“විරෝධතා සඳහා කොන්දේසි ප්‍රතිනිර්මාණය  කරනවා වෙනුවට…….” – ජෙහාන් පෙරේරා

 

බොහෝ අපේක්ෂා සහිතව ක්‍රියාත්මක කළ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනින් (DDR) පසුව කොටස් වෙළඳපොළේ ඉහළ අගයන් වාර්තා වී ඇති නමුත්, ජාතික ආර්ථිකය තවදුරටත් ගැඹුරු අවපාතයක පවතී. එහි නිෂ්පාදන ධාරිතාවක් නොමැති බව පෙනෙන අතර, සාමාන්‍ය ජනතාවට එම අවපාතයෙන් ගොඩඒමට අවශ්‍ය කෙරෙන මිලදී ගැනීමේ ශඛ්‍යතාවක්ද නොමැත. නිෂ්පාදන දාමයේ ඉහළම කෙළවරේ සිටින කර්මාන්තශාලා හිමියෝ පවා තම භාණ්ඩ හා සේවා සඳහා පාරිභෝගික ඉල්ලුමක් නොමැතිකම ගැන කණගාටුවෙන් පසුවෙති. ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට මිනිසුන් සතුව මුදල් නැත. දිනකට ලොරි 60 ක් පිටතට ගිය ඇතැම් කර්මාන්ත ශාලාවලින් දැන් දිනකට පිටතට යන්නේ ලොරි 03ක් පමණකි. එසේත් නැතිනම් 200ක පිරිසක් සේවය කළ කර්මාන්ත ශාලාවල දැන් සේවය කරන්නේ සේවකයන් 50ක් පමණකි. පුවත්පත් බෙදාහරින්නකු පැවසුවේ තමා වෙත ලැබෙන රජය සතු පුවත්පත්වල අලෙවිය පහත වැටී ඇති බවයි. කාර්යාල විසින් ඒවා මිලදී ගැනීමට පුරුදුව සිටි නමුත්, අසල්වැසි ප්‍රදේශවල ඒවා බෙදාහැරි කාර්යාල 18න් 15ක්ම වසාදමා ඇති බව ඔහු පැවසීය.
 
ආර්ථික පුනර්ජීවනය සඳහා අන්තර්ජාතික අවශ්‍යතා සපුරාලීමට රජය උපරිමයෙන් කටයුතු කරයි. ආර්ථිකය යළි ආරම්භ කළ හැකි ප්‍රධාන සම්පත් ගලාඒම සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රජාවට වෙනසක් සිදුකළ හැකිය. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) අනුමැතිය යනු අනෙකුත් අන්තර්ජාතික ආර්ථික හවුල්කරුවන්ට ඔවුන්ගේ සහතිකය ලබාදීමට හැකි අන්තර්ජාතික ප්‍රමිතියයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ නිරතවීමෙන් ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමේ දුෂ්කර ගමන ආරම්භ කර ඇත. බදු ආදායම වැඩිකිරීම හෝ අයවැය හිඟය නිර්දේශිත ප්‍රතිශතයකින් අඩුකිරීම මගින් ආර්ථික තිරසාරභාවය සඳහා ඉලක්ක IMF විසින් සකසනු ලබයි. එම ඉලක්ක සපුරා ගන්නේ කෙසේද යන්න තීරණය කරන්නේ ශ්‍රී ලංකා රජය විසිනි. රජය තෝරාගෙන ඇත්තේ සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීමේ උත්සාහයක් වෙනුවට, පෞද්ගලික අංශයෙන් සහ එහි සාමාජිකයන්ගෙන් සිය වියදම් පියවා ගැනීමට උත්සාහ කරන මාවතකි.
 

ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය ඔස්සේ ප්‍රධානතම හානියක් සිදුවන්නේ පසුගිය දශක කිහිපය තුළ අනුප්‍රාප්තික ආණ්ඩු විසින් පවත්වාගෙන ගිය සමාජ සුබසාධන වැඩසටහනටයි. දිළිඳු සහ අවදානමට ලක්විය හැකි පවුල් මිලියන දෙකකට ප්‍රතිලාභ ලබාදීමට ‘අස්වැසුම’ උත්සාහ කරයි. LIRNEasia හි ජාතික සමීක්ෂණය පෙන්වා දී ඇත්තේ, 2019 සිට පුද්ගලයන් මිලියන හතරක් අලුතින් දරිද්‍රතාවට වැටී ඇති බවත්, දැනට මිලියන හතක් ජනතාව දරිද්‍රතාවයේ ජීවත් වන බවත්ය. ප්‍රතිලාභියකු වියයුත්තේ කවුරුන්ද සහ නොවිය යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව ප්‍රාදේශීය මට්ටමින් මතභේද පවතින බැවින් තෝරාගැනීමේ ක්‍රියාවලිය තුළ දැවැන්ත ආරවුල් ඇතිකරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. තවත් ප්‍රධාන අනතුරක් වන්නේ EPF/ETF විශ්‍රාම වැටුප් ය. විශ‍්‍රාම වැටුප් අරමුදලට බදු පැනවීම සහ ඊට ලැබෙන පොළිය අඩුවීම වර්තමානයයේ අඩු වේදනාවක් ගෙන දෙන නමුත්, විශ්‍රාම යන කාලය වන විට, ලැබෙන මුදල අඩුවීම හේතුවෙන් පසුකාලීනව බොහෝදෙනා වේදනාවට පත් වනු නිසැකය.
වාෂ්පශීලී තත්ත්වය

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වන්නේ ඇතැම් විට ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් ලෙස සිටි මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් ආණ්ඩුවක් මෙහෙයවීමට ඔහුට හැකියාව ලැබීමයි. බහුතර ජනතාවට වේදනාවක් ගෙනදෙන ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණයකට තුඩු දෙන නීති සම්මත කිරීම ජනාධිපතිවරයා ඔවුන් ලවා කරගනිමින් සිටී. 2038 වන විට සේවක අර්ථසාධක අරමුදලට රුපියල් ට්‍රිලියන 12ක් (ඩොලර් බිලියන 39ක්) පමණ අහිමි වන බව විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දී තිබේ. EPF සහ ETF අරමුදල්වල ප්‍රධානීන්ගෙන් රාජ්‍ය මූල්‍ය කමිටුව ප්‍රශ්න කළ විට පෙනී ගියේ, ආණ්ඩුව මෙම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම හඳුන්වාදීමට පෙර, ඒ සඳහා ඔවුන්ගෙන් උපදෙස් ලබාගෙන නොමැති බවයි. කිසිදු රජයේ ආයතනයක් සේවකයන්ට දැරීමට සිදුවන පාඩුව තක්සේරු කර නැත. එම මුදල රුපියල් ට්‍රිලියන 12කට වඩා වැඩි වනු ඇතැයි වෙරිටේ රිසර්ච් (Verite Research) ආයතනය තක්සේරු කර ඇත.

එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට නොහැකි ජනතාව අතර පවතින ආර්ථික අසහනය ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දනිති. මහජන මත විමසුම්වලින් පෙන්නුම් කරන්නේ රජය සහ විශේෂයෙන්ම ජනාධිපතිවරයා ජනප්‍රිය වෙමින් පවතින නමුත්, සමස්ත ජනප්‍රියතා මට්ටම තවදුරටත් පහළ මට්ටමක පවතින බවයි. Verité Research හි Gallup style ‘Mood of the Nation’ මත විමසුමේ නවතම වටයට අනුව, 2023 පෙබරවාරි සහ 2022 ඔක්තෝබර් යන කාල වකවානු දෙකේදීම වාර්තා වූ රජයේ ක්‍රියාකාරකම් අනුමත කිරීමේ ප්‍රතිශතය වන සියයට 10 අගය, එතැන් සිට 2023 ජුනි මාසය වන විට සියයට 21 දක්වා දෙගුණවී ඇත. දැනට මාස හතරක් කල් ඉකුත් වී ඇති පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමේ තීරණය සහ මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට ආණ්ඩුව තුළ ඇති අධිෂ්ඨානය මෙයින් පැහැදිලි වේ. පළාත් සභා මැතිවරණය තවදුරටත් නොපවත්වන්නේ නම් සහ පළාත් පාලන මැතිවරණය ද දින නියමයක් නොමැතිව කල් දමන්නේ නම්, එවැනි ක්‍රියා තිරසාර නොවන, අත්තනෝමතිකත්වය කරා යන ගමනක කලබලකාරී සලකුණු බව කිවයුතුය.
මේ තත්ත්වය තුළ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර ධ්‍රැවීකරණය වර්ධනයවීමට ඉඩ තිබේ. ආණ්ඩුව නව නීති සම්මත කර පාර්ලිමේන්තුවේ බහුතර බලය යොදාගනිමින් නව මැතිවරණ පැවැත්වීම වෙනුවට, පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන්ට යළි බලය ලබාදීම, ජනමාධ්‍ය නිදහස සීමා කිරීම සහ ත්‍රස්ත විරෝධී නීතිවල විෂය පථය පුළුල් කිරීම වැනි ආන්දෝලනාත්මක ප්‍රතිපාදන සම්මත කරගැනීමට උත්සාහ කරයි. එහෙත් මෙම පාර්ලිමේන්තු බහුතරය තේරී පත්වී ඇත්තේ ආර්ථිකය කඩාවැටීමට පැවැති ‘වෙනත් අවස්ථාවකය’. දැන් ආණ්ඩුවේ ජනප්‍රියත්වය සියයට 20ක මට්ටමට පහත බැස ඇති හෙයින්, ආණ්ඩුව ‘කරන කියන දේට’ ජනතාවගෙන් සහායක් නොලැබෙන බව දැකගත හැකිය. මැතිවරණවලදී, ජනප්‍රිය නොවන ආණ්ඩු වෙනස් කිරීමට බොහෝ කලක සිට පුරුදු වී සිටි රටක, මෙය අස්ථාවර තත්වයක් නිර්මාණය කරනු ලබයි. ජනතාව සදාකාලිකව ඉවසා සිටිනු ඇතැයි අපේක්ෂා කිරීම සාධාරණ නැත. එය තවත් අරගලයකට තුඩු දිය හැකිය.
අවශ්‍ය සහයෝගීතාව
ප්‍රංශයේ මේ වන විට පවතින තත්ත්වය, ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා කඩිනමින් සමනය නොකළහොත් ශ්‍රී ලංකාවටද මුහුණදීමට සිදුවිය හැකි තත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමකි. ඇල්ජීරියානු සම්භවයක් ඇති 17 හැවිරිදි පිරිමි ළමයකුට පොලිස් නිලධාරියකු වෙඩි තබා මරාදැමීම හේතුවෙන් ප්‍රංශය කැරලි සහ කොල්ලකෑම් රැල්ලකට මුහුණ දී සිටී. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ජාතිවාදය සහ ම්ලේච්ඡත්වය ගැන චෝදනා කෙරුණු අතර, එමගින් ජනතාව අතර කෝපය සහ විරෝධතා ඇති කළේය. නොසන්සුන්තාව ඉක්මණින්ම පැරිසිය ඇතුළු රට පුරා අනෙකුත් නගරවලටද පැතිර ගිය අතර, එහිදී කැරලිකරුවෝ පොලිසිය සමඟ ගැටී, මෝටර් රථ සහ ගොඩනැගිලි ගිනි තැබූ අතර සාප්පු සහ ව්‍යාපාරික ස්ථාන විනාශ කළහ. මේ වන විට පුද්ගලයන් 3,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිදුවී ඇති හානිය අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික බවට ගණන් බලා තිබේ. එහිදී බොහෝවිට කලහකාරී ලෙස හැසිරෙන්නේ, සුළු ජාතීන් ඉලක්ක කර ගැනීම සහ අධික ලෙස බලය යෙදවීම සම්බන්ධයෙන් පොලිසියට චෝදනා එල්ල වන රටක, කොන්වූ සහ බලාපොරොත්තු සුන්වූ තරුණ තරුණියන් බව දැකගත හැකිය.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ප්‍රශ්නය වන්නේ, රැකියා අහිමිවීම සහ රුපියලේ අගය පහත වැටීම නිසා ඇති වන ආර්ථික අවපාතයන් සමනය කිරීම හමුවේ, සමාජ සුබසාධන ලෙස බෙදාදීමට රජයට ආර්ථික සම්පත් නොමැති වීමයි. ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇති ආකාරයට, පසුගිය වසරේ සියයට හතකට වඩා හැකිළුණු ජාතික ආර්ථිකය මේ වසරේ තවත් සියයට තුනකින් පහත වැටීමක් සිදුවනු ඇත. රජය විසින් යෝජනා කර ඇති පරිදි මැතිවරණය වෙනුවට, විසුරුවා හරින ලද පළාත් පාලන ආයතනවල 8000 කට අධික පළාත් පාලන මන්ත්‍රීවරුන්ව නැවත එම ආයතනවලට පත්කිරීම, රැකියා අහිමි වී ආර්ථික පැවැත්මේ අද්දර සිටින මිනිසුන්ගේ පිළිකුලට හේතුවනු ඇත. එය තක්කඩියන් ගෙදර යවා, ක්‍රම වෙනසක් ඇති කිරීමේ අරගලයේ අසම්පූර්ණ මෙහෙවර සිහිපත් කිරීමක් වේ.
 
  නොමඟ යවනසුළු තර්කවලින් වැළකී සිටීමේ වැදගත්කම පසුගියදා පැවති ප්‍රසිද්ධ උත්සවයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළ අතර, ඒ වෙනුවට රටේ අභියෝගවලට මුහුණ දීම සඳහා ආණ්ඩුවට එක්වන ලෙස විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සමස්ත විපක්ෂයෙන් ඔහු ඉල්ලා සිටියේය. විපක්ෂයට ජනාධිපතිවරයාට සහාය දිය හැකි සහ එය කළ යුතු එක් ක්ෂේත්‍රයක් වන්නේ, ජනවාර්ගික ගැටළුව විසඳා ජාතික සංහිඳියාවේ ඉලක්කය කරා ළඟාවීමයි. එවැනි උත්සාහයකට, අන්තර්ජාතික සහයෝගය මහා පරිමාණයෙන් ඒකරාශී කර ගැනීමේ හැකියාව පවතී. ජනාධිපතිවරයා මෙම කාරණය සම්බන්ධයෙන් ප්‍රශංසනීය ධෛර්යයක් සහ දැක්මක් පෙන්නුම් කර තිබේ. මෙම ප්‍රශ්නය නිරාකරණය කිරීම මගින් රට එක්සත් වන අතර, එමගින් ශ්‍රී ලංකාවේ අනාගතය සහ රටට ලබාදිය යුතු ආර්ථික ආයෝජන පිළිබඳ නව විශ්වාසයක් අන්තර්ජාතික ප්‍රජාවට ලබාදෙනු ඇත. එක්ව කටයුතු කිරීම ඔස්සේ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම ලැබෙනු නියතය.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *