සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 21වන දින සිට… නදීක දයා බණ්ඩාර – මහනුවර

සෙංකඩගල පුරවරයේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය කප් සිටුවීමෙන් අගෝස්තු මස 17 වන දින ආරම්භ වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

17 වන දින අලුයම 6:12 ට වයඹ දශාභිමුඛව සිව්මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වේ. එතැන් සිට පුරා දින හතරක් එනම් අගෝස්තු මස 21 වන දින දක්වා දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වෙන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ඇසළ පෙරහැර සංවිධානය කිරීම පිළීබදව ශ්‍රී දළදා මාලිගායේ බහුකාර්යය ගොඩනැගිල්ලේදී අද (05) පස්වරුවේ පැවැති සාකච්ඡාවට එක්වෙමිනි. ශ්‍රී දළදා මාලිගාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගගවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුලු පෙරහැර සංවිධානය කිරීමට දායකවන සියලු ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ දියවඩන නිලමේවරයා,  අගෝස්තු මස 21 වන  දින සිට 25 වන  දින දක්වා කුඹල් පෙරහැර වීදි සංචාරය කරන බවත් 26 වන දින සිට පුරා දින පහක් එනම් 31 වන දින දක්වා රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

අගෝස්තු මස 31 වන දින අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කොට සධාතුක පෙරහර කරඬුව ඓතිහාසික ගෙඩිගේ රජ මහා විහාරයේ තැන්පත් කිරීමෙන් අනතුරුව පසු දින අලුයම ගැටඹේ දියකපනා  ගං තොටේ දී දිය කැපීමේ මංගල්‍යය සිදු වේ.

31 වන දින දහවල් පෙරහර පැවැත්වීමෙන් අනතුරුව මෙවර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමි, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා, නාථ, විෂ්ණු සහ කතරගම දේවාලයන්හි බස්නායක නිලමේවරුන්, මහනුවර කඩවත්සතර සහ ගඟවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් සම්පත් බණ්ඩාර ජයසිංහ මහතා ඇතුලු පෙරහර සංවිධාන කමිටුවට අයත් ආයතන වල නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed