වසර 200ක් තුළ ඉඩමක් නොමැති ශ්‍රී ලංකාවේ ජීවත් වන ජනතාව –

කඳුකර ජනතාවට ජීවත් වීමට ඉඩමක් අවශ්‍ය වන්නේ කුමක් නිසාද යන්න ඉස්මතු කරමින් ,ඉඩමක අයිතිය මානව හිමිකමකි, යන තේමාව ඔස්සේ කොළඹ සහ කඳුකරයේ සිවිල් සංවිධාන කිහිපයක් ඒකරාශි වෙමින් හැටන් නගරයේ දී ජනතා පා ගමනක් සහ රැළියක් පවත්වන ලදී.
ජුනි මස 21වෙනිදා ට යෙදුණු ,ඉඩම් දිනය, මූලික කරගනිමින් “කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය සඳහා ව්‍යාපාරය” මෙම පා ගමන සහ ජනතා රැළිය හැටන් නගරයේ සංවිධානය කළේය.
ඉඩම් දිනය සැමරීම සඳහා උදෑසන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සිය ඉල්ලීම් ඉදිරිපත් කරන පෝස්ටර්, බැනර් ඇතුළු දෙමළ සංස්කෘතික අංග රැගත් පාගමනක් මල්ලිකයිපූ හන්දියේ සිට ක්‍රිෂ්ණභවන් ශාලාව දක්වා ගොස් පසුව ක්‍රිෂ්ණභවන් ශාලාවේදී ජන රැළියක් පැවැත්විණි.
රටේ සංවර්ධනය උදෙසා වැඩිම විදේශ විනිමයක් උපයා දෙන, ලෝකය තුළ සිලෝන් ටී කියන සන්නමාය ඉහළින්ම තබන්නට වෙහෙස වෙච්ච , ලංකාවේ දුම්රිය මාර්ග, මහා මාර්ග හදන්නට පවා තමන්ගේ ජීවිතය , දහදිය, කඳුලු, අනාගතය පවා වැයකරපු , දශලක්‍ෂයකට වඩා වැඩි ඉන්දීය දෙමළ ජනතාව කියා ජන හා සංගණන දෙපාර්තමේන්තුවෙන් හඳුන්වනු ලබන කඳුකර දෙමළ ජනතාවට ජීවත් වෙන්නට, “ඉඩම් කැබැල්ලක අයිතිය” වෙනුවෙන් අදටත්ල, රටේ මැද වසර 200ක් ජීවත් වෙලාත් ඉල්ලා සිටින්නට සිදුවී තිබීම ඉතාම කණගාටුදායක සිදුවීමක් බව, කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය සඳහා ව්‍යාපාරයේ සාමාජික ලලිත් අබෙිසිංහ මාධ්‍ය සාකච්ජාවේදී පැවසීය.
විසින් මාධ්‍ය සාකච්ජාවේදී අදහස් දක්වමින් කඳාූකර ජනතාවගේ ඉඩමක අවශ්‍යතාවය යන මේ මුලික අවශ්‍යතාවය පිළිබඳව අපි නැවත නැවතත් විශේෂයෙන් ම ඉඩම් දිනය කියන මේ විශේෂ දවසෙත් ශ්‍රී ලංකාවේ රජයටත් ජනතාවටත් සිහිගන්නවනවා යැයි ප්‍රකාශ කළේය.
“මෙම ප්‍රජාව ඉන්දියාවෙන් පැමිණී ප්‍රජාවක් ලෙසට නම්කරන්න මම කැමති නැහැ. මොවුන් ලාංකීය ප්‍රජාවක්. පරම්පරා 08ක් ජීවත් වෙච්ච කඳුකර දෙමළ ජනතාව. නමුත් ඒ සා මහත් කාලයක් ජීවත්වෙලත් ඉතාම දුක්ඛිත, ඉතාම දූෂ්කරම ජීවිත ගතකරන ප්‍රජාවක් තමයි මේ කඳුකර දෙමළ ජනතාව.” ඔහු කීවේය.
එක්තරා යුගයකදී ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන දර්ශක ගත්කළ උපතේදී ආයු කාළය, සාක්‍ෂරතාවය, ළදරු මරණ අනුපාතය යනාදි දර්ශක අතර ශ්‍රී ලංකාව ඉහළ ස්ථානයක පැවති අතර එකළ දී, නිව් ඉන්ටර්නැෂනලිස්ට් කියන සගරාවක් ශ්‍රී ලංකාව හැඳිිින්වූයේ තෙවන ලෝකයේ ,පළමුවන ලොකයේ රටක් ලෙසට බවත් සිහිපත් කළේය.
එහෙත් මේ වතුකර ජනතාව සමග මේ දර්ශක ගැලපීමේදී ඔවුන් ඉතාම දුර්වල සහ දුක්ඛිත තත්ත්වයක පසුවන බව ද ඔහු පැවසීය.
කෘෂිකර්මාන්තයට , කිරි නිෂ්පාදනයට එළවලු වැවීමට සහජ දක්‍ෂතාවක් දක්වන මෙම වතුජනතාවට සරිලන ආකාරයේ ඉඩම් ලබාදුන්නොත් ලංකාවේ ආහාර නිෂ්පාදන අවශ්‍යතවයට ඉතා විශාල සහයක් ද ලබාගන්නට හැකි වනු ඇතැයි ලලිත් අබේසිංහ පැහැදිළි කළේය.
සංවිධාන 20කට අධික ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් මෙම මාධ්‍ය හමුව සහ ඉන්පසු හැටන් නගරයේ පැවති පාගමනත් රෑළියත් පැවැත් වූ අතර, සංවිධාන නායකයින් කිහිප දෙනෙකු විසින් ම මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ වසර 200ක් යන තුරු ඉඩමක අයිති අහිමි ජනතාවක් ශ්‍රී ලංකාව තුළ ජීවත්වීම ඉතාම කණගාටුදැයක සිද්ධියක් බවයි.
ඉඩම් සහ කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ විසින්, මෙය ඉතිහාසගත වරදක් නිවැරදි කරගැනීමේ අවස්ථාවක් බව සඳහන් කරමින් , වසර 200ක් තිස්සේ වෙහෙසවන මෙම කඳුකර ජනතාව වෙනුවෙන් ඉඩම් සහ නිවාස අයිතිය ලබා නොදී සිටීමට වතුකරය නියෝජනය කරමින් එම ජනතාව තමන්ගේ අරමුණු වෙනුවෙන් යොදාගත් දේශපාලනඥයන්, සමාගම් මෙන්ම ඇතැම් වෘත්තීය සමිති ද කටයුතු කළ බව ඔහු ප්‍රකාශ කළේය.
මෙම ජනතාවට ලබාදීමට කඳුකරයේ ඉඩම් හෙක්ටයාර 37,000ක් ඇතැයි වරක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැවසූ බව සිහිපත් කළ ඔහු, එහෙත් පසුව ඒවා සමාගම් ඇතුළු වෙනත් කණ්ඩායම්වලට ලබාදුන්නේ යැයි කීවේය.
එබැවින්, සියලු ආණ්ඩුවලින් අසාධාරණයට පත් වී සිටින ජනතාවගේ මෙම අයිතිය ලබාදීම සඳහා සමස්ත ජනතාවම එකට එක් වී ක්‍රියාකළ යුතු ව ඇතැයි ද චින්තක රාජපක්ෂ මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.
මෙම අවස්ථාවේ වතුකමිකරු ජනතා නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකු විසින්ම කෙටි අදහස් දැක්වීම් සිදුකරමින්, කඳුකර ජනතාවට වහා ඉඩමි ලබාදීමේ පියවර බලධාරීන් විසින් කඩිනම් කළයුතු බව අවධාරණය කළේය.
– මෙලනි මානෙල් පෙරේරා