සංවිධාන 05ක තහනම ඉවතට!

2019 වස‍රේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව තහනම් කළ ඉස්ලාමීය සංවිධාන 11න් සංවිධාන 05ක තහනම, කොන්දේසි සහිතව අද, ජූලි – 17දා සිට ඉවත් කිරීමට සැළැසුම්කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය මගින් එම සංවිධාන නියෝජිතයන්ට දැනුම් දී තිබෙන බව වාර්තා වෙයි.

අද සඳුදා, ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර ඇත.

ඒ අනුව, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා (JASM) ,  ශ්‍රී ලංකා තව්හිද් ජමාත් (SLTJ), සමස්ත ලංකා තව්හිද් ජමාත් (ACTJ), ලංකා තව්හිද් ජමාත් (CTJ), සහ එක්සත් තව්හිද් ජමාත් (UTJ) යන ඉස්ලාමීය සංවිධානවලට පනවා තිබූ තහනම ඉවත් කිරීමට නියමිත ය.

අදාළ එම ඉස්ලාමීය සංවිධාන නියෝජිතයින් සහ ආරක්ෂක අමාත්‍යංශය අතර මේ මස 14 වෙනිදා  පැවති සාකච්ඡාවකදී අවධාරණය කර ඇත්තේ , එම වෙිලාවේ සිට පැය 48ක් තුළ මෙම තහනම ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවයි. එසේ නොවුණහොත් සඳුදා වන විට ඊට අදාළ කටයුතු සිදු වනු ඇති බව යැයි වාර්තා විය.

මෙම තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් ද පවරා තිබෙන බවත් , එසේ ම මෙම සංවිධාන හරහා මැද පෙරදිග රාජ්‍යයන් මගින් මෙරට ජනතාවට සහන සැලසීම සඳහා ලබාදුන් විශාල අරමුදල් ද අදාළ තහනම නිසා නතර වී ඇති බවත් The Time – thetime.lk වෙබි අඩවිය වාර්තා කර තිබුණි.

මෙම සංවිධාන තහනම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉස්ලාම් ආගමික ප්‍රධානීන් අතර පසුගිය දා සාකච්ඡාවක් ද පැවැත්වුණු අතර, මෙම සංවිධානවලට එරෙහිව චෝදනා ඇත්නම්, කඩිනමින් ඊට එරෙහිව පියවර ගන්නා ලෙසත්, එසේ චෝදනා නොමැති නම් මෙම තහනම් ඉවත් කරන ලෙසත් එම සාකච්ඡාවේදී ආගමික ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී බව වාර්තා විය.

තවද, අදාළ සංවිධාන මගින් මෙරට ජනතාවට ලබාදුන් සහන සහ ඒවා සිදු කළ ආකාරයත් , ඒවායේ විනිවිදභාවය සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකළ බව සඳහන් වෙයි.

ඉන්පසු ජනාධිපතිවරයා සහ ආරක්ෂක ප්‍රධානීන් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, බුද්ධි අංශ මගින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මෙම සංවිධාන පිළිබඳව විමර්ශන පැවැත්වූ අතර, මෙම තහනම ඉවත් කරනු ලබන සංවිධානවලට එරෙහිව කිසිදු චෝදනාවක් තහවුරු වී නැති බව යැයි වාර්ථා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed