂය සඳහා මල්වතු මහා විහාර පාර්ශවයට – නදීක දයා බණ්ඩාර – මහනුවර

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා අස්ගිරි මහ විහාර පාර්ශවය වර්ෂයක් සිදුකළ තේවාව ඉදිරි වර්ෂය වෙනුවෙන් මල්වතු මහා විහාර පාර්ශවයට පැවරීම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී  (02) පස්වරුවේ සිදුවිය.

සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුාවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි සහ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ දෙනම සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් තේවාව පැවරීම සිදුවිය.

අධිරාජ්‍යවාදීන් සතුව තිබුණු ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වර්ෂ 1853 දී මල්වතු හා අස්ගිරි මහා නායක හිමියන් හා දියවඩන නිලමේවරයාට පැවරුණු අවස්ථාවේ සිට දළදා වහන්සේ වෙනුවෙන් තේවාව සිදුකිරීම එම දෙපාර්ශවය විසින් වර්ෂයෙන් වර්ෂයට සිදුකරති.

ඇසළ පුන් පොහෝ දිනට පසු දින මේ තේවා මාරුව සිදු කිරීම පුරාතනයේ සිට පැවත එන චාරිත්‍රයක් වන අතර තේවා කටයුතු පැවරෙන පාර්ශ්වය නියෝජනය කරමින් ඒ සඳහා සුදුසු භික්ෂූන් වහන්සේ පත් කිරීම  අදාළ පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුමැතිය යටත්ව සිදුවේ.

තේවා කටයුතු භාරව පස් නමක් පත් කරනු ලබන අතර දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින දළදා මන්දිරය සඳහා කාරක සංඝසභාව නියෝජනය කරන ජ්‍යේෂ්ඨ ස්වාමීන් වහන්සේ තෙනමක් පත් කරන අතර පල්ලේ මාලයට එක් නමක් හා පත්තිරුප්පුවට එක් නමක් වශයෙන් දෙනමක් පත් කිරීම මෙහිදී සිදුවිය.

ශ්‍රී දළදා මාලිගාවේ ලේකම්තැන තේවා මාරුව සිදු වන අවස්ථාවේ වට්ටෝරු පොත රැගෙන ඉහළ මාලයේ ඇති සියලු බඩු භාණ්ඩවල ලේඛනය පරීක්ෂා කිරීමෙන් පසු එම වසර සඳහා තේවාවට පැමිණෙන නාහිමියන් විසින් භාණ්ඩ භාර ගැනීම සිදු කරනු ලබයි. අනතුරුව තේවා මාරුව සිදු වෙයි. තේවා කටයුතු වෙනුවෙන් මහා සංඝරත්නයට සහාය වීම පිණිස දියවඩන නිලමේ විසින් නිල වශයෙන් ගිහි පිරිසක්ද පත් කිරීම අතීතයේ පටන් එන චාරිත්‍රයකි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed