කොටි පැටව් වන ජීවී භාරයට -චන්දන ජයවීර – හැටන්

මස්කෙළිය, ග්ලැනුජි වතුයායේ තේ පඳුරු අතර සැඟව සිටියදී හමු වු කොටි පැටවුන් දෙදෙනා කොටි මවට රැගෙන යාමට දින කීපයක් සිදු කරන ලද මෙහෙයුම අසාර්ථක වු බැවින්, එම පැටවුන් දෙදෙනා රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයට රැගෙන යාම සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය අකලංක පිණිදිය මහතා භාරයට ගත්බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීහු පවසති.
කොටි පැටවුන් දෙදෙනා කොටි මවට රැගෙන යාමට වනජීවී නිලධාරීන් විසින් පැය 72 ක පමණ කාලයක් දැඩි පරිශ්‍රයක් දැරූ හනුත් , පැටවුන් රැගෙන යාමට කොටි මව පැමිණියේ නැති බව එම නිලධාරීහු කියති.
කොටි මව මෙම පැටවුන් දෙදෙනා රැගෙන යාමට නොපැමිණියේ බොහෝ විට කොටි මවට තවත් එක් කොටි පැටවකු සිටිය හැකි බවත්, එම පැටවාගේ ආරක්ෂාව සඳහා කොටි මව එම ප්‍රදේශයෙන් බැහැරව වෙනත් ප්‍රදේශයකට ගොස් ඇති බවට සැක කරන බවද එම නිලධාරීහු කියති.
වතුයායේ සේවය කරනු ලැබු කම්කරුවන් පිරිසක් විසින් මෙම කොටි පැටවුන් දෙදෙනා තේ පඳුරු යට සැඟව සිටියදී ඉකුත් (17) දින සොයා ගෙන එම පැටවුන් දෙදෙනා නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට භාරදීමට පියවර ගෙන තිබිණි.
දිවා කාලයට කොටි මව විසින් මෙසේ පැටවුන් ආරක්ෂිත ස්ථානවවල සඟවා ආහාර සොයා ගැනීමට යන බවත්, ජනතාව ඔවුන් අතරමංව ඇති පැටවුන් ලෙස සිතා අල්ලා ගැනීමට කටයුතු කරන බව වනජීවී නිලධාරීහු පවසති.
මිනිසුන් ඇල්ලීම නිසා මව් සතුන් මෙම පැටවුන් රැගෙන යාම ප්‍රතික්ෂේප කරන බවත්, මේ හේතුවෙන් මෙසේ හමුවන කොටි පැටවුන් ඇල්ලීමට යාමෙන් වැළැකී හැකිතාත් එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසත්, එසේ වුවහොත් ඉන් අනතුරුව කොටි මව පැමිණ එම පැටවුන් රැගෙන යාමට පියවර ගන්නා බව වනජීවී නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.