“ඔබවහන්සේ අපගෙන් සමුගත්තත්, ඔබගේ වචන, ඔබගේ සුවඳ, අපගේ ජීවිත ඉදිරියට ම රැගෙන යයි. අපේ ජීවිත ප්‍රසන්න ජීවිත බවට පත්කර ගන්නට , මේ සමාජය වඩාත් සාධාරණ යුක්ති සහගත සමාජයක් කරගන්නට, හැමදෙනාටම සාමකාමිව ජීවත්වෙන්නට හැකි ලෝකයක් උදාගකරගන්නට ස්වාමින් වහන්සේ ඉදිරියේ අපි වෙනුවෙන් යදිමින් අපිව ශක්තිමත් කරන්න.” යනුවෙන් රොහාන් සිල්වා පියතුමා අභාවප්‍රාප්ත ඔස්වල්ඩ් ෆර්ත් පියතුමාගේ අවමංගල්‍ය දිව්‍ය පූජාවේ දේශනය පවත්වමින් කියා සිටියේය.
සිය දූත මෙහෙවර තුළ ප්‍රසිද්ධියටපත් පූජකවරයෙකු වන ඔස්වල්ඩ් ෆර්ත් පියතුමා 2023 ජුනි 19 වන දින සමිඳාණන් වහන්සේ තුළ සදාකාලික විවේකයට කැඳවනු ලැබූ අතර, ජුනි 21 වන දින මොරටුව, උයන ශාන්ත ජෝශප් දේවස්ථානයේ දී අවමංගල්‍ය දිව්‍ය පූජාව පැවැත්වීමෙන් අනතුරුව, උන්වහන්සේගේ මෘත දේහය මොරටුව උයන ශාන්ත ජෝශප් දේවස්ථානයේ සුසාන භූමියේ තැන්පත් කරණු ලැබිණි.
අවමංගල දේව මෙහෙය, මරදාන සාමාජීය හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ රොහාන් සිල්වා පියතුමා ඇතුලු තවත් පියවරු කිහිප දෙනෙකු විසින් සිදුකළේය. 
ඔස්වල්ඩ් ෆර්ත් පියතුමාගේ දේහය 19 වැනිදා සවස මරදාන සමාජ හා සාමයීක කේන්ද්‍රය (CSR) වෙත රැගෙන එනු ලැබූ අතර, එතැන් සිට ජුනි 20 වැනිදා උදෑසන ජාතික කරිටාස් සෙඩෙක් ආයතනය (CARITAS-SEDEC) වෙත රැගෙන එන ලදී. එහිදී පෙරවරු 9.00ට දිව්‍ය පූජාව සිදුකර, එතැන් සිට දේහය මොරටුව, උයන ශාන්ත ජෝශප් දේවස්ථානය වෙත රැගෙන එනු ලැබීණි.
රොහාන් සිල්වා පියතුමා අවමංගල්‍ය දිව්‍ය පූජාවේ අනුශාසනාව පවත්වමින්, ෆර්ත් පියතුමා මෙලොවට පැමිණ ඉටුකළ යුතු අද්විතීය මෙහෙවර ඉටුකළ බවත් දුප්පතුන්ට ශුභාරංචිය දේශනා කිරීම, වහලුන් මුදා හැරීම සහ අන්ධයන්ට පෙනීම ලබා දීම, පීඩිතයන් නිදහස් කිරීම යන දූත කාර්යයන් සඳහා එතුමා සිය පූජක මෙහෙවර ඉටු කළ බව කිවේය.
යහපත් , යුක්ති සහගත , සාමයෙන් පිරිච්ච ලෝකයක් කරා ගමන්කරන්නට ගරු ෆර්ත් පියතුමා විසින් ප්‍රකාශයට පත්කර තිබූ ප්‍රතිපත්ති ප්‍රකාශයක සඳහන් පාඨයන් පිළිබඳව ද අදහස් දක්වමින් ,අප නිකායේ නිර්මාතෘවරයා වන එව්ජින් මැසනඩ්තුමා ගේ නිකායේ ශීර්ෂ පාඨය හැටියට දිළිඳුන් හට සුභාරංචිය දේශනා කරන්න කියන සුවිශේෂ පාඨය ජිවත් කරන්නට පියතුමා උත්සා ගත්තා යැයි රොහාන් සිල්වා පියතුමා ප්‍රකාශ කළේය.
වැඩිදුරටත්, සිය දේශනාව තුළ ෆර්ත් පියතුමාගේ මෙලොව ජීවිතය පිළිබඳව සිහිපත් කළ රොහාන් සිල්වා පියතුමා, “දෙවියන්වහන්සේ මෙි කාර්යය කරන්නට ජනතාව අතරින් යමි යමි අයව තෝරාගන්නවා. අද අප ඉදිරියේ නිසලව සිටින අපගේ ආදරණීය ගුරු පියාණන් කෙනෙක් වන ගරු ඔස්වල්ඩ් ෆර්ත් පියතුමා, තමන්ගේ කැඳවීම ඉතාම ආදරයෙන් භාර අරගෙන තමුන්ගේ කොටස හරියට ඉටුකරන්නට කැපවුණු පූජකතුමෙකු බව අප හැමදෙනාම දන්නවා.”
“අවුරුදු 81 ජීවිත කාලය තුළ, වසර 60කට කිට්ටුවන්නට පූජක දිවියක් ගතකර ඒ කැඳවීම ලබාදුන්න දෙවිඳූන් වෙත අද මෙසේ අපේ පියතුමා යලිත් ගමන්කරනවා.”
“උන්වහන්සේ හැමවිටම පූජක පුහුණුවෙි අලුත් මුහුණුවරක් ගැන සිහින මැව්වා. පූජක පුහුණුව , පැවිදි පුහුණුව මේ පොලොව මත පතිත කරන්නට පුලුවන් විදියේ Conceptual formation කියන ඒ සංකල්පයත් එක්ක කටයුතු කරන්න ලැදි බවක් දැක්වූවා. එවැනි දර්ශනයක් සහිත පූජක තුමෙකු අපව පුහුණු කළ ආකාරය පුහුණු කරපු පරිසරය හා ලබාගත් පුහුණුව අපි ඉතාමත් ගෞරවයෙන් යුතුව සිහිපත්කරන් පුලුවන්.”
“ඔබ මෙි ගිහි ජනතාව තුළ සිටින දෙවිදුන් හඳාුනා ගන්න. ඒ හඳුනාගන්නා දෙවිඳාුන් සමග හොඳීන් සම්බන්ධ වෙන්න. ඔබේ කැපවුණු ජීවිතය සම්පුර්ණයෙන් ම වැයකරන්න කියන ඉල්ලීම උන්වහන්සේ හැමවිටම අපට සිහිපත් කළා.” යැයි රොහාන් පියතුමා පැවසීය.
“අපගේ මේ පැවිදි දිවිය තුළ උන්වහන්සේ අපට මිත්‍රයෙක් වුණා. තාත්තා කෙනෙක් වුණා. සහෝදරයෙක් වුණා. අපව දිරිගැන්වුවා. පූජක දිවියේ ස්ප්‍රීතුවෙන් බලගැන්වුවා. ඒ හැමදේකටම
ස්තුතියි පියතුමෙනි.”
“ඔබවහන්සේ අපගෙන් සමුගත්තත්, ඔබගේ වචන, ඔබගේ සුවඳ, අපගේ ජීවිත ඉදිරියට ම රැගෙන යයි. අපේ ජීවිත ප්‍රසන්න ජීවිත බවට පත්කර ගන්නට , මේ සමාජය වඩාත් සාධාරණ යුක්ති සහගත සමාජයක් කරගන්නට, හැමදෙනාටම සාමකාමිව ජීවත්වෙන්නට හැකි ලෝකයක් උදාගකරගන්නට ස්වාමින් වහන්සේ ඉදිරියේ අපි වෙනුවෙන් යදිමින් අපිව ශක්තිමත් කරන්න.” යනුවෙන් ප්‍රකාශ කළේය.
අධ්‍යාපනඥයෙකු, පූජක මෙන් ම ගිහි පුහුණුකරුවෙකු, පරිපාලකයෙකු , සාමය ගොඩනඟන්නෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ෆර්ත් පියතුමා , රටේ සිවිල් යුද්ධය හමුවේ ප්‍රදේශයන්හි සංවර්ධන හිඩැස් සහ අසමානතාවයන් වර්ධනය වීම් වැනි දැවෙන සමාජ ප්‍රශ්න සමඟ රට තුළ විශාල දේශපාලන හා ආර්ථික පෙරළියක් ඇති වූ කාල පරිච්ඡේදයක දී ශ්‍රී ලංකා කරිටාස් සෙඩෙක් ආයාතනයේ අධ්‍යක්‍ෂ බවට පත්වීම් ලබමින් ඉතා අනර්ඝ සේවයක් ඉටුකළේය.
ෆර්ත් පියතුමාගේ අවධාරණය වූයේ කතෝලික පල්ලියේ සමාජ ධර්මය සහ එහි සංකල්පීය සහ ප්‍රායෝගික උපාය මාර්ග Caritas Sri Lanka SEDEC හි දෛනික කටයුතු සහ සේවයට ඒකාබද්ධ කිරීමයි. ඔහු විසින් කතෝලික පල්ලියේ සමාජ ධර්මය පිළිබඳව රදගුරු පදවියේ මධ්‍යස්ථානවලින් තෝරාගත් සජීවිකරණ ශිල්පීන් 700 දෙනෙකු සඳහා ප්‍රධාන පුහුණු වැඩසටහනක් ආරම්භ කළේ ධර්මය මගින් සපයනු ලබන මාර්ග සහ තීක්ෂ්ණ බුද්ධිය භාවිතා කරමින් ඵලදායී සමාජ වෙනසක් සඳහා පහසුකම් සැලසීමේ අදහසිනි.
ෆර්ත් පියතුමා, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ (NAFSO) සහ ජාතික සාම මණ්ඩලයේ (NPC) ආරම්භක සාමාජිකයා විය.
“ෆර්ත් පියතුමා, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ සහ ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයේ බොහෝ සංවිධාන පිටුපස සිටි ප්‍රබලයා විය. 87-89 දකුණේ කැරැල්ල සමයේ උතුරේ පමණක් නොව දකුණේ සිවිල් ක්‍රියාකාරීන් ආරක්ෂා කිරීමට ඔහු මූලික වූ ආකාරය අපට අමතක කළ නොහැක. ෆර්ත් පියතුමාට ඔහුගේ සදාකාල ජීවනය ලබා ගැනීමට අපි යාච්ඤා කරමු.” යැයි NAFSO විසින් සටහන් කරයි.
එමෙන්ම NPC ද ප්‍රකාශ කළේ “ආරම්භක සාමාජික ඔස්වල්ඩ් බී ෆර්ත් පියතුමාගේ අභාවය වෙනුවෙන් ජාතික සාම කවුන්සිලය ශෝකය පළ කරන බවයි. ඔහු රටට සහ එහි ජනතාවට, විශේෂයෙන් අවාසි සහගත සහ බැහැර වූවන්ට, බොහෝ ආදරයෙන් හා අගයෙන් ඔහු කළ සේවය අපි සිහිපත් කරමු.” යනුවෙනි.
ඔස්වල්ඩ් බර්නාඩ් ෆර්ත් ශ්‍රී ලංකාවේ කොළඹ නුගේගොඩදී 1942 සැප්තැම්බර් 13 වැනි දින උපත ලැබීය.ඔහු 1961 දී ඔබලාට සම්බන්ධ වූ අතර 1967 දෙසැම්බර් 20 දින රෝමයේදී පැවිදි
විය.
ඔහු 1973 දී ස්ට්‍රැස්බර්ග් මානව විද්‍යා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා, ශ්‍රී ලංකාවේ ආයතන ගණනාවක් අධ්‍යක්ෂණය කරමින්, 2004 සිට 2010 දක්වා රෝමයේ සභා දූත මණ්ඩලයේ ප්‍රථම සහකාර ජනරාල්වරයා වූ අතර, බොහෝ දක්ෂතා ඇති අයෙකි.
ඔහු 2011 සිට 2014 දක්වා ඕස්ට්‍රේලියාවේ දේවසේවයේ යෙදී ඇති අතර, CTC හි දර්ශනය පිළිබඳ දේශන පැවැත්වීම සහ ශාන්ත මරියා සෙමනේරියේ සේවය කිරීම ඇතුළුව, ඔහු නැවත වසර 5ක් ශ්‍රී ලංකාවට පැමිණ, පසුව නැවතත් 2019 මාර්තු මාසයේ සිට මාස 18ක් ඕස්ට්‍රේලියාවේ බොහෝ දුරට Dernancourt මීසම තුළ සිය සේවාවන් දියත් කර ඇත.
සාමය ඉල්ලා සිටි, අනවශ්‍ය යුද්ධය නිමා කිරීමට අවශ්‍ය සිවිල් සමාජයට නායකත්වය දුන් අය අතර ඔස්වල්ඩ් බී ෆර්ත් පියතුමා ඉතා සුවිශේෂී පුද්ගලයෙකි. ඔහු තම ජීවිතය කැප කරමින් මේ ජනතාව ශක්තිමත් කළ අතර, ඔහු අන්තර් ආගමික සාම පදනමේ සම සභාපතිවරයෙකු වීම නිසා පූජ්‍ය පක්ෂය සහ සියලුම ආගමික ප්‍රජාවන්ගේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයින්ගෙන් සුවිශේෂී කෙනෙකු විය. ක්‍රිස්තියානි ධර්මයේ විශ්වාසයන් පිළිබඳ සාක්ෂිකරුවෙකු වූ ඔහු සියලු ආගම් මනුෂ්‍යත්වයේ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය ම වන ඖෂධයක් ලෙසට නොසැලී පෙනී සිටියේය.