ආගමික සබඳතා රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කිරීම සුදුසුයි –  ඇමති විදුර කියයි  –  මෙලනි මානෙල් පෙරේරා 

 
අන්තර් ආගමීක සම්බන්ධතාව රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත්කිරීම තුළින් එක් එක් ආගම්   තුළ සහ ආගම්  අතර ඇති තරගය නවත්වා, ඒතුළින් කරුණාවන්ත හදවත් ඇති ආදරය තුළ ජීවත්වෙන මිනිසෙක් සමාජයට ලබාදීමට කටයුතු කළයුතුයි” යනුවෙන් බුද්ධශාසන, ආගමීක හා සංස්කෘතික ඇමති විදුර වික්‍රමනායක ප්‍රකාශ කළේය.

“ආගම් වශයෙන් වෙන් නොවුණු, මනුස්සකමින් පිරුණූ මිනිසෙක් හදන්නට අපි වැඩපිළිවෙලක් හදන්න ඕනේ. සියලුම ආගමීක ශාස්තෘන්වහන්සේලාත් , ආගමීක නායකයෝත් ප්‍රකාශකරන්නේ මේ මනුස්සකම ගැනයි. අද, මනුස්සකම සෑදිම රජයට තිබෙන විශාල අභියෝගයක්. එක් එක් ආගමිවලට විවිධ තර්ජන තිබෙනවා. සෑම ආගමකම මුල් ඉගැන්වීමත් එක්ක ප්‍රායෝගික දරුවෙක්, මිනිසෙක් සමාජයට බිහිකරන්නේ කෙසේද කියලා අපිට අභියෝගයක් තියෙනවා. ඒ සඳහා පල්ලියෙන් පන්සලෙන් කෝවිලෙන් මොස්ක් එකෙන් අපිට උදව් අවශ්‍යකරනවා. ප්‍රදර්ශනවලින් ලබාදෙන අවදිකිරීම තුළින් නොනැවතී, යහපත් පුරවැසියෙක් සමාජගත කරන්න පියවර ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි.” ඇමති විදුර වික්‍රමනායක පැවසුවේය.


අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ, බහු ආගමීක දහම්පාසැල් දරුවන් අතර අවබෝධය, ආදරය සහ එකමුතුකම වර්ධනය කිරීමේ උත්සාහයක් ලෙස, අන්තර් ආගමික අධ්‍යාපනික ප්‍රදර්ශනයක් සහ සංස්කෘතික වැඩසටහනකදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“ආගම් සහ ජාති සීමාවෙන් ඔබ්බට ආදරය”, යන තේමාව මූලික කරගනිමින් කොළඹ අගරදගුරු පදවි සමාජ සේවා හස්තය වන “සෙත් සරණ” – කරිටාස් ආයතනය, සහ ක්‍රිස්තියානි ආගමීක කටයුතු දෙපාර්තමේන්තුව අත්වැල් බැඳ ගනිමින්
 සංවිධානය කළ මෙම අන්තර් ආගමීක ප්‍රදර්ශනය හා සංස්කෘතික වැඩසටහන පසුගිය ඉරිදා – ජූලි 30 වන දින මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේදී දවස පුරා පැවැත්වුණි.
 
විවිධ ආගම් තුළ ඇති හරපද්ධතීන් සහ වටිනාකමි දරුවන්ට අවබෝධකර දීම සඳහා අන්තර් ආගමීක ප්‍රදර්ශනය සහ සංස්කෘතික වැඩසටහන අපි නියමු වැඩසටහනක් ලෙසට, කොළඹ අගරදගුරු පදවිය තුළ විශාල බහු ආගමීක ව්‍යාප්තියක් පවතින මීගමුව කලාපය තෝරාගත් බව, කරිටාස් ‘සෙත් සරණ’ වැඩසටහනේ සම්බන්ධීකාරිකා දිලුනි තරංගනී මෝජෝ පුවත් වෙත ප්‍රකාශ කළේය.
 
විවිධත්වය තුළ ඇති ඒකත්වයේ සුන්දරත්වය අත්විදින්නට අනාගතය භාර ගන්නට ඉන්න දැයේ දරුවන්ට නිවරැදි මග විවර කරදෙන්නට කොළඹ අගරදගුරු පදවි “සෙත් සරණ” කරිටාස් ආයතනයට , රාජ්‍ය ආගමික කටයුතු දෙපාර්තමේන්තු ලබාදුන් අත්වැල විශාල ශක්තියක් බව ද ඇය කීවේය.
මේ සඳහා , බෞද්ධ කටයුතු, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු යන දෙපාර්තමේන්තුවලින් ද අපට ලබාදුන් සහයෝගය ඉතාම අගයකොට සිහිපත් කරන බව ද ඇය මෝජෝ පුවත් වෙත ප්‍රකාශ කළේය. 
කිතුණු ගෙදර, ඉස්ලාම් ගෙදර, හින්දු ගෙදර, බෞද්ධ ගෙදර, වශයෙන් නිර්මාණය කළ විශේෂ කුටි තුළින් ඒ ඒ ආගමීක හරයයන් සහ ව්‍යාප්තිය පිළිබඳව නැණවත් පුද්ගලයින් විසින් දැනුවත් කිරීම් සිදුකළ අතර, විවිධ ආගමීකයින් අතර එකිනෙකාට ගෞරව කිරීම, ඇහුම්කන්දීම සහ එකමුතුකම තුළ අධ්‍යත්මීක මෙන් ම ලෞකීක ජීවිතය දිනිය හැකිබව පොදු හමුවක් තුළින් බොදුණු , හින්දු , ඉස්ලාමි සහ කිතුනු ආගමීක නායකයින් විසින් දරුවන් හට පහදා දුණී.
 
ශුද්ධවූ බයිබලය, ත්‍රිපිටක පොත්වහන්සේ, බගවත්ගීතාව සහ ශුද්ධවූ අල් කුරානය යන බොදුණු , කිතුනු, ඉස්ලාම් සහ හින්දු ආගම් සතරේ මූලික ග්‍රන්ථයන්ගේ සිට එම ආගම්වල සියලුම සංඛේත, පිළිම, භාණ්ඩ, යැදුම් පත පොත , පූජා වත්පිළිවෙත් කරනු ලබන පොත පත සහ භාණ්ඩ, ඇඳුම් පැළඳුම් යනාදිය සියල්ලම දැකගන්නට සළස්වා තිබීම ඉතාම වැදගත් යැයි ප්‍රදර්ශනය නැරඹු දහම්පාසැල් ළමුන් කිහිප දෙනෙක්ම ප්‍රකාශ කළහ.
 
“ප්‍රධාන ආගම් හතර ගැනම හොඳ දැනුමක් එකම තැනකින් ලබාගන්න මේක මහඟු අවස්ථාවක් වුණා. ලංකාවේ අනෙක් ප්‍රදේශවල ළමයින්ටත් මේ අවස්ථාව ලැබෙනවා නම් මම කැමතියි. මොකද, ඒ තරමට මේ දවස ගොඩක් වටිනවා.” යන්න ඉස්ලාම් දහම් පාසලක් නියෝජනය කරමින් පැමිණ සිටි මුස්ලිම් දැරියකගේ අදහස විය.
“අපි මෙතනට ආවේ මීගමුවේ විජයරත්නම් හින්දු පාසල නියෝජනය කරමින්. ඇත්තටම අද අපිට සතුටු දවසක්. මොකද, අනිත් ආගම් වල අපි නොදන්න ගොඩක් දේවල් දැනගන්න ලැබුණා. ඒ වගේම තවත් සමහර අයව දැන හඳුනා ගන්න අවස්ථාවක් ලැබීම ගැන අපි සතුටු වෙනවා.” යැයි පිරිමි ළමුන් කණ්ඩායමක් කීහ.
“ආගම් සහ ජාති සීමාවෙන් ඔබ්බට ආදරය” අධ්‍යාපනීක ප්‍රදර්ශනය හා සංස්කෘතික වැඩසටහන නැරඹීම සඳහා පැමිණී ආගමීක නායකයින්ද අදහස් දැක්වූ අතර, පූජ්‍ය  විජේරියේ විමල හිමි මේසේ කීවේය.
 
“අද දවස ඉතාම එෛතිහාසික දවසක්. මන්ද, ආගම කියන කාරණාව තුළ ආදරය කියන කාරනාවට ලංවෙන්න හොඳින් ම පුලුවන් කියන එක පෙන්වන්න මේ දවස සුදානම්කරලා තියෙන්නේ. ලංකාව තුළ විවිධ ආගම් තිබෙනවා. නමුත් ඒ ආගම් තුළ බෙදෙන්නෙ නැතිව, එකතුවෙලා ආදරය සෙනෙහස මෛත්‍රීය කියන හැම කාරණාවක්ම ලෝකයටම බෙදාදෙන්න පුලුවන් කියන එක, මේ එකම කුටියක් තුළ ප්‍රදර්ශනය කරන්නට ගත් උත්සාහය තුළ අපට පෙනෙනවා, අපට දැනෙනවා.”
මෙපමණ කාලයක් තුළ දී අන්තර් ආගමීක නායකයෙකු වශයෙන් වැඩසටහන් රාශියකට සහභාගි වී තිබෙන නමුත් , එකම වහලක් යට සිට සියලුම ආගම් පිළිබඳව මනා අවබෝධයක් ලබාගන්න හැකිවන ආකාරයට , ඉතාම අර්ථවත්ව, ඉතාම උසස් මට්ටමින් සංවිධානය කරපු ප්‍රතම වැඩසටහන අද දවසේ පැවැත්වෙන මේ වැඩසටහන බව ඉතාම සතුටින් කියන්නට කැමති යැයි හසාන් මව්ලානා සෙයිද් මුස්ලිම් පුජකතුමා මෝජෝ පුවත් වෙත පැවසීය.
“මෙවැනි ම වැඩසටහන් ලංකාවේ දිස්ත්‍රික්ක 24 පුරාම පැවැත්වීම ඉතාමත් අත්‍යවශ්‍ය කාර්යයක් බව මේ අවස්ථාවේදි මම සෙත්සරණ ආයතනයටත් ආගමික කටුයුතු භාර ඇමතිතුමාටත් යෝජනාවක් ලෙසට ඉදිරිපත් කරන්න කැමතියි” යැයි ද හසාන් මව්ලානා පුජකතුමා ප්‍රකාශ කළේය. 
දහම්පාසැල් ළමුන්ගේ විවිධ කුසලතා වලට ද ඉඩ ලබාදෙමින් පැවැත්වුණු ඉතාම අලංකාර සංස්කෘතික වැඩසටහනකින් නිමාවුණු “අන්තර් ආගමීක ප්‍රදර්ශනය හා සංස්කෘතික වැඩසටහන” සඳහා,  ආගමීක කටයුතු සහ සංස්කෘතික කටයුතු භාර ඇමති විදුර වික්‍රමනායක ඇතුලු මීගමුව කටාන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී සීදූවේ සුමනවංශ ස්වාමින් වහන්සේ, පූජ්‍ය විජේරියේ විමල ස්වාමින්වහන්සේ , කුගදාස අයියර් තිරුපාකරන් කුරුක්කල්තුමා, රාමචන්ද්‍ර කුරුක්කල් බාබු සර්මා,  හසාන් මව්ලානා සෙයිද් පුජකතුමා, මාරිස්ටෙලා විදුහලේ විදුහල්පති සුනන්ද අල්විස් සහෝදරතුමා, කොළඹ පදවි ධර්මෝපදේශක අධ්‍යක්‍ෂක සුරංග නෝනිස් පියතුමා, සමග ක්‍රිස්තියානි ආගමීක කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම්වරයා ඇතුලු සියලුම නිළධාරීන්  සහභාගි වු බව සෙත්සරණ සම්බන්ධීකාරිකා දිලුනි තරංගනී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed